උණුසුම් තරග රැසක් සමඟ පාසල් රග්බි ලීගයේ පස්වැනි සතිය ක්‍රියාත්මක වෙයි!

Dialog Schools Rugby League 2025

11

2025 Dialog පාසල් රග්බි ලීගයේ පස්වැනි  සතියේ තරග නිමා වූ සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා. එම තරග විස්තර සියල්ල පහතින්; 

තර්ස්ටන් විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය  

මෙම තරගය තර්ස්ටන් විද්‍යාලයට ඉතිහාස ගත මතකයක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී තර්ස්ටන් ක්‍රීඩකයින් විසින් දේශීය පාසල් රග්බි ලීගයේ  Division 1 Segment A කොටසේ ඔවුන්ගේ පළමු ජය තහවුරු කර ගැනීමට සමත් වුනා. 

මෙම තරගයේ පළමු අර්ධය නිමා වන විට විද්‍යාර්ථ ක්‍රීඩකයින් ඉතා පහසු ජයක් කරා යමින් පෙරමුණ ගැනීමට සමත් වී සිටියා. මෙහි දී විද්‍යාර්ථ ක්‍රීඩකයින් ලකුණු 21ක් ලබා ගනිද්දී තර්ස්ටන් ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වී සිටියේ ලකුණු 05ක් පමණයි. 

කෙසේ නමුත් තරගයේ දෙවැනි අර්ධය තුළ සම්පූර්ණයෙන්ම තරගයේ ස්වරූපය වෙනස් කිරීමට සමත් වූ තර්ස්ටන් විද්‍යාලය උත්සාහක දිනුම් හතරක් සමඟ ලකුණු 26ක් ලබමින් තරගය ජය ගැනීමට සමත් වුනා. 

  • තර්ස්ටන් විද්‍යාලය 31 (5T, 3C) – විද්‍යාර්ථ විද්‍යාලය 24 (3T, 3C, 1P) 

සාන්ත පීතර විද්‍යාලය සහ ඩී.එස්.සේනානායක විද්‍යාලය  

මෙම තරගයේ ජය සාන්ත පීතර විද්‍යාලය සතු වූ අතර, තරගයේ පළමු අර්ධය තුළ ඔවුන් සිය ජය වෙනුවෙන් මාවත විවර කර ගැනීමට සමත් වුනා. එහි දී සාන්ත පීතර ක්‍රීඩකයින් ලකුණු 19ක් ලබා ගන්නා අතරේ ම ඩී.එස්. ක්‍රීඩකයන්ට ලකුණු ලබා ගැනීමට ඉඩ ලබා දුන්නේ ද නැහැ. 

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී ඩී.එස් ක්‍රීඩකයින් විසින් ලකුණු 17ක් ලබමින් තරගයට නැවත අවතීර්ණ වීමට උත්සාහ කළා. නමුත් එය සාර්ථක උත්සාහයක් වුනේ නැහැ. 

  • සාන්ත පීතර විද්‍යාලය 24 (4T, 2C) – ඩි.එස්.සේනානායක විද්‍යාලය 17 (3T, 1C) 

තරගයේ වීරයා ජමාල් වහාබ් (සාන්ත පීතර විද්‍යාලය) 

ධර්මරාජ විද්‍යාලය සහ කිංස්වුඩ් විද්‍යාලය  

පාසල් රග්බි සංස්කෘතිය තුළ ඉහළ වටිනාකමක් හිමි වන මෙම තරගයේ ජය කිංස්වුඩ් විද්‍යාලය සතු වුනා. 

තරගයේ පළමු අර්ධය තුළ කිංස්වුඩ් ක්‍රීඩකයින් ලකුණු 12ක් ලබා ගත් අතර, ඊට කරට කර සටනක් ලබා දුන් ධර්මරාජ ක්‍රීඩකයින් ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වුනා. 

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ තරගයේ ජය තමන්ගේ බව තහවුරු කර ගැනීමට කිංස්වුඩ් විද්‍යාලයට හැකි වුනා. 

  • කිංස්වුඩ් විද්‍යාලය 27 (4T, 2C, 1P) – ධර්මරාජ විද්‍යාලය 17 (3T, 1C) 

තරගයේ වීරයා රිවින් බඩ්වීන් (කිංස්වුඩ් විද්‍යාලය) 

සහිරා විද්‍යාලය සහ මහානාම විද්‍යාලය 

මෙම තරගය සම්පූර්ණයෙන්ම පාහේ සහිරා විද්‍යාලය නතු වූ එකක් ලෙසයි ක්‍රියාත්මක වුනේ. තරගයේ පළමු අර්ධය තුළ සහිරා ක්‍රීඩකයින් උත්සාහක දිනුම් හතරක් සමඟ ලකුණු 22ක් ලබා ගන්නා අතරේ, මහානාම ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 05ක් පමණයි. 

තරගයේ දෙවැනි අර්ධය තුළ සහිරා විද්‍යාලය තවත් උත්සාහක දිනුම් 06ක් වාර්තා කරමින් සමස්ත උත්සාහක දිනුම් දහයක් සමඟ ලකුණු 58ක් ලබා ගනිමින් ඉතා පහසු ජයක් හිමි කර ගැනීමට සමත් වුනා. 

  • සහිරා විද්‍යාලය 58 (10T, 4C) – මහානාම විද්‍යාලය 18 (3T, 1C) 

තරගයේ වීරයා ලුක්මන් උල් හකීම් (සහිරා විද්‍යාලය) 

සාන්ත ජෝසප් විද්‍යාලය සහ ශ්‍රී සුමංගල විද්‍යාලය 

මෙම තරගය ද සාන්ත ජෝසප් විද්‍යාලය ඉතා පහසුවෙන් ජය ගැනීමට සමත් වුනා. 

