ඇන්ජලෝ පෙරේරා එක්දින පිටියට

661
Angelo Perera
Angelo Perera

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත 2වැනි එක්දින තරගය සදහා ආබාධයකට ලක්ව සිටින නුවන් ප්‍ර‍දීප් වෙනුවට මැද පෙල ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ පෙරේරා සංචිතයට කැදවීමට තේරීම් කමිටුව විසින් තීරණය කර ඇත.

පසුගිය ලිපි: ලංකාවත් දකුණු අප්‍රිකාවත් කරට කර සටනක්

ශාන්ත පීතර විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය සැපයු 26 හැවිරිදි ඇන්ජලෝ පෙරේරා අවසන් වරට 2014 වර්ෂයේදි බංගලාදේශයට එරෙහිව තරග වැදුනු අතර ඔහු මේ වන විට එක්දින තරග ත්‍රිත්වයකටත්, විස්සයි විස්ස තරග ද්විත්වයකටත් සිය දායකත්වය සපයා ඇති අතර එක්දින තරග එකකදි පමණක් පිත්තෙන් සිය දස්කම් දැක්වීමට සමත් විය.

පසුගිය දා නිමාව දුටු එංගලන්ත, ශ්‍රී ලංකා A කණ්ඩායම් තරග සංචාරයේ ලකුණු සාමාන්‍ය 56.3 සමග තරග 4කදි ලකුණු 169ක් ලබා ගනිමින් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙමින් තේරීම් කමිටුවේ අවධානය දිනා ගැනීමට සමත් වූ ඔහු එංගලන්තයට එදිරිව අර්ධ ශතකයකින් ද සිය කණ්ඩායමට දායකත්වය දැක්වීමට සමත් විය.

ආරංචි මාර්ග අනුව, ටෙස්ට් තරග මාලාව අතරතුර අබාධයකට මුහුණු දුන් ප්‍ර‍දීප්ගේ තත්ත්වය මේවන විටත් සම්පූර්ණයෙන් සුව අතට හැරි නොමැති අතර තේරීම් කමිටුව ඔහුව ආරම්භයේ සිටම එක්දින සංචිතයට ඇතුලත් කර තිබුනි.

තිසර පෙරේරා, සුරංග ලක්මාල් සහ නායක ඇන්ජලෝ මැතිව්ස් යන ක්‍රීඩකයින් පමණක් 16 දෙනෙකුගෙන් යුතු සංචිතයේ නිත්‍ය ක්‍රීඩකයින් ලෙස රැදී සිටින අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදි දෙවැනි එක්දින තරගය හෙට ආරම්භ වීමට නියමිතව ඇත.

තවද පසුගිය දා නිමාව දුටු ප්‍ර‍ථම එක්දින ක්‍රිකට් තරගයේදි මොයිසස් හෙන්රික්ස් ගේ පන්දුවක් චන්දීමාල්ගේ පපුව ප්‍රදේශයේ වැදීමෙන් තරමක ආබාධමය තත්වයකට ඔහු පත්වුවත් පැවති ස්කෑන් පරීක්ෂණයන් වලින් අනතුරැව ඔහුට යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් හෙට දිනයේ උපනායකයා ලෙස කණ්ඩායම හා එක්වෙමින් ක්‍රීඩා කිරීමට හැකි බව වාර්තාවේ.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට