SAG දිනූ පාකිස්තානුවන් තිදෙනෙකුට වැඩ වැරදී

137

පසුගිය වසරේ නේපාලයේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී පාකිස්තානය නියෝජනය කරමින් ජයග්‍රහණය දිනා ගැනීමට සමත් වූ මලල ක්‍රීඩකයන් තිදෙනෙකු තහනම් උත්තේජක පරීක්ෂණ අසමත් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

>> ජාතික මහා ක්‍රීඩා උළෙල මේ වසරේ අවසානයට

නිමා වූ තරගාවලියේ දී 400m කඩුලු පැනීම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් මෙහෙබූබ් අලී, 110m කඩුලු පැනීම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් මොහොමඩ් නයීම් සහ 100m ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් සමී උල්ලාහ් යන ක්‍රීඩකයන් මෙලෙස පරීක්ෂණය අසමත් වී ඇත.

මෙම පරීක්ෂණ ප්‍රතිඵලයන් පිළිබඳව නේපාල ඔලිම්පික් කමිටුව විසින් පසුගිය දිනක පාකිස්තාන ඔලිම්පික් කමිටුව දැනුවත් කර තිබූ අතර එම කමිටුව විසින් පාකිස්තාන මලල ක්‍රීඩා සංගමයට මෙම වාර්තාව ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව මෙම ක්‍රීඩකයන් මේ පිළිබඳව අද (27) සිය ප්‍රතිචාරය දැක්වීම සිදු කළ යුතුව පවතී. එම ප්‍රතිචාරවලින් පසුව නඩු විභාගයක් පැවැත්වෙන අතර ක්‍රීඩකයන් හට අවශ්‍ය නම් අදාළ නීති රීතීන්ට යටත්ව ඔවුන්ගේ B සාම්පල් පරික්ෂාව පවත්වනු ලැබේ.

මෙහෙබූබ් අලී පාකිස්තානය නියෝජනය කරමින් 2016 වසරේ ඔලිම්පික් තරගාවලියට පවා සහභාගි වූ අතර මෙම ක්‍රීඩකයන් සියලූම දෙනා ටෝකියෝ ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් චීනයේ පුහුණුවීම් කටයුතු සඳහා යොමු කෙරූ මලල ක්‍රීඩා සංචිතයට ද ඇතුළත්ව සිටියා.

මීට අමතරව 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 110m කඩුලු පැනීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා ක්‍රීඩක රොෂාන් ධම්මිකට හිමි වූ අතර 400m කඩුලු පැනීමේ ඉසව්ව නියෝජනය කළ අසංක ඉන්ද්‍රජිත් එම ඉසව්වේ සිව්වැන්නා ලෙස ද තරගය අවසන් කරන ලදි.

ඒ අනුව යම් හෙයකින් මෙම පරීක්ෂණ අසමත් වූ ක්‍රීඩකයන්ගේ පදක්කම් අහිමි වූවහොත් රොෂාන් ධම්මික හට 110m කඩුලු පැනීම රිදී පදක්කමත්, අසංක ඉන්ද්‍රජිත් හට 400m කඩුලු පැනීමේ ලෝකඩ පදක්කමත් හිමි වීමට ඉඩකඩක් පවතී.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<