ශ‍්‍රී ලංකාව හඬවා බංග්ලාදේශය අවසන් සටනට

1115

තරගයේ තිබූ තියුණු මුහුණුවර දෙපිළේ ක්‍රීඩකයන් අතර වූ උණුසුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය වූ නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී සත්කාරකයන්ට එරෙහිව කඩුලු 2ක අතිශය තියුණු ජයක් වාර්තා කළ බංග්ලාදේශ ක්‍රීඩකයෝ ශ‍්‍රී ලංකාව හඬවා ලබන ඉරිදා (18) පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයේ දී ඉන්දියාවේ ප‍්‍රතිවාදීන් බවට පත්වූහ.

[rev_slider LOLC]

‘මියෙම්වා රැකෙම්වා’ තරගයෙන් ශ‍්‍රී ලංකාව ගොඩ එයි ද?

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අවසන් මහා සටනට සුදුසුකම් ලබා ඇති ඉන්දීය කණ්ඩායමේ..

අවසන් පන්දුවාරයේ දෙවැනි පන්දුව යොමු කිරීමත් සමඟ බංග්ලාදේශ ක්‍රීඩකයන් කලහකාරී ලෙස හැසිරෙනු දක්නට ලැබුණු අතර විනිසුරුවන්ගේ තීරණයට එකඟ නොවූ එම ක්‍රීඩකයින් අතරින් නායක ශකීබ් අල් හසන් පන්දුවට පහර දෙමින් සිටි මහමුදුල්ලාව සහ රුබෙල් හුසේන්ව පිටියෙන් ඉවතට කැඳවීමේ උත්සාහයක නිරත වනු දක්නට ලැබුණි.

මිනිත්තු කිහිපයකට තරගය නැවතුණු එම අවස්ථාවේ දී බංග්ලාදේශ අතිරේක ක්‍රීඩකයින් ද ක්‍රීඩාංගණය තුළට ගොස් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සමඟ ආරවුල් ඇති කර ගැනීමට උත්සාහ කිරීම පැහැදිළිවම දැක ගැනීමට හැකි විය.

මහත්වරුන්ගේ ක‍්‍රීඩාවක් ලෙසින් සැලකෙන ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට වන හානිය ගැන තඹයකට මායිම් නොකළ බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ කමකට නැති හැසිරීම මුළු මහත් ලෝක ප‍්‍රජාවගේම අප්‍රසාදය එක්වන තරමේ වුවත්, තරග ජයග්‍රහණය කිරීම වෙනුවෙන් මහමුදුල්ලා විසින් දියත් කරන ලද පිතිහරඹය නම් ඉතා විශිෂ්ට මට්ටමේ පැවැතිණ.

අවසන් පන්දු 4 දී ලකුණු 12ක් ලබා ගැනීමේ අභියෝගය භාර ගත් මහමුදුල්ලා ඉසුරු උදාන ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාරයේ තෙවැනි, සිව්වැනි සහ පස්වැනි පන්දු හමුවේ පිළිවෙළින් 4, 2, සහ 6 වශයෙන් ලකුණු ලබා ගනිමින් එම සුවිශේෂී ජයග්‍රහණය බංග්ලාදේශයට ලබා දුන්නේය.

කලකට පසු තම මව්බිමේ දී ම අවසන් මහ තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාකර ගනු ඇතැයි අපේක්ෂා කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට රැස්වූ 35,000කට අධික ප්‍රේක්ෂකයින්ගේ ඇසට කඳුලු එක් කළ මහමුදුල්ලා තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

එක් පන්දුවක් ඉතිරිව තිබිය දී ලද එම ජයග්‍රහණයේ මහමුදුල්ලාගේ දායකත්වය පන්දු 18ක දී ලකුණු 43ක් විය. හයේ පහර දෙකකින් සහ හතරේ පහර 3කින් සමන්විත වුන මහමුදුල්ලා ජයග්‍රහණය කිරීමට එල්ල කරන ලද හයේ පහරට ප‍්‍රථම ලබා ගන්නා ලද ලකුණු දෙකේ දී දුවද්දී දැවී යෑමේ ආසන්න අවස්ථාවකට පැමිණිය ද, පන්දුව නිසියාකාරව කඩුලු රකින්නාට භාර දීමට කුසල් මෙන්ඩිස් අපොහොසත් වීම නිසා එම වටිනා අවස්ථාව ශ‍්‍රී ලංකාවට අහිමි විය.

ඉන්දියාව නිදහසේ අවසන් මහා සටනට

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පස්වැනි තරගය ලෙසින් පැවති බංග්ලාදේශය සහ ඉන්දියාව..

මෙම හඹා යෑමේ දී පළමු කඩුලු දෙකම ලකුණු 33 දී බිඳ වැටී තිබිය දී තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක් එක් කළ මුෂ්ෆිකර් රහීම් සහ තමීම් ඉක්බාල් පහසු ජයග්‍රහණයක් පේන මානයට බංග්ලාදේශ කණ්ඩායම රැගෙන ගියහ. එහෙත් අමිල අපෝන්සු විසින් ලකුණු 28ක් ලබා සිටි රහීම් දවා ගැනීමත්, ලකුණු 50ක් ලබා සිටි තමීම් ඉක්බාල්ගේ සහ සෞම්‍ය සර්කාර් විසින් ලබා දුන් අසීරු උඩ පන්දු දෙක කඩුලු රැකි කුසල් පෙරේරා රැක ගැනීම නිසා තරගය දෙපිළටම යළිත් විවෘත විය. මෙහි දී ශකීබ් අල් හසන්ව දවා ගැනීමට ඉසුරු උදාන සමත්වීම ද තවත් එක් හැරවුම් ලක්ෂයක් බවට පත්විය.

ඉනිමේ 9 වැනි පන්දුවාරය වන විටත් ඉදිරි පෙළ කඩුලු 5ක් ලකුණු 41ක් තුළ දී බිඳ වැටී අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 97ක සම්බන්ධතාවක් පැවැත්වූ තිසර සහ කුසල් සැනසිලි දායක මෙන්ම අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් කරා ශ‍්‍රී ලංකාව රැගෙන ගියහ. ශ‍්‍රී ලංකා ඉනිමේ අඩක් අවසන් වන විට මුළු ලකුණු සංඛ්‍යාව කඩුලු 5කට ලකුණු 53ක් ලෙස සටහන් වූ අතර පන්දු 61ක් ඇතුළත දී පෙරේරලා ගොඩනංවන ලද සම්බන්ධතාව හේතුවෙන් අවසන් පන්දුවාර 10 තුළ දී ලකුණු 106ක් ලබා ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකියාව ලැබුණි.  

මෙම තරගාවලියේ දී ම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානම අවිය බවට පත්වූයේ පවර් ප්ලේ අවස්ථාවේ දී විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීම වුවත්, ඉදිරි පෙළ කඩුලු 4ක්ම නොසිතූ ලෙස එම අවස්ථාවේ දී දැවී යෑම ශ‍්‍රී ලංකාවට දැඩි පාඩුවක් ගෙන දෙන්නක් විය.

බංග්ලාදේශ නායක ශකීබ් අල්හසන්ගේ ආරාධනයෙන් ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ධනුෂ්ක ගුණතිලක තෙවැනි පන්දුවාරයේදීත්, කුසල් මෙන්ඩිස් සිව්වැනි පන්දුවාරයේදීත් දැවී යන වට මුළු ලකුණු 22ක් ලෙස සටහන් විය. දිගින් දිගටම ලකුණු අතර සිටි උපුල් තරංගට අනවබෝධයෙන් කඩුලු අතර දිව යෑම නිසා නිකරුණේ කඩුල්ල අහිමිව ගිය අතර එම පන්දුවාරයේ දී ම දසුන් ශානක ද දැවී යෑම ශ‍්‍රී ලංකා ඉනිමේ ආරම්භය අවුල් සහගතත්වයට පත්විය.

