ආසියානු සංග්‍රාම භූමියේ ඉන්දු – ලංකා ගැටුම

3736
Sri Lanka vs India - Asia Cup 2023 - Super 4

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තීරණාත්මක තරගයක් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (12) ආරම්භ වීමට නියමිතයි. 

ඒ ඊයේ (11) දිනයේ දී ආසියානු එක්දින කුසලාන ඉතිහාසයට වාර්තා රැසක් එක් කළ ඉන්දිය කණ්ඩායම සමඟයි. 

ඔවුන් ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟින් මේ දක්වා වූ ප්‍රසාද ලකුණු පුවරුවේ ලකුණු ලබා ගැනීමේ දල වේගය 4.560ක් ලෙස පවත්වා ගනිමින් පළමු අසුනට පත් වීමට සමත් වුනා. දල ලකුණු වේගය 0.420ක් ලබා ගත් ශ්‍රී ලංකාව එහි දෙවැනි ස්ථානයට පත් ව සිටිනවා.  

  • ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, මහීෂ් පතිරණ, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, කසුන් රාජිත, දුශාන් හේමන්ත, බිනුර ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුශාන්. 
  • ඉන්දීය සංචිතය: Rohit Sharma (නායක), Jasprit Bumrah, Ishan Kishan (කඩුලු රකින්නා), Shreyas Iyer, Ravindra Jadeja, Virat Kohli, Kuldeep Yadav, Mohammed Shami, Mohammed Siraj, Hardik Pandya, Axar Patel, Prasidh Krishna, KL Rahul (කඩුලු රකින්නා), Shubman Gill, Shardul Thakur, Tilak Varma, Suryakumar Yadav. 

කෙසේ වෙතත් ඔවුනොවුන් මෙම තරගයට මුහුණ දෙන්නේ ආසියානු කුසලාන එක්දින තරග ඉතිහාසයේ වැඩිම වාර ගණනක දී අවසන් මහා තරගයේ දී ප්‍රතිවාදීන් ලෙසින් එක් වූ කණ්ඩායම් දෙක ලෙසයි.  

1984 වසරේ දී පැවති මංගල ආසියානු කුසලාන තරගාවලියේ තරග කාලසටහනට අවසන් මහා තරගයක් ඇතුළත් නොවූ අතර තරගාවලියේ ලත් ජයග්‍රහණ අනුව ශූරයන් සහ අනුශූරයන් තෝරා ගනු ලැබුවා.  

එම තරගාවලිය වෙනුවෙන් ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව සහභාගී වූ අතර එහි දී තරග 2ක් ජයග්‍රහණය කළ ඉන්දියාව ජයග්‍රාහකයන් ලෙසින් ද තරගයක් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව අනුශූරයන් ලෙසින් ද නම් කෙරුණා. 

එම තරග ප්‍රතිඵලයට අමතරව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මේ දක්වා අවස්ථා 7ක දී අවසන් මහා තරග සඳහා එක් වී තිබෙනවා. ඉන් සිව් වරක් ඉන්දියාව ජයග්‍රහණය කරන ලද අතර තෙවතාවක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනවා.  

ඒ අනුව ආසියානු කුසලාන එක්දින තරග ඉතිහාසයේ දෙරට අතර ජයග්‍රහණ බෙදී යන්නේ ඉන්දියාවට ශූරතා 7ක් සහ අනුශූරතා 3ක් ලෙසින් ද සහ ශ්‍රී ලංකාවට ශූරතා 6ක් සහ අනුශූරතා 6ක් ද ලෙසිනුයි 

ආසියානු කුසලානයේ දෙරට ක්‍රීඩකයෝ හමු වූ අවසන් මහා තරග තොරතුරු 
  වසර  සත්කාරකත්වය  තරගයේ තීරණය 
1  1988  බංග්ලාදේශය   ඉන්දියාවට කඩුලු 6ක ජයක්.  
2  1990/91  ඉන්දියාව   ඉන්දියාවට කඩුලු 7ක ජයක්.  
3  1995  UAE  ඉන්දියාව කඩුලු 8ක ජයක්.  
4  1997  ශ්‍රී ලංකාව   ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්.  
5  2004   ශ්‍රී ලංකාව  ශ්‍රී ලංකාවට ලකුණු 25ක ජයක්.  
6  2008   පාකිස්තානය  ශ්‍රී ලංකාවට ලකුණු 100ක ජයක්.  
7  2010   ශ්‍රී ලංකාව   ඉන්දියාවට ලකුණු 81ක ජයක්.  

දෙරට ක්‍රීඩකයෝ අවසන් වරට හමු වෙන්නේ මේ වසරේ ජනවාරියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ දී. තරග 3කින් යුත් එම තරගාවලිය 3-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් වෙනවා.  

එම තරග ප්‍රතිඵලය සේ ම ශ්‍රී ලංකාවට මෙතෙක් වසර ද්වත්වයක් තිස්සේ ඉන්දියාව පරාජය කිරීමට නොහැකි වී තිබෙන පසුබිමකයි ඔවුනොවුන් හමු වෙන්නේ.   

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අවසන් තරග 5 ප්‍රතිඵල 
රට  1  2  3  4  5 
ශ්‍රී ලංකාව  ජය 

(BAN) 

ජය 

(AFG) 

ජය 

(BAN) 

ජය  

(NET) 

ජය  

(WI) 

ඉන්දියාව   ජය 

(PAK) 

ජය  

(NEP) 

නොවිසඳුණ 

(PAK) 

ජය  

(WI) 

පරාජය 

(WI) 

 ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම 

ශ්‍රී ලංකාව මෙම තරගයට පිවිසෙන්නේ මේ වෙද්දී අඛණ්ඩව එක්දින ජාත්‍යන්තර තරග 13ක් ජයග්‍රහණය කරමින් එවන් දක්ෂතාවක් කළ ආසියාවේ පළමු වැනියා සහ ලෝකයේ දෙවැනියා වීමේ අභිමානයත් සමඟින්.  

මේ ජයග්‍රහණ මාලාවේ දී සහ ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා වඩාත් තරගකාරී මට්ටමකට පිවිසීම වඩාත් වාසිදායක කරුණක් ලෙසින් හැඳින්විය හැකි. මෙම තරගයේ දී ද ඔවුන්ගේ දක්ෂතාවලට එවැනි තහවුරු කිරීමක් කළ හැකි වේ නම්  ආසියානු කුසලාන ගමනේ නිමාවට වේලාසනින් ම පිවිසීමේ වරම් ඔවුන් වෙත ළඟා කර ගැනීමේ වැඩි ඉඩ කඩක් සලසා ගත හැකි 

විශේෂයෙන් ම නිමා වූ බංග්ලාදේශය හා තරගයේ දී මෙතෙක් අසාර්ථක ඉනිම් කිහිපයක ම නිරත වූ නායක දසුන් ශානක ද තරමක් හිස එසවීමට සමත් වීම කණ්ඩායම කෙරෙහි තැබෙන විශ්වාසය තවත් ඉහළ නැංවීමට හේතු වුනා.   

ඒ අනුව වඩාත් දක්ෂතා සහ සටන්කාමී වැඩි පිතිකරුවන් පිරිසකගෙන් යුත් කණ්ඩායමක් සමඟින් ඉන්දීය කණ්ඩායමට එරෙහිව පිටියට පිවිසීමට ඔවුන්ට ඉඩ විවර වී තිබෙනවා. ඔවුන් සමඟින් පන්දු යවන්නෝ ද හරි හරියට තමන්ගේ යුතුකම මනාව ඉටු කරන්නේ නම් මෙම තරගයේ දී ද තමන්ගේ අඛණ්ඩ තරග ජයග්‍රාහී ගමනේ දිගුවක් බලාපොරොත්තු විය හැකි 

ඊට සරිලන කඩුලු පන්දු අවි ගබඩාව සැලසුම් සහගතව ක්‍රීඩාංගණ ගත කිරීම ඔවුන්ගේ යුතුකමක්. ඊට ඔවුන් පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම ම සටනට කැඳවනු ඇතැයි විශ්වාස කළ හැකි 

ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරතැයි අනුමාන කෙරෙන ශ්‍රී ලංකා කණ්ඩායම: දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත සහ මතීෂ පතිරණ. 

ඉන්දීය කණ්ඩායමේ සූදානම 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව තෙවැනි ස්ථානයට ශ්‍රේණිගතව සිටින අතර පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ දී ආරම්භක පිතිකරු Shubman Gill සිව්වැනි ස්ථානය දිනා ගනිමින් මෙම තරගය හා එක් වෙනවා.  

ඉන්දීය කණ්ඩායම මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ දෙවැනි තරගයට මුහුණ දෙන්නේ පළමු තරගයේ දී ආසියාවේ අංක 1ට ශ්‍රේණිගත ව සිටි පාකිස්තානයට එරෙහිව දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගනිමින්.  

එබැවින් ඔවුන් මෙම තරගය සඳහා ඉතා සැහැල්ලුවෙන් යුතුව මුහුණ දෙනු නියතයි. ඊට ඔවුන්ගේ බලවත් පිතිකරණ බලඇණියත්, පන්දු යවන්නන්ගේ බලඇණියත් වඩාත් සුපරික්ෂාකාරීව ස්ථානගත කර සිටී. ඒ ශ්‍රී ලංකාව ද සුළු කොට තැකිය නොහැකි දක්ෂතාවලින් සපිරි කණ්ඩායමක් බැව් ඔවුන්ගේ විශ්වාසය නිසයි 

පෙර තරගයේ දී පෑ දක්ෂතා හේතුවෙන් ඔවුන් අද තරගයට ද එම කණ්ඩායම ම පිටියට කැඳවනු ඇතැයි විශ්වාස කළ හැකි 

ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කරතැයි අනුමාන කරන ඉන්දීය කණ්ඩායම: Rohit Sharma (නායක), Shubman Gill, Virat Kohli, Ishan Kishan (කඩුලු රකින්නා), KL Rahul, Hardik Pandya, Ravindra Jadeja, Shardul Thakur, Kuldeep Yadav, Jasprit Bumrah, Mohammed Siraj. 

Rohit Sharma  

ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ද පැවරී ඇති Rohit Sharma මෙවර ආසියානු තරගාවලිය තුළ පෙරළිකාර චරිත අතරින් ප්‍රමුඛයෙක් ලෙසින් හැඳින්විය හැකි. ඔහු ආසියානු කුසලාන තරගාවලියකට පළමු වරට සහභාගී වෙන්නේ 2008 වසරේ දී.  

එතැන් සිට මේ වෙද්දී ඔහු තරග 25ක ඉනිම් 24ක දී ශතකයක් සහ අර්ධ ශතක 8ක් සමඟින් ලකුණු 886ක් ලබා සිටිනවා. ඊට මේ වසරේ දී මේ දක්වා වාර්තා කරන ලද ලකුණු සංඛ්‍යාව අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 141ක්.  

ඔහු විසින් ආසියානු කුසලාන තරගාවලියක දී වාර්තා කරන ලද එක ම ශතකය පාකිස්තානයට එරෙහිව 2018 වසරේ දී ලබා ගන්නවා. එහි දී ඔහුගේ දක්ෂතාව ලෙසින් සටහන් වෙන්නේ පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලබා ගන්නා ලද ලකුණු 111යි.  

මේ වෙද්දී ඔහු එක්දින තරග 247කට සහභාගී වෙමින් ඉනිම 240ක දී ද්විත්ව ශතක 3ක්, ශතක 27ක් සහ අර්ධ ශතක 50ක් සමඟින් ලකුණු 9978ක් ලබා සිටිනවා. ඒ අතරින් ලකුණු 1807ක් ම රැස් කරන්නේ ශ්‍රී ලංකාවට එරෙහිවයි. එහි දී ද්විත්ව ශතක 2ක්, ශතක 4ක් සහ අර්ධ ශතක 6ක් වාර්තා කිරීමට ද ඔහු සමත් වෙනවා.   

එක්දින තරග ඉතිහාසයේ ඔහුගේ ඉහළ ම ඉනිම වන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව 2014 වසරේ දී වාර්තා කරන ලද ලකුණු 264යි.  

Virat Kohli  

ඉන්දීය පිතිකරණ ලැයිස්තුවේ සිටින අනෙක් ප්‍රහාරාත්මක පිතිකරු වන්නේ Virat Kohli. ආසන්නත ම ආසියානු කුසලාන තරගාවලියට සහභාගී නොවූ ඔහු 2010 වසරේ සිට මේ දක්වා ආසියානු කුසලාන තරග 14ක ඉනිම් 12කට සහභාගී වෙමින් ශතක 4ක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 739ක් ලබා සිටිනවා. එහි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 67.18ක් ලෙසින් ඉහළ අගයක් තබා ගැනීමට ද ඔහු සමත් වෙනවා. 

පාකිස්තානය එරෙහිව 2012 ආසියානු කුසලානයේ දී පන්දු 148කට මුහුණ දෙමින් හතරේ පහර 22ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 183, Kohliගේ එක්දින තරග ඉතිහාසයේ ඉහළ ම දක්ෂතාව වෙනවා මෙන් ම එම ලකුණු ප්‍රමාණය ආසියානු කුසලාන තරගාවලියේ මෙතෙක් පිතිකරුවෙක් විසින් රැස් කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් ව තිබෙනවා. 

මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 278ක ඉනිම් 267කට සහභාගී වී ඇති Virat Kohli ශතක 47ක් සහ අර්ධ ශතක 65ක් සමඟ ලකුණු 13024ක් ලබා සිටිනවා. ඒ අතරින් ශ්‍රී ලංකාවට එරෙහිව තරග 50ක ඉනිම් 29ක දී ශතක 10ක් සහ අර්ධ ශතක 11ක් සමඟින් ලකුණු 2503ක් ලබා සිටිනවා. ඒ අතර තිබෙන ශතක 10, Kohli විසින් එක් රටකට එරෙහිව වාර්තා කරන ලද වැඩිම ශතක සංඛ්‍යාව ලෙසින් ද සටහන් වෙනවා.  

Ravindra Jadeja 

ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන 34 හැවිරිදි තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Ravindra Jadeja මෙවර ආසියානු කුසලාන තරගාවලියේ පෙරළිකාර චරිත අතරට නිතැතින් ම එක් වෙන්නෙක්.  

Jadeja මේ දක්වා ආසියානු කුසලාන තරග 17ක ඉනිම් 9ක දී පිටියට පිවිසෙමින් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 171ක් ලබා සිටින අතර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 22ක්.  

වමත් පිතිකරුවෙක් වන ඔහු එක්දින ජාත්‍යන්තර තරගවල මේ දක්වා තරග 179කට සහභාගී වෙමින් අර්ධ ශතක 13ක් සමඟින් ලකුණු 2574ක් ලබා සිටිනවා. වමතින් දඟපන්දු යවමින් ලබා ඇති එක්දින කඩුලු සංඛ්‍යාව 197ක්.  

ශ්‍රී ලංකාවට එරෙහිව තරග 28ක ඉනිම් 17ක දී පිටියට පිවිස ඇති Jadeja අර්ධ ශතකයක් සමඟින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 344ක් වන අතර ලබා ඇති කඩුලු සංඛ්‍යාව 25ක්. 

Shubman Gill 

24 හැවිරිදි වියේ පසුවන ආරම්භක දකුණත් පිතිකරු Shubman Gil ශ්‍රී ලංකාවට එරෙහිව මෙම තරගයේ දී එක් වෙන්නේ මෙතෙක් තරග 3ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 207ක් ලබා ගනිමින්. එහි සාමාන්‍ය 69.00ක් ලෙසින් ඉහළ අගයක් පවත්වා ගැනීමට ඔහු සමත් වෙනවා. 

ඔහු මේ වෙද්දී එක්දින තරග 30කට එක් වෙමින් නවසීලන්තයට එරෙහිව ලබා ගන්නා ලද ද්විත්ව ශතකයක් සහ තවත් ශතක ත්‍රිත්වයක්, අර්ධ ශතක 8ක් සමඟින් ලකුණු 1572ක් ලබා සිටිනවා.  

ආසියානු කුසලාන තරගවල ඔහුගේ දක්ෂතාව තරග 3ක ඉනිම් 3ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 135යි. එහි සාමාන්‍ය 92.46ක් වැනි ඉහළ අගයක රඳවා ගැනීම, ප්‍රතිවාදීන්ට එල්ල කරන රතු එළියක් ලෙසින් හැඳින්විය හැකි 

KL Rahul 

ඉන්දීය කණ්ඩායමේ තවත් ප්‍රවේසම් විය යුතු පිතිකරුවෙක් වන්නේ 31 හැවිරිදි වියේ පසුවන KL Rahul. ඔහු නිමා වූ පාකිස්තානය හා සමඟ තරගයේ දී පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 111ක් ලබා ගන්නවා.  

එම ඉනිමත් සමඟින් ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 55කට සහභාගී වෙමින් ශතක 6ක් සහ අර්ධ ශතක 13ක් සමඟින් ලකුණු 2097ක් ලබා සිටිනවා.  

ඒ අතරට ශ්‍රී ලංකාවට එරෙහිව තරග 8ක ඉනිම් 7ක දී පිටියට පිවිසෙමින් ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 249ක් ලබා ගන්නවා.  

ආසියානු කුසලාන එක්දින තරග ඉතිහාසයේ ඔහුගේ දක්ෂතාව වන්නේ තරග 2ක ඉනිම් 2ක දී ලබා ගන්නා ලද ලකුණු 171යි. එහි සාමාන්‍ය ද ඒ ලෙසින් ම දැක්වෙන්නේ පාකිස්තානය සමඟින් පැවති තරගයේ දී ඔහු නොදැවී සිටීම නිසයි.   

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය සැප්තැම්බර් 14 වැනිදා පාකිස්තානය සමඟ මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.  

2023 ආසියානු එක්දින ක්‍රිකට් කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

 >>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<