ජාතික මහා ක්‍රීඩා උළෙල මේ වසරේ අවසානයට

158

මේ දිනවල පැතිර යන කොරෝනා වසංගත තත්වය නිසාවෙන් මෙරට පැවැත්වෙන විශාලතම ක්‍රීඩා සැණකෙළිය වන ජාතික මහා ක්‍රීඩා උළෙල කල් දැමීමට තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සියලුම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් හට දැනුම් දී ඇත.

වසර අවසානයේ ජාතික මලල ක්‍රීඩා තරගාවලියක්

ඒ අනුව ක්‍රීඩා උළෙල එළඹෙන නොවැම්බර් හෝ දෙසැම්බර් මාසය දක්වා කල් යනු ඇති අතර මෙම තීරණය පිළිබඳව “ලංකාදීප” පුවත්පත වෙත අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර සිටියේ නියමිත දිනට ක්‍රීඩා උළෙල පැවැත්වීමට තරම් රට ස්ථාවර තත්වයට පත්වී නොමැති නිසාවෙන් මෙම කල් දැමීම සිදු කළ බවයි.

“මේ පිළිබඳව තීරණයක් ගන්න පළාත් නවයෙම ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් කොළඹට කැඳවා සාකච්ඡා කිරීමට අපි තීරණය කළා. ඒ සියලුම දෙනාට පවතින තත්වය එක්ක කොළඹට පැමිණීමට ඇති හැකියාව බලලා ඉක්මනින්ම මෙම සාකච්ඡාව පවත්වන්න අප බලාපොරොත්තුවෙන් පසුවෙනවා.”

“ජූලි 10ට කලින් පළාත් තරග පවත්වලා ඉවර කරන්න කලින් තීරණය කරලා තිබ්බත් හදිසියේ ඇතිවුන මේ තත්වය නිසා ක්‍රීඩා කටයුතු පවත්වලා ඒ අදාළ දිනයන්ට තරග සියල්ල අවසන් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.”

“මෙවර තරගාවලිය ක්‍රීඩා සංඛ්‍යාව අඩු කරලා පවත්වන්න ක්‍රීඩා අමාත්‍යවරයා යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. අප දැන් ඒ යෝජනාව පිළිබඳවත් අවධානය යොමු කරලා නව කාලසටහන සකස් කරමින් සිටින්නේ. කල් ගෙන හෝ මෙම තරගාවලිය අවලංගු නොකර පැවැත්වීමටයි අපගේ බලාපොරොත්තුව” යැයි එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින ලදි 

මෙවර තරගාවලිය කොළඹ,අනුරාධපුරය සහ පොළොන්නරුව කේන්ද්‍ර කර ගනිමින් අදියර පහක් යටතේ පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර තරගාවලියේ අවසන් අදියර සැප්තැම්බර් මාසයේ දී කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියෙහි පැවැත්වීමට නියමිතව තිබුණි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<