Kohliගේ විශිෂ්ට ශතකයෙන් පසුව වෙනස් වූ වාර්තා 5ක්!

Asia Cup 2023

1030

සුපිරි ඉන්දීය පිතිකරු Virat Kohli විසින් ඊයේ (11) දිනයේ දී පාකිස්තානයට එරෙහිව වාර්තා කළ විශිෂ්ට ශතකය ද සමඟින් ඔහු විසින් විශේෂ වාර්තා සහ කඩඉම් කිහිපයක් ම පසු කර යෑමට සමත් වුනා. 

2023 ආසියානු කුසලානය වෙනුවෙන් පසුගිය ඉරිදා (10) දිනයේ දී ඉන්දියාව සහ පාකිස්තානය දෙවැනි වරටත් මුණ ගැසුණු අතර, තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය නිමා වුනේ ඊයේ දිනයේ දීයි. 

මෙම තරගයේ දී ඉන්දියාව වෙනුවෙන් Virat Kohli (ලකුණු 122) සහ KL Rahul (ලකුණු 111) ශතක ලබා ගැනීමට සමත් වූ අතර ඔවුන් දෙදෙනා විසින් ඉනිමේ තෙවැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 233ක් එක් කිරීමට සමත් වුනේ පන්දුවාර 32යි එක් පන්දුවක් තුළ දීයි. 

මෙම තරගයේ දී Kohli විසින් පන්දු 55කින් සිය ලකුණු 50 වාර්තා කිරීමට සමත් වූ අතර, පන්දු 94ක් තුල ලකුණු 122 සීමාව කරා යෑමට ද සමත් වුනා. මෙහි දී Kohli විසින් තමන් මුහුණ දුන් අවසන් පන්දු 39 තුළ ලකුණු 72ක් ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයක්. ඔහුගේ මෙම ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් ද අන්තර්ගත වුනා. 

පාකිස්තාන පන්දු යවන්නන් හට යන එන මං අහිමි කරමින් Kohli විසින් දියත් කළ මෙම පිති ප්‍රහාරය සමඟින් ඔහු විසින් පසු කර යෑමට සමත් වූ සුවිශේෂී කඩ ඉම් මෙසේයි. 

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ Kohli  

ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එක්දින ඉනිම් 9ක් ක්‍රීඩා කර ඇති Kohli විසින් ලකුණු 641ක් ලබා ගැනීමට සමත් වී ඇත්තේ සිය පිතිකරණ සාමාන්‍ය 128.20ක රඳවා ගනිමිනුයි. එමෙන්ම මෙය ඔහු ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී නොකඩවා වාර්තා කළ සිව්වැනි ශතකය ලෙසත් (මීට පෙර 2012 වසරේ දී එක් ශතකයක් සහ 2017 දී ශතක දෙකක් ලබා ගෙන තිබෙනවා) වාර්තා අතරට එක් වී තිබෙනවා. 

එමෙන්ම ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී විස්සයි විස්ස ඉනිම් 6ක් ක්‍රීඩා කර ඇති Kohli විසින් එහි දී ද අර්ධ ශතක තුනක් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා. 

එක්දින ලකුණු 13,000 සීමාව පසු කළ ලොව වේගවත් ම පිතිකරු  

මීට පෙර එක්දින ලකුණු 13000 සීමාව පසු කර ගිය වේගවත් ම පිතිකරු ලෙස හිටපු සුපිරි ඉන්දීය පිතිකරු Sachin Tendulkar විසින් පිහිටුවා තිබූ වාර්තාව (ඉනිම් 321කින්) ඊටත් ඉනිම 54කට පෙර ළඟා කර ගැනීමට Virat Kohli විසින් (ඉනිම් 267) ඊයේ සමත් වුනා. 

මේ අතර මේ වන විට ලොව 5 වැනියට වැඩිම එක්දින ලකුණු ලාභියා වන Kohliගේ පිතිකරණ සාමාන්‍ය 57.62ක් ලෙස සටහන් ව ඇති අතර මෙම මුල් පිතිකරුවන් 5 දෙනා අතුරින් පිතිකරණ සාමාන්‍ය 50 ඉක්මවා තබා ගැනීමට සමත් ව ඇත්තේ ද ඔහු පමණයි. 