>>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<<

තමන්ගේ හැකියාව පෙන්වීමට ජීවන් මෙන්ඩිස්ට මෙම තරගයේ දී හොඳින්ම අවස්ථාව තිබුණ ද, ඔහුට රැස් කර ගත හැකි වූයේ ලකුණු 03ක් පමණක් වන අතර එ් සඳහා පන්දු 11කට මුහුණ දීම ද ශ‍්‍රී ලංකාවට පාඩුවක් ගෙන දෙන්නක් විය. අනෙක් අන්තයෙන් එකා පිට එකා දැවී යද්දී තමන්ගේ වටිනාකම හරියටම තේරුම් ගනිමින් පන්දුවට පහර දුන් කුසල් පෙරේරා තම විස්සයි විස්ස තරග දිවියේ 10 වැනි අර්ධ ශතකය, මුහුණ දුන් 32 වැනි පන්දුවේ දී සම්පූර්ණ කරගත්තේය.

අර්ධ ශතකය කරා ගිය ගමනේ 42 වැනි ලකුණ වාර්තා කිරීමත් සමඟ විස්සයි විස්ස තරග අංශයෙහි ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 1000 සීමාව ඉක්මවන ලද පස්වැනි පිතිකරුවා මෙන්ම අවම තරග සංඛ්‍යාවක දී ලකුණු 1000 සීමාව ඉක්මවා ගිය පිතිකරුවාගේ වාර්තාවට ද හිමිකම් කීමට කුසල් පෙරේරාට හැකි විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ කුමාර් සංගක්කාර වන අතර ඔහු තරග 39ක දී එම දස්කම දක්වා තිබේ. කුසල්ට පෙර මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ටී. එම්. ඩිල්ෂාන් සහ ඇන්ජලෝ මැතිව්ස් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 1000 සීමාව ඉක්මවූ පිතිකරුවෝ වෙති.

සෞම්‍ය සර්කාර්ගේ පන්දුවකට කුසල් දැවී යන විට හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමඟින් ලකුණු 61ක් ලබා සිටියේය. ශ‍්‍රී ලංකා ඉනිමේ 6 වැනි පිතිකරුවා ලෙසින් කුසල් දැවී යන විට ඔහුගේ සුවිශේෂී ඉනිම සඳහා හෙතෙම පන්දු 40කට පමණක් මුහුණ දී සිටියේය.

නායකත්වයේ වගකීම අකුරටම ඉටු කළ තිසර පෙරේරා ලකුණු 58කින් සමන්විත අගනා ඉනිම සඳහා පන්දු 37ක් පමණක් වැය කළේය. මුස්ටෆිසූර් රෙහ්මාන්ට පිට පිට එල්ල කරන ලද හයේ පහර දෙක ද ඇතුළුව තවත් හයේ පහරකින් සහ හතරේ පහර 3කින් ඉනිම අලංකාර කර ගත් තිසරගේ සේවය ශ‍්‍රී ලංකාවට අහිමි වන විට ඉනිම අවසන් වීමට පන්දු 4ක් පමණක් යැවීමට නියමිතව තිබුණි.

ශ‍්‍රී ලංකාව පන්දුවාර 20 දී 159/7යි කුසල් පෙරේරා 61, තිසර පෙරේරා 58, කුසල් මෙන්ඩිස් 11, මුස්ටෆිසුර් රෙහ්මාන් 39/2, ශකීබ් අල්හසන් 09/1, රුබෙල් හොසේන් 41/1, මෙහෙඩි හසන් 16/1, සෞම්‍ය සර්කාර් 21/1*

බංග්ලාදේශය පන්දුවාර 19.5ක දී 160/8යි තමීම් ඉක්බාල් 50, මුෂ්ෆිකර් රහීම් 28, සබීර් රෙහ්මාන් 13, සෞම්‍ය සර්කාර් 10, මහමුදුල්ලා 43*, අකිල ධනංජය 37/2, අමිල අපෝන්සු 19/1, ධනුෂ්ක ගුණතිලක 24/1, ජීවන් මෙන්ඩිස් 24/1, ඉසුරු උදාන 26/1*

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<