ඉන්දීය ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට පොදුරදමඬුලු වරම් අහිමි කෙරේ

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

312

ඉන්දීය කෙටිදුර ධාවන ක්‍රීඩිකා Dhanalakshmi Sekar සහ තුන් පිම්ම පැනීම ශූරී Aishwarya Babu තහනම් උත්තේජක ලබා ගෙන ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඔවුන් දෙදෙනාම ඉන්දියාව නියෝජනය කරමින් මෙම මාසයේ දී ආරම්භ වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා සූදානමින් සිටි නමුත් තහනම් උත්තේජක ලබා ගත් බව තහවුරු වීමත් සමඟ ඔවුන්ට එම ක්‍රීඩා උළෙලෙන් ඉවත් වීමට සිදු වෙනවා.

Dhanalakshmi Sekar විසින් ලෝක මලල ක්‍රීඩා සංගමයේ තහනම් ද්‍රව්‍යයක් වන steroid ලබා ගෙන ඇති බවට තහවුරු වී ඇති අතර Aishwarya Babu පසුගිය මාසයේ ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයට ලබා දුන් සාම්පලයක තහනම් උත්තේජක අඩංගුව ඇති බව තහවුරු වී තිබෙනවා.

එම සාම්පලය ලබා ගත් තේරීම් තරගාවලියේ දී  Aishwarya Babu විසින් තුන් පිම්ම ඉසව්වේ මීටර් 14.14ක දුරක් වාර්තා කරමින් ඉන්දීය වාර්තාවක් බිඳ හෙළීමට සමත්ව තිබුණා.

Dhanalakshmi Sekar පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී කාන්තා මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව තිබූ අතර ඇය මේ දිනවල පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගත්තත්, වීසා නොලැබීම නිසාවෙන් එයට සහභාගී වීමට හැකි වුනේ නැහැ.

තරගාවලිය ආරම්භ වීමට දින කිහිපයක් තිබිය දී මෙම ක්‍රීඩිකාවන් මෙලෙස තහනම් උත්තේජක ලබා ගැනීම නිසාවෙන් වරදකරුවන් වීම තරගාවලියට සහභාගී වන ඉන්දීය කණ්ඩායමට ද විශාල ගැටලුවක් මතු කර තිබෙනවා.

2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී පදක්කම් සටහනේ තෙවැනි ස්ථානයට පැමිණීමට ඉන්දියාවට හැකි වූ අතර මෙවර ඉන්දියාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 215ක් දෙනෙකු තරගාවලියට සහභාගී වීමට නියමිතයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<