ශ්‍රී ලංකා යෞවනයින් ආසියා මලල ක්‍රීඩා පිටිය ආක්‍රමණය කරයි!

6th Asian Youth Athletic Championship 2025

80
Tharushi Abhisheka

හය වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ සිව්වැනි සහ අවසන් දිනය ඊයේ (18) ක්‍රියාත්මක වුනා.

මෙතෙක් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථක ම දිනය බවට ඊයේ දිනය පත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වීම විශේෂත්වයක්.

මෙහි දී කාන්තා මීටර් 800 ඉසව්වට සහභාගී වූ තරුෂි අභිෂේකා (පොඩි තරුෂි) විසින් මිනිත්තු 2.14.86ක කාලයක් වාර්තා කරමින් එම ඉසව්ව ජය ගැනීමට සමත් වුනේ මෙවර ශ්‍රී ලංකාවේ පළමු රන් පදක්කම ජය ගනිමිනුයි.

මේ අතර කාන්තා Medley Relay තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වන දිල්කි නෙහාරා, ධනන්ජනා ප්‍රනාන්දු, U.M.සන්සලා හිමාශනී සහ තරුශි අභිශේකා විසින් නව ශ්‍රී ලංකා යොවුන් ජාතික වාර්තාවක් ද සමඟ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මේ අතර දිල්කි නෙහාරා විසින් සිය දෙවැනි පදක්කම ලෙස කාන්තා තුන් පිම්ම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වීමත් විශේෂත්වයක්.

මේ අතර පිරිමි උස පැනීමේ ඉසව්වේ අවසන් තරග ද ඊයේ ක්‍රියාත්මක වූ අතර, මෙහි දී මීටර් 2.03ක උසක් තරණය කළ නේත්‍ය සම්පත් ලෝකඩ පදකම ජයග්‍රහණය කරනා අතරේ, දිනුක් දේශාන් එහි පස් වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වීමත් විශේෂත්වයක්.

මීට අමතරව ඊයේ දිනයේ දී පිරිමි මීටර් 800 ඉසව්වේ අවසන් තරගය ද ක්‍රියාත්මක වූ අතර, එහි දී ශවිඳු අවිශ්ක විසින් මිනිත්තු 1.53.41ක තරග නිමි කාලයක් සමඟ තෙවන ස්ථානය දිනා ගනිමින් තවත් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තවත් අවසන් තරග කිහිපයක් ම නියෝජනය කළත් ඔවුන්ට අවාසනාවන්ත ලෙස පදක්කම් අහිමි වී ගියා.

පිරිමි මීටර් 200 ඉසව්ව නියෝජනය කළ චතුශ්ක ඉමේශ් සිල්වා විසින් අවසන් තරගයේ හත් වැනි ස්ථානයට පත් වන අතරේ, කාන්තා මීටර් 200 ඉසව්ව නියෝජනය කළ ධනන්ජනා ප්‍රනාන්දු හය වැනි ස්ථානය හිමි කර ගත්තා.

මේ අතර පිරිමි Medley Relay අවසන් තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ද පස් වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදු වුනා.

මේ අනුව හය වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා       ශූරතාවලිය නිමා වන විට ශ්‍රී ලංකාව එක් රන් පදක්කමක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් හතරක් සමඟ සමස්ත පදක්කම් 8ක් ජයග්‍රහණය කිරීමට සමත් වී සිටියා.

දිනෙන් දින උණුසුම් වන දෙස්, විදෙස් මලල ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>