“මට කළ හැකි ලොකුම අපරාධය මිනී මැරීම නොවේ” – දෝනි

550

මුදලට ක්‍රිකට් තරග පාවාදීම අප කැමති වුවත් අකමැති වුවත් මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව ගිලගනිමින් තිබේ. ප්‍රධාන ICC තරගාවලි වලටත් වඩා මෙය දැකිය හැක්කේ අනෙකුත් තරගාවලි තුළ දී ය.

2013 වසරේ දී IPL තරගාවලියේ තරග පාවාදීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි පවසන්නේ තම ක්‍රිකට් දිවියේ අඳුරුතම කාල පරිච්ඡේදය එය බවයි.

“සිදු වෙමින් තිබුණු දේවල් එක්ක මං හිතුවා කණ්ඩායමට යම් දඬුවමක් හිමිවේවිය කියලා. නමුත් ඒ ප්‍රමාණය (දඬුවමේ) පුදුම සහගතයි.” දෝනි එලෙස පවසා තිබුණේ වාර්තාමය වැඩසටහනක් අතරතුරදීයි. චෙන්නායි කණ්ඩායමේ කොටස්කරුවන් සහ නිලධාරීන් කිහිප දෙනෙකු තරග ඔට්ටු දැමීමට සම්බන්ධ වීම නිසා ඔවුන්ගේ කණ්ඩායමට 2016 සහ 2017 IPL තරගාවලි වල ක්‍රීඩා කිරීම තහනම් විය. එම වසරේ දී ම රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ශාන්තකුමාරන් ශ්‍රීසාන්ත් සහ අජිත් චන්දිලා යන ක්‍රීඩකයන්ට ද ක්‍රිකට් තහනමක් හිමිවූයේ අදාළ චෝදනාවටම වරදකරුවන් වීම නිසයි. ඉන්දියානු නීතියට අනුව ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ අයවළුන් විසින් තරග ඔට්ටු දැමීම අපරාධයකි.

ස්මිත්, වෝනර් කළ යුතු දෑ පොන්ටින් විසින් පහදයි

ඒකාබද්ධ වෙමින් සිටින ඕස්ට්‍රේලියානු ක්‍රිකට් …

“අද මම යම් තැනකට ඇවිත් ඉන්නවා නම්, මම මොනවාහරි ලබාගෙන තියෙනවා නම් ඒ ක්‍රිකට් වලින්. එනිසා මට කළ හැකි ලොකුම අපරාධය මිනීමැරීම නොවෙයි, තරග පාවාදීමයි. මොකද, ඒක මට විතරක් සීමා වෙන්නේ නැහැ.” මෙසේ කියන්නේ දෙවරක් ලෝක ශූරතාවයන් සඳහා සිය කණ්ඩායම මෙහෙයවූ ඉන්දියානු ක්‍රිකට් නායකයා මෙන්ම IPL තරගාවලි ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි ය.

“මම ඒ වගේ දේකට සම්බන්ධ වුනා නම්, ඒකෙන් වෙන බලපෑම වඩාත් වැඩියි.” දෝනි තවදුරටත් කීවේය. අත්දැකීම් සමඟින් තමන්ගෙන් රටට සිදුවන සමාජීය බලපෑම හඳුනාගෙන ක්‍රිකට් ක්‍රීඩකයන් පරිපූර්ණ වන්නේ මෙලෙසිනි.

තරග පාවාදීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම සමස්ත ක්‍රිකට් ප්‍රජාවම වලපල්ලට යන බව අමුතුවෙන් කිවයුතු නොවේ. එබැවින් එය ක්‍රිකට් ප්‍රේක්ෂකයාගේ ආදරය සහ ගෞරවය මරා දැමීමකි. සැබවින්ම අපරාධයකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<