වසර දෙකකට පසුව මොරටුව උණුසුම් වෙන රන් සංග්‍රාමය

මොරටු මහා රන් සංග්‍රාමය 2021

2010

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර සංවිධානය කරන, “71 වැනි මොරටු මහා රන් සංග්‍රාමය” හෙට (13) සහ අනිද්දා (14) මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙවර සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නායකත්වය දරන්නේ සිව්වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩකයෙකු වන සුඛිත ප්‍රසන්නයි. කඩුලු රකින පිතිකරුවෙකු වන ඔහු මෙවර තරග වාරයේ දී ඔවුන්ගේ විද්‍යාලයේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා ද වනවා.

ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන වේල්ස් කුමාර විද්‍යාලයේ නායකත්වය දරන්නේ තෙවැනි වසරේ වර්ණලාභී ක්‍රීඩකයෙකු වන ඩිනුර ප්‍රනාන්දුයි. දකුණතින් පිතිකරණයේ නිරත වන ඔහු අවසන් තරග වාරයේ ක්‍රීඩා කළ තරග 7ක දී ලකුණු 243ක් ලබාගෙන දස්කම් දක්වා තිබෙනවා.

කොරෝනා වසංගතයේ බලපෑම නිසාවෙන් රන් සංග්‍රාමය පැවැත්වෙන්නේ වසර දෙකක නිහැඬියාවකට පසුව වන අතර ප්‍රේක්ෂකයින් සුළු ප්‍රමාණයකට ක්‍රීඩාංගණයේ සිට තරග නැරඹීමට අවස්ථාව ලබා දීමට සංවිධායකයින් කටයුතු කර තිබෙනවා.

2019 වසරේ පැවති 69 වැනි මොරටු මහා රන් සංග්‍රාමය 60 වැනි වරටත් ජය-පරාජයෙන් තොරව අවසන් වූ නමුත්, 34 වැනි වතාවට පැවැත්වුණු එක්දින තරගය ජයග්‍රහණය කිරීමට වේල්ස් කුමර විද්‍යාලය සමත් වුනා.

වේල්ස් කුමර විද්‍යාලය

වේල්ස් කුමර විද්‍යාලයේ පිතිකරුවන් දෙස සලකා බැලීමේ දී වමතින් පිතිකරණයේ නිරත වන ඔමේෂ් මෙන්ඩිස් ඉතාමත් හොඳ රිද්මයකින් ලකුණු ලබාගෙන තිබෙන අතර ඔහුගේ දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 50කට ආසන්න වෙනවා.

ඔහු පසුගිය තරග වාරයේ තරග 8ක දී ලකුණු 389ක් තමන් සතු කරගෙන තිබෙනවා. මෙන්ඩිස්ට අමතරව අනූප බණ්ඩාර (ලකුණු 349), තරිඳු අමරසිංහ (ලකුණු 313), සුමල්ක ප්‍රනාන්දු (ලකුණු 272), පසිඳු පැතුම් (ලකුණු 216) සහ නායක ඩිනුර ප්‍රනාන්දු ඔවුන්ගේ පිතිකරණය බලගැන්වීම වෙනුවෙන් සැදීපැහැදී සිටිනවා.

පන්දු යවන්නන් දෙස අවධානය යොමු කිරීමේ දී පළමු තරග වාරය ක්‍රීඩා කරන නවක පන්දු යවන්නන් රැසක් ඒ අතර වෙනවා. ඒ අතර ඉදිරියෙන්ම සිටින දකුණතින් පිට දඟපන්දු යවන අචල පෙරේරා තරග 5ක දී කඩුලු 22ක් දවාගෙන දස්කම් දක්වා තිබෙනවා.

ඊට අමතරව දකුණතින් පා දඟපන්දු යවන සුමල්ක ප්‍රනාන්දු කඩුලු 18ක් දවාගෙන දස්කම් දක්වා තිබෙන්නේ ඔවුන්ගේ දෙවැනි වැඩිම කඩුලු ලාභියා වෙමින්.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය

සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිතිකරුවන් අතර වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා වන සවිඳු රොද්‍රිගෝ තරග 6ක දී ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 180ක්. ඊට අමතරව නායක සුඛිත සහ යෂාන් අවිශ්ක පිළිවෙළින් ලකුණු 161ක් සහ ලකුණු 120ක් ලබාගෙන දස්කම් දක්වා තිබෙනවා.

ක්‍රිෂේන් පෙරේරා සහ කලන සංදීප සාන්ත සෙබස්තියන් විද්‍යාලය සතුව සිටින වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නන් වෙනවා. ඔවුන් අවසන් තරග වාරයේ දී තරග 5කට මුහුණ දෙමින් කඩුලු 10 බැගින් දවාගෙන දස්කම් දක්වා තිබෙනවා.

අතීත ගමන්මගේ වැඩි වාසිය

දෙදින මහා තරග 70න් තරග 6ක ජයග්‍රහණය ලබාගෙන පෙරමුණේ පසුවන්නේ වේල්ස් කුමාර විද්‍යාලයයි. සාන්ත සෙබස්තියන් විද්‍යාලය එහි තරග තුනක ජය හිමිකරගෙන තිබෙනවා.

එසේම එක්දින මහා තරග ඉතිහාසයේ තරග 17ක ජය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සතු වෙද්දී, තරග 14ක ජය වේල්ස් කුමර විද්‍යාලය සතු වෙනවා.

දෙදින මහා තරගයක් අවසන් වරට ප්‍රතිඵලයක් සහිතව අවසන් වී තිබෙන්නේ 2011 වසරේ දීයි. සනිත ද මෙල්ගේ නායකත්වය යටතේ සාන්ත සෙබස්තියන් විද්‍යාලය එම දෙදින මහා තරගය ජයග්‍රහණය කර තිබෙනවා.

71 වැනි මොරටු මහා රන් සංග්‍රාමය සඳහා සහ 36 වැනි එක්දින මහා තරගය සඳහා මෙවර ද සාඩම්බර අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සබඳතා සහකරු වන Dialog Axiata PLC සමාගම කටයුතු කරනු ලබනවා.

මෙම මහා ක්‍රිකට් තරගයේ එක්දින තරගය සජීව ලෙස ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. එම තරගය ඩයලොග් TV නාලිකා අංක 140 සහ ThePapare.com වෙබ් අඩවිය හරහා සජීව ලෙස නැරඹීමට ඔබට හැකි.

මොරටු මහා රන් සංග්‍රාමයේ උණුසුම විඳගන්න, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<