තරගයේ පළමු අර්ධය තුළ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් ලකුණු 27ක් ලබා ගැනීමට සමත් වූ අතර, සුමංගල ක්‍රීඩකයින් ලකුණු 07ක් ලබා ගැනීමට සමත් වුනා. 

තරගයේ දෙවැනි අර්ධය තුළ සිය ලකුණු සංඛ්‍යාව ලකුණු 67ක් කරා රැගෙන යාමට සමත් වූ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් ඒ වෙනුවෙන් උත්සාහක දිනුම් 10ක් වාර්තා කිරීමත් විශේෂත්වයක්. 

  • සාන්ත ජෝසප් විද්‍යාලය 67 (10T, 7C, 1P) – ශ්‍රී සුමංගල විද්‍යාලය 07 (1T, 1C) 

තරගයේ වීරයා මින්දුල්ක පෙරේරා (සාන්ත ජෝසප් විද්‍යාලය) 

සාන්ත අන්තෝනි විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය 

මෙම තරගයේ දී කණ්ඩායම් දෙකම උරෙන් උර ගැටෙමින් ජයග්‍රහණය සඳහා තරග වැදුණා. තරගයේ පළමු අර්ධය තුළ සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් ලකුණු 14ක් ලබා ගනිද්දී, විද්‍යා විද්‍යාලය විසින් ලකුණු 07ක් ලබා ගැනීමට සමත් වුනා. 

තරගයේ පළමු අර්ධය තුළ සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් පෙරමුණ ගැනීමට සමත් වුනත්, දෙවැනි අර්ධයේ දී විද්‍යා විද්‍යාලය විසින් ලකුණු 17ක් ලබා ගනිමින් තරගයේ තීරණය වෙනස් කිරීමට දැඩි වෙහෙසක් දැරුවා. නමුත් එය අවාසනාවන්ත ලෙස ව්‍යර්ථ වුනා. 

  • සාන්ත අන්තෝනි විද්‍යාලය 28 (4T, 4C) -විද්‍යා විද්‍යාලය 24 (3T, 3C, 1P) 

තරගයේ වීරයා කල්ප ලක්මිණ (සාන්ත අන්තෝනි විද්‍යාලය) 

ත්‍රිත්ව විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය  

මෙම තරගයේ දී ත්‍රිත්ව විද්‍යාලය සැලකිය යුතු තරම් අභියෝගයක් එල්ල කිරීමට රාජකීයයන්ට හැකියාවක් ලැබුණේ නැහැ. 

තරගයේ පළමු අර්ධය තුළ ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 19ක් ලබා ගනිද්දී, රාජකීයයන් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 09ක් පමණයි 

තරගයේ දෙවැනි අර්ධය තුළ ද ත්‍රිත්ව ක්‍රීඩකයින් තවත් ලකුණු 15ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා. 

  • ත්‍රිත්ව විද්‍යාලය 34 (6T, 2C) – රාජකීය විද්‍යාලය 12 (4P) 

තරගයේ වීරයා නිසිත් කුමාරසිංහ (ත්‍රිත්ව විද්‍යාලය) 

වෙස්ලි විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය 

මෙම තරගයේ ජය වෙස්ලි විද්‍යාලය සතු වූ අතර, ඒ අනුව මෙවර ලීගයේ පස්වැනි සති අන්තය වන විටත් අපරාජිත ගමන යෙදීමට වෙස්ලි විද්‍යාලයට හැකි වී තිබෙනවා. 

තරගයේ පළමු අර්ධය තුළ වෙස්ලි විද්‍යාලය ලකුණු 24ක් ලබා ගන්නා අතරේ, ආනන්ද විද්‍යාලය විසින් ලකුණු 06ක් ලබා ගැනීමට සමත් වී සිටියා. 

තරගයේ දෙවැනි අර්ධය තුළ ද වෙස්ලි ක්‍රීඩකයින් සිය ආධිපත්‍යය රැක ගනිමින් ක්‍රීඩාවේ යෙදීමට සමත් වුනේ තවත් ලකුණු 19ක් ලබා ගනිමිනුයි. 

  • වෙස්ලි විද්‍යාලය 43 (7T, 4C) – ආනන්ද විද්‍යාලය 11 (1T, 2P) 

තරගයේ වීරයා සඳුල් ගම්මන්පිල (වෙස්ලි විද්‍යාලය) 

සාන්ත තෝමස් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය 

ගෙවුණු සති අන්තයේ ක්‍රියාත්මක වූ තරග අතුරින් ඉහළ තරගකාරීත්වයක් බලාපොරොත්තු වූ තරගයක් ලෙස මෙය හඳුන්වාදිය හැකි. 

තරගයේ පළමු අර්ධය තුළ සාන්ත තෝමසුවන් විසින් ලකුණු 21ක් ලබාගන්නා අතරේ, ඉසිපතන ක්‍රීඩකයින් ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වුනා. 

තරගයේ දෙවැනි අර්ධය තුළ තෝමසුවන් විසින් තවත් ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉසිපතන ක්‍රීඩකයින් විසින් මෙම අර්ධය තුළ ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 10ක් පමණයි. 

ඒ අනුව තරගයේ ජය සාන්ත තෝමස් විද්‍යාලය සතු වුනා. 

  • සාන්ත තෝමස් විද්‍යාලය 36 (5T, 4C, 1P) – ඉසිපතන විද්‍යාලය 24 (3T, 3C, 1P) 

තරගයේ වීරයා එයාන් පෙරේරා (සාන්ත තෝමස් විද්‍යාලය) 

දේශීය පාසල් රග්බි ලීගයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<