එක්දින ඉනිමක පාකිස්තානයට එරෙහි හොඳම ලකුණු සබඳතාව 

1996 දී Navjot Singh Sidhu සහ Sachin Tendulkar විසින් පාකිස්තානයට එරෙහිව තබා තිබූ ලකුණු 231ක සබඳතාව ඊයේ දිනයේ දී KL Rahul සහ Kohli අතින් බිඳ වැටුණා. පන්දු වාරයකට 7.24ක ලකුණු වේගයක් සහිතව පිතිකරණයේ යෙදුණු මොවුන් දෙදෙනා විසින් එක්දින තරගයක ඉන්දීය තෙවැනි කඩුල්ල වෙනුවෙන් දෙවැනියට හොඳම සබඳතාව ද ඊයේ දිනයේ පිහිටවනු ලැබුවා. 

පාකිස්තානයට එරෙහිව ඉනිමක වැඩිම (සම) කණ්ඩායම් ලකුණු 

ඊයේ ඉන්දීය පිතිකරුවන් විසින් නියමිත පන්දුවාර 50 අවසන් වන විට කඩුලු දෙකක් පමණක් දැවී ලබා ගත් ලකුණු 356 මෙතෙක් ඉතිහාසයේ ඉන්දීය කණ්ඩායමක් විසින් පාකිස්තානයට එරෙහිව ලබා ගත් සම ඉහළම ලකුණු සංඛ්‍යාවයි. (මීට පෙර 2005 වසරේ දී වයිසාග් හිදි කඩුලු 9කට ලකුණු 356ක් ලබා ගැනීමට ඉන්දියාව සමත් වුනා.) 

ආසියානු කුසලාන ඉතිහාසයේ දෙවැනියට වැඩිම (සම) ශතක ලාභියා 

ඊයේ දිනයේ දී සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ 47 වැනි ශතකය වාර්තා කිරීමට සමත් වූ Kohli විසින් මේ වන විට ආසියානු කුසලාන ඉනිම් 14ක දී පිතිකරණ සාමාන්‍ය 67.18ක් ලෙස පවත්වා ගැනීමට සමත් වී ඇති අතර, ඒ වෙනුවෙන් ඔහු ශතක 4ක් එක් කර ගැනීමට සමත් වී තිබෙනවා. 

ඊයේ ලබා ගත් ශතකයත් සමඟින් Kohli විසින් ආසියානු කුසලාන ඉතිහාසයේ දෙවැනියට ඉහළම (සම) ශතක ලාභියා බවට ද පත් වීමට සමත් වූ අතර (කුමාර් සංගක්කාරගේ ශතක 4 හා සම වෙමින්) ඔහු දෙවැනි වන්නේ ආසියානු කුසලාන ඉතිහාසයේ විශිෂ්ටතම පිතිකරු ලෙස සැලකෙන සනත් ජයසූරියට (ශතක 6) පමණයි. 

එමෙන්ම 2012 ආසියානු කුසලානයේ දී Kohli විසින් පාකිස්තානයට එරෙහිව වාර්තා කළ ලකුණු 183 මෙතෙක් තරගාවලි ඉතිහාසයේ පිතිකරුවෙකු විසින් දියත් කළ ඉහළම ඉනිම ලෙසත් සටහන් වී තිබෙනවා. 

මේ අතර 2023 ආසියානු කුසලානයේ තවත් තරගයක් අද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතයි. මෙම තරගය ද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර ඉහත සඳහන් කළ වාර්තා වල කුමන ආකාරයේ වෙනස් කම් සිදු කිරීමට Virat Kohli විසින් නැවතත් සමත් වේ ද යන්න අද දිනයේ දී දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇති. 

2023 ආසියානු කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ICC නිල වෙබ් පිටුව ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<