හිරූෂට තරගය අහිමි වෙද්දී කවීෂගෙන් සටන්කාමී ධාවනයක්

20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවය

316

කොලොම්බියාවේ Cali හී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ පිරිමි දුර පැනීම ඉසව්වට සහභාගී වීමට නියමිතව සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩක හිරූෂ හෂේන් හට එම තරගයට සහභාගී වීමේ අවස්ථාව අහිමි වුනා. ඒ ඔහුට නියමිත කාලයට පෙර ක්‍රීඩාංගණයට ළඟා වීමට නොහැකි වීම නිසයි.

තරගාවලියට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක් වූ හිරූෂ තරගාවලිය සඳහා පසුගිය සෙනසුරාදා (30) රාත්‍රියේ දිවයිනෙන් පිටත් වූ නමුත් ඔහුට තරගාවලිය පැවැත්වෙන Cali නුවරට නියමිත වේලාවට ළඟා වීමට හැකි වුනේ නැහැ.

එම ඉසව්වේ මූලික වටයේ සමස්ත ක්‍රීඩකයින් අතරින් හයවැනි ස්ථානය දිනා ගත් ක්‍රීඩකයාගේ දස්කම (මීටර් 7.66) හිරූෂගේ හොඳම දස්කමට ( මීටර් 7.67) වඩා අඩු වූ අතර හිරූෂට එම ඉසව්වට සහභාගී වීමට අවස්ථාව හිමි වූවා නම් මුල් ක්‍රීඩකයින් 12 අතර සිටිමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට විශාල අවස්ථාවක් තිබුණා.

හිරූෂට අමතරව ඊයේ (01) දිනයේ දී කඩුලු පැනීමේ ක්‍රීඩක කවීෂ බණ්ඩාර මීටර් 110 කඩුලු පැනීමේ මූලික වටයට සහභාගී වීමට නියමිතව තිබූ අතර ඔහුට එම තරගයට සහභාගී වීමට සිදු වුනේ Cali වෙත ළඟා වීමෙන් අනතුරුව කිසිදු විවේකයකින් තොරවයි.

මීටර් 110 කඩුලු පැනීමේ පස්වැනි මූලික වටයට සහභාගී වූ කවීෂ එම ඉසව්ව තත්පර 14.18ක කාලයකින් හයවැන්නා ලෙස අවසන් කළ අතර සමස්ත ඉසව්වේ ඔහුට 33 වැනි ස්ථානය හිමි වුනා.

එම දස්කම් ඔහුට ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රමාණවත් නොවුනත් දීර්ඝ ගුවන් ගමනකින් පසු කිසිදු විවේකයක් හෝ ඇඟ උණුසුම් කිරීමකින් තොරව තරගයට මුහුණ දී ඔහු දැක්වූ දස්කම් අගය කළ යුතුයි.

හිරූෂ සහ කවීෂට අමතරව මැදිදුර ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න ඊයේ දිනයේ දී මීටර් 800 මූලික තරගයට සහභාගී වීමට නියමිතව තිබුනත්, ඇයට එම ඉසව්ව සඳහා තරග කිරීමට හැකිව තිබුණේ නැහැ,

කෙසේ නමුත් ඇය මීටර් 400 මූලික තරගයට අද (02) දිනයේ දී සහභාගී වීමට නියමිතව ඇති අතර ඇයට අමතරව අමේෂා හෙට්ටිආරච්චි අද කාන්තා මීටර් 400 කඩුලු පැනීමේ මූලික තරගයට සහභාගී වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 07 දෙනෙකු සුදුසුකම් ලබා ගත් නමුත් ඔවුන්ට තරගාවලිය අහිමි වීමේ අවදානමක් පැවතියේ ඔවුන්ට අවශ්‍ය ගුවන් ටිකට් පත් නියමිත වේලාවට ලබා දීමට බලධාරීන් අපොහොසත් වීම නිසයි.

නමුත් අවසන් මොහොතේ දී ඔවුන්ට අවශ්‍ය ටිකට් පත් සූදානම් කර දීමට බලධාරීන්ට හැකි වූ අතර පළමු කණ්ඩායම ලෙස හිරූෂ, කවීෂ සහ ඔහුගේ පුහුණුකරු Cali බලා පිටත් වුනා.

තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කාලසටහන,

SL Time Event Round Athlete
2nd August
8:05 PM 400m. (Women) Heats තරුෂී කරුණාරත්න
9:55 PM 400m Hur (Women) Heats අමේෂා හෙට්ටිආරච්චී
3rd August
9:15 PM 400 M Hur (Men) Heats ධනුක දර්ශන
01:35 AM (04th August) 400 M Hur (Women) Semi Finals අමේෂා හෙට්ටිආරච්චී
03:30 AM (04th August) 400m. (Women) Semi Finals තරුෂී කරුණාරත්න
4th August
7:30 PM Javelin Throw Men) Qualification රුමේෂ් තරංග
9:30 PM Triple Jump (Men) Qualification පසිඳු මල්ෂාන්
03:10 AM (05th August) 400 M Hur (Men) Semi Finals ධනුක දර්ශන
03:40 AM (05th August) 400 M Hur (Women) Final අමේෂා හෙට්ටිආරච්චී
04:10 AM (05th August) 400m. (Women) Final අමේෂා හෙට්ටිආරච්චී
5th August
03:15 AM (06th August) 400 M Hur (Men) Final ධනුක දර්ශන
03:25 AM (06th August) Triple Jump (Men) Final පසිඳු මල්ෂාන්
03:30 AM (06th August) Javelin Throw Men) Final රුමේෂ් තරංග

යොවුන් ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ සියලූම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<