රාජකීයයින් සහ Ave Maria ක්‍රීඩිකාවන් සමස්ත ශූරතා දිනයි

52 වැනි Ritzbury ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ ක්‍රීඩා උළෙල 2023

469
52වැනි Ritzbury ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ ක්‍රීඩා උළෙල 2023

දින තුනක් පුරාවට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති 52 වැනි Ritzbury ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය අද (05) නිමාවට පත් වුනා.

උණුසුම් ඉසව් රැසකින් සමන්විත වූ මෙවර තරගාවලියේ සමස්ත බාලක ශූරතාවය ලකුණු 44ක් ලබා ගත් කොළඹ රාජකීය විද්‍යාලය සතු වෙද්දී, එහි අනුශූරතාවය ලකුණු 42.5ක් ලබා ගත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සතු වුනා.

සමස්ත ලකුණු 83ක් ලබා ගනිමින් දැවැන්ත පෙරමුණක් සහිතව බාලිකා ශූරතාවය දිනා ගැනීමට මීගමුව Ave Maria කන්‍යාරාම ක්‍රීඩිකාවන්ට හැකි වූ අතර දෙවැනි ස්ථානය හිමි වුනේ ප්‍රසාද ලකුණු 57ක් ලබා ගත් වත්තල ලයිසියම් ක්‍රීඩිකාවන්ටයි.

මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය උස පැනීම ඉසව්වේ ඉහළ දස්කම් දැක්වූ එස්. ප්‍රිභාසිත් (St. Thomas Preparatory School) සතු වෙද්දී, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලැබුවේ දුර පැනීම ඉසව්වේ ඉහළ දස්කම් දැක්වූ වත්තල ලයිසියම් විද්‍යාලයේ ඩී. නෙත්සරා ක්‍රීඩිකාවයි.

තරගාවලියේ තෙවැනි දිනය වූ අද වාර්තා හතක් බිඳ හෙළමින් එක් වාර්තාවක් සම කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වීම කැපී පෙනුණා.

බාලක අංශයේ 13න් පහළ මීටර් 100 ඉසව්ව තත්පර 12:00ක කාලයකින් අවසන් කරමින් කොළඹ ගේට්වේ විද්‍යාලයේ ඒ. තෙවරප්පෙරුම නව තරගාවලි වාර්තාවක් පිහිටුවද්දී, මීටර් 80 කඩුලු පැනීම 15න් පහළ තරගය තත්පර 11.1ක කාලයකින් අවසන් කරමින් කේ. ඕෂධ නව වාර්තාවක් පිහිටවූවා.

මීගමුව Ave Maria කන්‍යාරාම ක්‍රීඩිකා එස්. වික්‍රමරත්න අවුරුදු 13න් පහළ මීටර් 70 කඩුලු පැනීම ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් (තත්පර 12.1) පිහිටුවීමට සමත් වුනා. 15න් පහළ මීටර් 80 කඩුලු පැනීම ඉසව්ව තත්පර 12.4ක සම කාලයකින් අවසන් කරමින් තරගාවලි වාර්තාව සමව බිඳ හෙළීමට විජයපුර ජාතික පාසලේ කේ. කවීෂා සහ විහාරගල මධ්‍ය මහා විද්‍යාලයේ බී. උඩුවෙල ආරච්චි සමත් වුනා.

බාලිකා 15න් පහළ මීටර් 400 ඉසව්ව නියෝජනය කළ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ කෞෂල්‍යා ජයවර්ධන තත්පර 58.5ක කාලයකින් ඉසව්ව අවසන් කර නව වාර්තාවක් පිහිටවූවා. 14න් පහළ මීටර් 75 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 12.1ක කාලයකින් අවසන් කරමින් රංගිරි දඹුලු මධ්‍ය මහා විද්‍යාලයේ ඩී. බී. බණ්ඩාර තරගාවලි වාර්තාව සම කරන්නට සමත් වුනා.

>> තරගාවලියේ ප්‍රතිඵල සහ කුසලාන << 

දිනෙන් දින උණුසුම් වන මලල ක්‍රීඩා පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<