56th Junior National Athletics

ශ්‍රී ලංකාවේ දක්ෂ පාසල් මලල ක්‍රීඩා අංකුර සොයා යන ගමනේ තවත් එක් වැදගත් තරගාවලියක් වන “ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය” 56 වැනි වරටත් පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කරගෙන යමින් පවති.

තරගාවලිය මාර්තු මස 27 සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුනත් සුගතදාස ක්‍රීඩාංගණයේ වැඩකටයුුතු තවමත් අවසන් නොවී තිබීම නිසාවෙන් තරගය අප්‍රේල් මස 2 වැනිදා සිට 5 වැනිදා දක්වා කල් දැමීමට සංවිධායකයින් තීරණය කළේය.

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය කල්යයි

මාර්තු මස 27 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ “56 වැනි ජාතික..

තරගාවලිය පිළිබඳව ඊයේ (22) කොළඹ ඔටෝ මොබයිල් ශ්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින්, ජාතික මලල ක්‍රීඩා සංගමයේ (AASL) සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පවසා සිටියේ, සුගතදාස පිටියේ ධාවන පථය එලීමේ කටයුතු අපේක්ෂා කළ කාලයට නිමා කිරීමට නොහැකි වන බව පෙනී ගිය නිසාවෙන් පෙර යෝජනා වූ දිනවලට තරගාවලිය පැවැත්වීමට නොහැකි බවයි. කෙසේ නමුත් සුගතදාස ක්‍රීඩාංගණයේ පාලන අධිකාරිය හා ධාවන පථය එලීමේ කටයුතු සිදු කරන ආයතනය ඔවුන්ට තරගාවලිය සඳහා සුගතදාස ධාවන පථය සූදානම් කර දෙන බවට පොරොන්දු වී ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසීය.

තවද වයස් කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියට දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය වන පරිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2520ක් පමණ සහභාගි වන බව පාලිත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

“මෙම තරගාවලියට අධික තරගකරුවන් ප්‍රමාණයක් සහභාගි වන නිසාවෙන් තරග ඉසව් කිහිපයක් සඳහා අපි පරිසාධන මට්ටම් තීරණය කරලා තියෙනවා. එම මට්ටම් ඉක්මවා දස්කම් දැක්වුවහොත් පමණක් ඔවුන්ගේ දස්කම් ගණනය කිරීමට තීරණය කළා. අපි සෑම තරගකරුවෙක්ගේම දස්කම් ප්‍රමාණාත්මකව මැනීමට ගියොත් මෙම තරගාවලිය සඳහා දින 4ක කාලයක් ප්‍රමාණවත් නෑ” යනුවෙන් මේජර් පාලිත මහතා පැවසීය.

ක්‍රීඩකයින්ට සිය දක්ෂතාවල උපරිමයට පිවිසීමට හැකි වන ලෙස තරගාවලිය දියගමට රැගෙන නොයා සුගතදාස ක්‍රීඩාංගණයේම පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර ඇති අතර මෙම තරගාවලිය හරහා, මැයි මස 4 සහ 5 දිනවල දී සුගතදාස ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත “දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය” සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසු දක්ෂයින් තෝරා ගැනීමට නියමිතයි.

“මෙම ජාතික තරගාවලිය තුළ ඒ ඒ ඉසව්වලට අදාළව දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපි තෝරා ගැනීමට ලක්කරලා, මූලික ලෙස සංචිත ගත කරලා කොළඹ නේවාසික පුහුණු කඳවුරක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. එමඟින් අපේ රටේ පැවැත්වෙන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය තුළ අපේ ක්‍රීඩකයින් හට හොඳින් දස්කම් අතරට එන්න පුළුවන් වේවි.“

“එසේම ක්‍රම ක්‍රමයෙන් මෙම තරගාවලිවලට සහභාගි වන වයස අවුරුදු 20න් හා 23න් පහළ බාලිකාවන්ගේ ලොකු පසුබෑමක් තියෙනවා. ඒකට ජාතික මට්ටමින් ඉක්මනින්ම විසඳුමකට එන්න ඕනේ.“ යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ මේජර් පාලිත මහතා ප්‍රකාශ කළේය.

හිරුනි තවත් ජාතික වාර්තාවක් අලුතින් ලියයි

ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලංකා මැරතන් ක්‍රීඩිකා හිරුනි විජේරත්න ඇය සතුවම තිබූ කාන්තා…

තවද ජූලි මස 4 වැනිදා සිට ජූලි මස 8 වැනිදා දක්වා ජපානයේ ෆුජී හිදී පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ද සුදුස්සන් තේරීමේ තරගාවලියක් ලෙස මෙම ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සලකන බැවින් මෙම තරගාවලියට සහභාගි වන යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මෙම තරගාවලිය ඉතාමත් සුවිශේෂී වනු නොඅනුමානය.  

ජාතික මලල ක්‍රීඩා සංගමයේ සභාපතිතුමන්ට අමතරව එම සංගමයේ ලේකම් ප්‍රේමා පින්නවල මහතා හා එහි භාණ්ඩාගාරික එම්. කේ. ඩබ්. එස්. ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම මාධ්‍ය හමුවට පැමිණ සිටියහ.

පිටිය තරග සඳහා අදාළ පරිසාධන මට්ටම්

බාලක

තරග ඉසව්ව 20න් පහළ 18න් පහළ 16න් පහළ
උස පැනීම 1.85 1.75 1.60
රිටි පැනීම 3.40 3.40
දුර පැනීම 6.35 6.15 5.90
තුන් පිම්ම 13.00 12.50 12.00
යගුලිය විසිකිරීම 11.50 11.50 10.50
කවපෙත්ත විසිකිරීම 36.00 36.00 34.00
හෙල්ල විසිකිරීම 46.00 46.00 45.00

බාලිකා

තරග ඉසව්ව 20න් පහළ 18න් පහළ 16න් පහළ
උස පැනීම 1.50 1.45 1.40
රිටි පැනීම 2.60 2.40
දුර පැනීම 4.90 4.80 4.60
රිටි පැනීම 11.00 10.50 10.00
යගුලිය විසිකිරීම 10.00 10.00 8.50
කවපෙත්ත විසිකිරීම 26.00 24.00 22.00
හෙල්ල විසිකිරීම 28.00 26.00 25.00

*සියලුම පරිසාධන මට්ටම් මීටර් (m) වලිනි.

තරගාවලියේ විශේෂ සිදුවීම්, තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න.

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<