මයිලෝ ජනාධිපති කුසලාන රග්බි තරගාවලිය මෙම වසරේ දී සිය 25 වෙනි සංවත්සරය සම්පූර්ණ කිරීම නිමිති කොට ගෙන මයිලෝ ජනාධිපති කුසලානය ජයග්‍රහණය කරනු ලැබූ පාසල් කණ්ඩායම් වල නායකයින් 25 දෙනෙක් එක්කර ගනිමින් ඔවුන් අතර රග්බි තරගයක් සංවිධානය කරන්නට සංවිධායකයින් තීරණය කර ඇත. මෙම තරගය ජුනි මස 24 වන දින කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර මෙය ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාලෝලීන්ට නවමු අත්දැකීමක් වනු ඇත.

නිලූෆගේ මඟ පෙන්වීම යුද හමුදාවට

ආදි කිංස්වුඩ් ක්‍රීඩකයෙක්, මහනුවර රග්බි සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෙක්, නාවික හමුදා ක්‍රීඩකයෙක් මෙන්ම..

“Legends games” යන නමින් පැවැත්වෙන මෙම තරගය සංවිධානය කෙරෙන්නේ රග්බි ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වරටයි. ඒ අනුව මෙම මිතුරු තරගයට 1995 වසරේ සිට 2016 වසර දක්වා පැවති ජනාධිපති කුසලාන රග්බි තරගාවලි වල ශූරතාවය දිනා ගත් කණ්ඩායම්වල නායකයින් එක්වනු ඇත.

1995 වසරේ දී ප්‍රථම වරට මයිලෝ ආයතනය ජනාධිපති කුසලාන රග්බි තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ අතර එතැන් සිට අද දක්වා ඔවුන් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ ඉහළ ස්ථානයකට රැගෙන ඒම සඳහා දැක්වූ දායකත්වය ඉතා විශාල ය.

මෙම තරගය පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී නෙස්ලේ ශ්‍රී ලංකා ආයතනයේ ආයතනික කටයුතු සම්බන්ධ උප සභාපති බන්දුල එගොඩගේ මහතා වසර ගණනාවක් පුරාවට ශ්‍රී ලංකාවේ පාසල් රග්බි ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා මයිලෝ ආයතනය දැක්වූ දායකත්වයේ ගමන්මග පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ,

“මේ වසර ගණනාව පුරාවට ශ්‍රී ලංකාවේ පාසල් රග්බි ක්‍රීඩකයින් තම පාසල් කණ්ඩායම් වෙනුවෙන් දැක්වූ දක්‍ෂතාවන් පිළිබඳව අපි සැබවින්ම සතුටට පත් වෙනවා. පාසල් රග්බි ක්‍රීඩකයෙකුගේ තත්වයේ සිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීම දක්වා පවා සමහර ක්‍රීඩකයින් ගමන් කරලා තිබෙනවා. ඒ වගේම ඔවුන් සැබෑ මහත්වරුන් ලෙස ක්‍රීඩාවේ නිරත වනු දක්නට ලැබීම අපිට ලොකු සතුටක්.”

මෙම මස 24 වන දින කොළඹ තුරඟ තරග පිටියේ දී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන මයිලෝ ජනාධිපති කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයත් සමඟ මෙම තරගය පැවැත්වීමට නියමිත ය. ජනාධිපති කුසලානය ජයග්‍රහණය කළ නායකයින් 24 දෙනෙක් ‘Milo Whites’ සහ ‘Milo Greens’ යනුවෙන් කණ්ඩායම් දෙකකට බෙදා දැක්වේ. ඒ අනුව මෙම තරගය ‘ටැග් රග්බි’ තරගයක් ලෙස එදින ප.ව. 6 ට ආරම්භ වීමට නියමිත ය.

1995 වසරේ දී පැවති ප්‍රථම මයිලෝ ජනාධිපති කුසලාන රග්බි තරගාවලියේ ශූරයින් බවට පත්වූ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය දැරූ සංජීව අබේගුණවර්ධන ‘Milo Whites’ කණ්ඩායමේ නායකත්වය දරන අතර ‘Milo Greens’ කණ්ඩායමේ නායකත්වය දරන්නේ 1996 වසරේ දී තරගාවලියේ ශූරතාවය දිනා ගත් ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා වූ බන්දුල මල්ලිකාරච්චි විසිනි.

‘Milo Whites’ කණ්ඩායම මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ එරන්ද වීරක්කොඩි, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ජනික් ජයසූරිය, කිංස්වුඩ් විද්‍යාලයේ දිනේෂ් සිරිවිමල සහ මුරාඩ් රම්සීන් වැනි ප්‍රබල ක්‍රීඩකයින්ගෙන් සමන්විත වේ.

කෙසේ වුවත් රග්බි ක්‍රීඩාවේ අත්දැකීම් අතින් ඉහළ ක්‍රීඩකයින් සිටින්නේ ‘Milo Greens’ කණ්ඩායමේ වේ. ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ මෙන්ම ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායමේ ද නායකත්වය දැරූ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ෆසිල් මරීජා ‘Milo Greens’ කණ්ඩායමේ සිටීම ඔවුන්ට විශාල වාසියක් වනු ඇත. ෆසිල් මරීජාගේ නායකත්වය යටතේ කිංස්වුඩ් විද්‍යාලයීය කණ්ඩායම 2004 වසරේ දී ජනාධිපති කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් විය. එමෙන්ම පසුගිය වසරේ තරගාවලියේ ශූරතාවය දිනූ ඉසිපතන කණ්ඩායමේ නායකත්වය දැරූ කුෂාන් ඉඳුනිල්, සෙනාල් දීලක සහ කීත් ගුරුසිංහ වැනි තවත් ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ‘Milo Greens’ කණ්ඩායම නියෝජනය කරනු ලබයි.

