India Maharajas පරාජය කළ Asia Lions ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022

10178
Indian Maharajas Vs Asia Lions

ඕමානයේ දී පැවැත්වෙන ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ (LLC) තවත් තරගයක් ඊයේ (24) රාත්‍රියේ දී නිමා වුනා. එම තරගයෙන් India Maharajas ලකුණු 36කින් පරාජය කිරීමට උපුල් තරංග සහ Asghar Afghan ඇතුළු Asia Lions සමත් වුනා.

India Maharajas කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් Asia Lions වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් සහ රොමේෂ් කළුවිතාරණ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියා. ඩිල්ශාන් අවාසනාවන්ත ලෙස ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය නමුත්, කළුවිතාරණ පන්දු 15ක දී ලකුණු 13ක් ලබා ගත්තා.

අනතුරුව පිටියේ එක් වූ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග සහ පාකිස්තානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක Mohammad Yousuf එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක අගනා සබඳතාවයක් ගොඩනංවමින් Asia Lions ලකුණු සටහනට යම් සාර්ථක අඩිතාලමක් සකස් කර දුන්නා.

තරංග පන්දු 45ක දී 4 පහර 7ක් සහ දැවැන්ත 6 පහර 4ක් එල්ල කරමින් සුපිරි ලකුණු 72ක් ලබා ගත් අතර එය ඔහු මේ තරගාවලිය තුල අඛණ්ඩව ලබා ගත් තෙවැනි අර්ධ ශතක වුනා.

මීට පෙර පැවති තරග දෙකේ දී පිළිවෙළින් ලකුණු 63ක් සහ ලකුණු 66ක් ලබා ගත් ඔහු මේ වන විට ඉනිම් තුනක දී ලකුණු 201ක් ලබාගෙන තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස පෙරමුණේ පසුවනවා.

Asia Lions වෙනුවෙන් සාර්ථක අවසානයක් සටහන් කළ හිටපු ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩක Asghar Afghan පන්දු 28ක දී වේගවත් ලකුණු 69ක් ලබා ගත්තා. ඔහුගේ එම සුපිරි ඉනිමට 4 පහර 4ක් සහ 6 පහර 7ක් ඇතුළත් වුනා. අවසානයේ දී ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 193ක් ලබා ගත්තා.

ඊට පිළිතුරු ඉනිම දියත් කළ India Maharajas පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 157ක් පමණයි. ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර සිය පන්දුවාර 4 තුල ලකුණු 14කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

  • Asia Lions – 193/4 (20): උපුල් තරංග 72, Asghar Afghan 69*, M Yousuf 26, A Bhandari 2/41
  • India Maharajas – 157/8 (20): M Gony 35*, Wasim Jaffer 35, නුවන් කුලසේකර 2/14, Asghar Afghan 2/23, Mohammad Rafique 2/32

Asia Lions කණ්ඩායමට ලකුණු 36ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<