2016/17 ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග දෙකක් පමණක් පැවැත්වීමට නියමිතව තිබිය දී, කණ්ඩායම් 3ක් තවමත් ශූරතාවය වෙත නෙත් යොමා ගෙන සිටියි. එළඹෙන සෙනසුරාදා දිනයේ පැවැත්වෙන තරගවල දී බ්ලූ ස්ටාර්, කොළඹ පාපන්දු සමාජය සහ රිනවුන් කණ්ඩායම යන කණ්ඩායම් ත්‍රිත්වයම, ශ්‍රී ලංකාවේ රජතමය පාපන්දු ආභරණය හිස ලා ගැනීමේ අදිටනින් පසුවෙයි.

සොලිඩ් හමුවේ ගුවන් හමුදාවට පහසු ජයක්

ගුවන් හමුදා කණ්ඩායම සහ සොලිඩ් ක්‍රීඩා සමාජය අතර කැළණියේ දී අද (26) පැවති තරගයෙන් ගෝල 03-00ක් ලෙස ජයග්‍රහණය කරන්නට ගුවන් සෙබළුන් සමත් වූහ…

ශූරතාවය තීරණය කිරීමෙහි ලා ලබා ගන්නා ගෝල ප්‍රමාණය “අදාළ නොවන” පසුබිමක් තුළ දී කණ්ඩායම් වල ලකුණු තත්වයන්ට බලපෑ හැකි කරුණු දෙස ThePapare.com මෙසේ අවධානය යොමු කරයි.

DCL Super 8 Points Table

බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය

මේ සති අග දී පැවැත්වෙන තරගයකට සහභාගී වන බ්ලූ ස්ටාර් කණ්ඩායම, මේ තරග වාරයේ සාර්ථකම පාපන්දු කණ්ඩායම ලෙස හැඳින්විය හැකි වන අතරම සුපිරි අටදෙනාගේ වටයේ එකම අපරාජිත කණ්ඩායමයි.

ශූරතා තරගයට ඇති අවස්ථාවන් මඟ හැරීමෙන් පසු ප්‍රවේගකාරී අයුරින් ප්‍රතිවාදීන්ට දඬුවම් කරන යුධ හමුදා කණ්ඩායම සමඟින් අපහසු තරගයකට මුහුණ දීමේ කාර්යභාරය බ්ලූ ස්ටාර් කණ්ඩායමට මේ සති අන්තයේ  දී හිමි වෙයි. කෙසේ හෝ ජයග්‍රහණය කිරීම පමණක් බ්ලූ ස්ටාර් ක්‍රීඩකයන්ට ශූරතාවයේ මුල් පහස හිමිකර දීමට සමත් වන අතර ශූරතාවය තමා සතුකර ගැනීමට ද පුළුල් අවස්ථාවක් නිර්මාණය කරනු ඇත.

නමුත් ජයග්‍රහණයකට මෙහා ඕනෑම තීරණයක් ඔවුන්ව 2016/17 ශූරතාවයෙන් සම්පුර්ණයෙන්ම ඈත් කරනු ඇත. කෙසේ වෙතත් පසුගිය සති දෙක පුරාවට ද බ්ලූ ස්ටාර් ක්‍රීඩකයන් ක්‍රීඩා කළේ මේ පීඩනය සහිතවයි.

බ්ලූ ස්ටාර් ක්‍රීඩකයන්ට එළඹෙන තරගය ජයග්‍රහණය කළ හැකි නම් කොළඹ පාපන්දු සමාජය, රිනවුන් කණ්ඩායම පරාජය කිරීම හෝ රිනවුන් සමඟ ජය පරාජයෙන් තොරව තරගය නිමා කිරීම හෝ ඔවුන්ගේ (බ්ලූ ස්ටාර්) බලාපොරොත්තුව වෙයි.

එසේ සිදු වුවහොත් බ්ලූ ස්ටාර් කණ්ඩායම ලකුණු 17ක් සමඟින් ලකුණු සටහනේ ඉහලටම පැමිණෙන අතර කොළඹ පාපන්දු සමාජය හෝ රිනවුන් පාපන්දු සමාජය ලකුණු 16ක් ලබාගෙන ඔවුන්ට දෙවැනි වනු ඇත.

කොළඹ පාපන්දු සමාජය

සුපිරි අට දෙනාගේ වටයේ දී සහභාගී වූ තරග 6න් 5ක්ම තමා වෙත පවරා ගත් කොළඹ පාපන්දු ක්‍රීඩකයන්, ලීගයේ අවසන් තරග සතිය වෙත පිවිසෙන්නේ ශූරතා අදිටන සිය පාලනය යටතේ තබාගෙන නොවේ.

කළුතර දී පැවැත්වෙන බ්ලූ ස්ටාර් – යුධ හමුදා තරගයේ දී, යුධ හමුදාව ජය ගතහොත් හෝ ජය පරාජයෙන් තොරව තරගය අවසන් වුවහොත් එහි වාසිය කොළඹ කණ්ඩායමට ලැබෙන බැවින් යුධ හමුදාව තමාට අවැසි දේ සම්පූර්ණ කර දෙනු ඇත්නම් එය කොළඹ ක්‍රීඩකයන්ගේ පළමු කැමැත්තයි.

යම් හෙයකින් බ්ලූ ස්ටාර් කණ්ඩායම ජයග්‍රහණය කරතොත් එය, කොළඹ පාපන්දු සමාජය ශූරතා සිහිනයෙන් පලවාහරියි.

ශූරතාවයට අවස්ථාවක් ඉතිරි වුවහොත් කොළඹ පාපන්දු සමාජයට, රිනවුන් පාපන්දු සමාජය අනිවාර්යයෙන්ම පරාජය කළ යුතු වේ. බ්ලූ ස්ටාර් කණ්ඩායම පරාජය වී කොළඹ පාපන්දු සමාජය විසින් රිනවුන් කණ්ඩායම පරාජය කළහොත්, කොළඹ කණ්ඩායම සහ රිනවුන් කණ්ඩායම ලකුණු 16ක් සමඟින් ලකුණු සටහනේ  පෙරමුණ ගන්නා අතර බ්ලූ ස්ටාර් කණ්ඩායම ලකුණු 15ක් සමඟින් දෙවන ස්ථානයට පත්වේ.

රිනවුන්  පාපන්දු සමාජය

ශූරතාවයට වඩාත්ම කිට්ටුවෙන් ස්ථාන ගත වී සිටින කණ්ඩායම මොවුන් වන නමුත් සති අන්තය අවසන් වන විට අනෙකුත් කණ්ඩායම් දෙකේ දස්කම් ඉහල නැංවුනහොත් මොවුන්ගේ ගෝල වාර්තා කිරීමේ ආධිපත්‍ය ශූරතාවයට කිසිදු බලපෑමක් සිදු නොකරනු ඇත.

රිනවුන් කණ්ඩායමේ ශූරතා සිහිනය සැබෑ වීමට නම්  සරලවම සිදු විය යුත්තේ බ්ලූ ස්ටාර් කණ්ඩායම පරාජය වීමයි. බ්ලූ ස්ටාර්, යුධ හමුදාව හමුවේ පරාජය වුවහොත් රිනවුන් කණ්ඩායම පහසුවෙන්ම ශූරතා අසුන හිමි කරගනු ඇත. බ්ලූ ස්ටාර් පරාජය නොවන්නේ නම් රිනවුන් කණ්ඩායම තමා සහභාගී වන තරගය පරාජය නොවී අවසන් කළ යුතු වේ.

ඔවුනට දැනටමත් ඇති වාසිය වන්නේ ඔවුන් ලබාගත යුතු ප්‍රතිඵලය  නිශ්චිත වීමයි. ඔවුන් ශූරතාවය ලබා ගන්නේ නම් ලකුණු තත්වය සටහන් විය යුත්තේ රිනවුන් ලකුණු 18/16ක් ලබාගෙන පළමු ස්ථානයේත් බ්ලූ ස්ටාර් ලකුණු 17/15ක් ලබාගෙන දෙවන ස්ථානයේත් තබමිනි.

පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න