“තරුණ මෙන්ම තරමක් වයස ක්‍රීඩකයින් ද එකතු කර ගනිමින් මෙවන් තරගයක් පැවැත්වීම ඉතා හොඳ දෙයක්. මම හිතන්නේ අපි හැමෝම වගේ ක්‍රීඩා කළේ අපේත්, කණ්ඩායමේත් අභිමානය වෙනුවෙන්. අපිට අලුත් පරම්පරාවට කියන්න තියෙන්නෙත් ඒ වෙනුවෙන් ක්‍රීඩා කරන්න කියන එක.”

1996 වසරේ දී ජනාධිපති කුසලානය ජයග්‍රහණය කළ ‘Milo Greens’ කණ්ඩායමේ නායක බන්දුල මල්ලිකාරච්චි ප්‍රකාශ කළේය.

“මේක මට ඉතා වැදගත් අවස්ථාවක්. මම කවදාවත් හිතුවේ නැහැ මේ වගේ අවස්ථාවකට මට එක් වෙන්න පුළුවන් වෙයි කියලා. එදා 1995 වසරේ දී මාත් එක්ක හිටපු සාන්ත පීතර කණ්ඩායම නැත්නම් මට අද මෙතන ඉන්න ලැබෙන්නේ නැහැ. මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ දැවැන්තයින් සමඟ ක්‍රීඩා කරමින් හොඳ තරගයක නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා.”

පළමු මයිලෝ ජනාධිපති කුසලානයේ ජයග්‍රහණය කරා සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම මෙහෙය වූ ‘Milo Whites’ කණ්ඩායමේ නායක සංජීව අබේගුණවර්ධන සිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

තරගයේ තීරකවරයා ලෙස කටයුතු කරන්නේ ඩිල්රෝයි ප්‍රනාන්දු මහතා යි.

‘Milo Whites’ කණ්ඩායම:Milo Whites Team

ඉහළ වම් කෙළවරේ සිට දකුණට – දුමින්ද ආටිගල (රාජකීය විද්‍යාලයීය කණ්ඩායමේ නායක – 2010), ලසිඳු ඉෂාන් (විද්‍යා විද්‍යාලයීය කණ්ඩායමේ නායක – 2015), ජනික් ජයසූරිය (සාන්ත තෝමස් කණ්ඩායමේ උප නායක – 2009), ගාවින් සීගර්ට්ස් (වෙස්ලි විද්‍යාලයීය කණ්ඩායමේ නායක – 2013), එරන්ද වීරක්කොඩි (කිංස්වුඩ් විද්‍යාලයීය කණ්ඩායමේ නායක – 2005), මුරාඩ් රම්සීන් (ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමේ නායක – 2011), රංග පෙරේරා (ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායමේ නායක – 2001)   

පහළ වම් කෙළවරේ සිට දකුණට – දිනේෂ් සිරිවිමල (කිංස්වුඩ් විද්‍යාලයීය කණ්ඩායමේ නායක – 2003), ජානක ද සිල්වා (ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායමේ උප නායක – 1999), දිල්රෝයි ප්‍රනාන්දු (තරග තීරක), සංජීව අබේගුණවර්ධන (සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායමේ නායක – 1995), වජිර හේවගේ (ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායමේ නායක – 1997)

ඡායාරූපයේ නොමැති ක්‍රීඩකයින්: ශානක ගුණසේකර (සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායමේ උප නායක – 2007)

‘Milo Greens’ කණ්ඩායම:Milo Greens Team:

ඉහළ වම් කෙළවරේ සිට දකුණට – කුෂාන් ඉඳුනිල් (ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායමේ නායක – 2016), සෙනාල් දීලක (ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායමේ නායක – 2014), ෂෙනාල් ඩයස් (ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායමේ උප නායක – 2014), පූර්ණක ඩෙල්පචිත්‍ර (සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායමේ නායක – 2008), හරේන්ද්‍ර ආරියවංස (සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායමේ නායක – 2006), ෆසිල් මරීජා (කිංස්වුඩ් විද්‍යාලයීය කණ්ඩායමේ නායක – 2004)

පහළ වම් කෙළවරේ සිට දකුණට – චාමර විතානගේ (කිංස්වුඩ් විද්‍යාලයීය කණ්ඩායමේ නායක – 2000), සුල්කි හමීඩ් (රාජකීය විද්‍යාලයීය කණ්ඩායමේ නායක – 2002), දිල්රෝයි ප්‍රනාන්දු (තරග තීරක), බන්දුල මල්ලිකාරච්චි (ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායමේ නායක – 1996), විනෝත් කුරුපුණාවෙලා (තර්ස්ටන් විද්‍යාලයීය කණ්ඩායමේ උප නායක – 1998)

ඡායාරූපයේ නොමැති ක්‍රීඩකයින්: කීත් ගුරුසිංහ (සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායමේ නායක – 2010)

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට