තත්සර සහ දහම් ගුරුකුල ඉනිම ගොඩගනී

34th Battle of the Kelani

51
34th Battle of the Kelani

කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය අතර 34 වැනි වරටත් පැවැත්වෙන “කැලණි සටන   වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවෙද්දී ගුරුකුල විද්‍යාලයීය ක්‍රීඩකයෝ වැඩි දක්ෂතා දැක් විමට සමත් වූ අතර ඒ අතුරින් තත්සර ඒශාන් සහ දහම් විමුක්ති අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීම කැපී පෙණුනා.  

කොළඹ P Sara Oval පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගුරුකුල විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 271ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් තරගය පළමු දිනයට නතර කරන විට ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුල්ලක් පමණක් දැවී ලකුණු 19ක් ලබා සිටියා.  

Battle of the Kelani, කොළඹ, 10 – 11 අප්‍රේල් 2024 

  • කාසියේ වාසිය – ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය  
  • ක්‍රීඩාංගණය – P Sara Oval, කොළඹ. 

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: තෙමිර මිකසන (නායක), හෂේන් ශ්‍යාමාල්, සනිරු නිර්මාල්, සුබාත් චලිඳු, සතිඳු ප්‍රබෝධ, කවීන් දෙනෙත්, වගීෂ ආමන්ත (කඩුලු රකින්නා), මෙලන් හංසක, ලක්වන් හශේල්, ඔමල් විහඟ, මොහොමඩ් ෆර්ශාත්. 

ගුරුකුල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: මොහොමඩ් මුර්සාඩ් (නායක), පූර්ණ කල්හාර, නෙත්සර දහම්සිත්, දෙනුර දිමන්සිත් (කඩුලු රකින්නා), යුවනෙත් මදුසංක, ජනිත් මිහිරංග, තත්සර ඒශාන්, දහම් විමුක්ති, නේතන් දිශේන්, හිරුණ නිම්සර, තරුශ කොඩිකාර. 

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට ගුරුකුල විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගයට හොඳ ආරම්භයක් ලබා ගත්ත ද එය මැද පෙළ වන විට දැඩි නාය යෑමකට හසු වුනා.  

ඔවුන්ගේ පළමු කඩුල්ල වෙනුවෙන් නායක මොහොමඩ් මුර්සාඩ් (25) සහ පූර්ණ කල්හාර (31) එක් ව ලකුණු 54ක සබඳතාවක් එක් කළා. එසේ වූවත් එතැන් සිට දැවී ගිය අනෙක් කඩුලු 4 තුළ ඔවුන් ලබා ගත්තේ ලකුණු 29ක් පමණයි. ඒ අනුව ඒ වෙද්දී ඔවුන්ගේ ඉනිම දැක් වුණේ කඩුලු 5ක් දැවී ලකුණු 83ක් ලෙසයි.  

අනතුරු ව 6 වැනි කඩුල්ල සඳහා එක් වූ ජනිත් මිහිරංග සහ තත්සර ඒශාන් තම කණ්ඩායම තිබූ තත්ත්වයෙන් ගොඩ දැමීම සඳහා ලකුණු 39ක සබඳතාවක් එක් කළා. එහි දී ජනිත් මිහිරංග පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.  

ඉන් අනතුරු ව තත්සර ඒශාන් සහ දහම් විමුක්ති එක් ව ඉනිමේ හොඳම ලකුණු සබඳතාව එක් කිරීමට සමත් වූවා. ඔවුන් දෙදෙනා එක් ව 7 වැනි කඩුල්ලට ලකුණු 94ක සබඳතාවක් එක් කළේ දෙදෙනා ම අර්ධ ශතක ඉනිම් ද වාර්තා කරමිනුයි.  

තත්සර ඒශාන් පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 56ක් ද සහ දහම් විමුක්ති පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 79ක් ලබා ගත්තා.  

දහම් විමුක්ති 8 වැනි කඩුල්ල සඳහා ද ලකුණු 45ක සබඳතාවක් එක් කළේ නේතන් දිශේන් (14) ගේ සහාය ලබා ගනිමිනුයි.  

ඒ අනුව අවසන් වූ ගුරුකුල ඉනිමේ කඩුලු 3 බැගින් දවා ගැනීමට මොහොමඩ් ෆර්ශාත් සහ සතිඳු ප්‍රබෝධ සමත් වූවා. ඊට අමතර ව තෙමිර මිකසන කඩුලු 2ක් ද සහ මෙලන් හසංක කඩුල්ලක් ද දවා ගත්තා. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයීය ඉනිමේ පළමු කඩුල්ල 2 වැනි පන්දුවේ දී අහිමි කිරීමට තරුශ කොඩිකාර සමත් වූවා. ඉන් අනතුරුව ඉතා පරිස්සමෙන් පන්දුවට පහර දුන් ඔවුන් තරගය පළමු දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 19ක් දක්වා තම ඉනිම රැගෙන ඒමට සමත් වූවා.  

මේ වෙද්දී සනිරු නිර්මාල් (11) සහ සුබත් චලින්ද (07) නොදැවී පිටියේ රැදී සිටිනවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ගුරුකුල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 271 (79.1) මොහොමඩ් මුර්සාඩ් 25, පූර්ණ කල්හාර 31, ජනිත් මිහිරංග 32, තත්සර ඒශාන් 56, දහම් විමුක්ති 79, මොහොමඩ් ෆර්ශාත් 3/47, සතිඳු ප්‍රබෝධ 3/92, තෙමිර මිකසන 2/43 

 

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය – පළමු ඉනිම කඩුල්ලක් දැවී 19 (17.0) සනිරු නිර්මාල් නොදැවී 11, තරුශ කොඩිකාර 1/10 

 

මෙම තරගය (11) දෙවැනි සහ අවසන් දිනටත් ක්‍රියාත්මකයි.  

දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<