තේනුකගේ පා පහරින් CH කණ්ඩායම ජයග්‍රහණය උදුරා ගනියි

Commanders Cup 2021

644

ශ්‍රී ලංකා රග්බි ලෝලීන්ට වසන්තය උදාකරමින් මාස 18කට පසු පැවති පළමු රග්බි තරගය ජයග්‍රහණය කිරීමට CH&FC කණ්ඩායම අද (13) සමත් වුනා. ඒ ලකුණු 21-23ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින්. 

පසුගිය වසරේ (2020) මාර්තු මාසයේ දී අතරමඟ නවතා දැමූ මෙරට රග්බි ක්‍රීඩාව, නැවත ආරම්භ වුනේ දීර්ඝ විරාමයකින් අනතුරුවයි. ගුවන් හමුදා කණ්ඩායම සහ CH&FC කණ්ඩායම Commanders Cup තරගාවලියේ පළමු අදියර සඳහා මෙලෙස තරග වැදුණේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දීයි. 

තරගය ආරම්භ කිරීමේ වගකීම සත්කාරක ගුවන් හමුදා කණ්ඩායමට හිමි වුනා. තරගයේ 6 වන මිනිත්තුවේ දීම ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් වුනා. එහිදී ක්‍රියාත්මක වූ ගයන්ත ඉද්දමල්ගොඩ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ගුවන් හමුදා ලකුණු පුවරුව ලකුණු 03ක් බවට පත්කිරීමට සමත් වුනා. (ගුවන් හමුදා 03-00 CH) 

ශ්‍රී ලංකා රග්බි ලෝලීන්ට සුබ ආරංචියක්!

ගුවන් හමුදාවේ අභියෝගය සාර්ථකව භාරගත් CH කණ්ඩායම සිය ආක්‍රමණය ක්‍රමයෙන් දැඩි කළ අතර එහිදී සුදම් සූරියආරච්චිගේ පළපුරුදු සහ වේගවත් ක්‍රීඩා රටාව ඔස්සේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට CH ක්‍රීඩකයන්ට හැකි වුනා. ඒ තරගයේ මිනිත්තු 10ක් සම්පූර්ණ වන අවස්ථාවේ දීයි. එහි ප්‍රවර්ථනය ද සාර්ථක කරගැනීමට තේනුක නානායක්කාර සමත් වුනා. (ගුවන් හමුදා 03-07 CH) 

තරගයේ වැඩි වේලාවක් යාමට පෙර නැවතත් ගුවන් හමුදාවට ලකුණු 03ක් එක් කිරීමට ගයන්ත ඉද්දමල්ගොඩ සමත් වුනේ නැවතත් දඬුවම් පහරක් සාර්ථක කරගනිමින්. තරගයේ 16 වන මිනිත්තුව වන විට ලකුණු පුවරුව ලකුණු 06-07ක් ලෙස දැක්වුනා. (ගුවන් හමුදා 06-07 CH) 

කෙසේවෙතත් තරගයේ පළමු අර්ධය නිමාවීමට පෙර තවත් දඬුවම් පහර දෙකක් සාර්ථක කරගැනීමට CH කණ්ඩායම සමත්වූ අතර එහි ගෞරවය තේනුක නානායක්කාර හට හිමි වුනා. පළමු අර්ධය නිමාවුනේ CH කණ්ඩායමට තරමක අස්වැසිල්ලක් හිමි කර දෙමින්. 

පළමු අර්ධය: ගුවන් හමුදාව (2P) 06 – 13 (1T 1C 2P) CH&FC 

තරගයේ දෙවන අර්ධයට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට CH කණ්ඩායම සමත් වුනා. ඒ තරගයේ 44 වන මිනිත්තුවේ දී රෝහිත රාජපක්ෂ වාර්තා කළ උත්සාහක දිනුමත් සමඟින්. සුපුරුදු පරිදි සාර්ථක වූ තේනුක නානායක්කාර අතිරේක ලකුණු දෙකක්ද ලකුණු පුවරුවට එක් කරමින් CH ලකුණු මට්ටම 20ක් දක්වා ඉහළ දැමීමට සමත් වුනා. (ගුවන් හමුදා 06-20 CH) 

ගුවන් හමුදාව කෙමෙන් සිය ආක්‍රමණය දැඩි කරමින් CH කණ්ඩායමට අභියෝගයක් එල්ල කළ අතර තරගයේ 50 වන මිනිත්තුවේ දී සිය උත්සාහය සාර්ථක කරගත් පරාක්‍රම රත්නායක ගුවන් හමුදාව වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළා. එහි ප්‍රවර්ථනය සාර්ථක නොවූ අතර ගුවන් හමුදාවට ලකුණු 5 කින් සෑහීමකට පත්වීමට සිදුවුනා. (ගුවන් හමුදා 11-20 CH) 

රග්බි සභාපති ධුරය නොවෙනස්ව ඉදිරියට

ගුවන් හමුදාව සිය සුපුරුදු ක්‍රීඩා රටාවට අවතීර්ණ වෙමින් සාර්ථක අභියෝගයක් එල්ල කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස CH කණ්ඩායමේ මාලිංග සෙශාන් සහ සනුර පෙරේරා හට කහ කාඩ්පත් නිකුත් කිරීමට විනිසුරුවන් තීරණය කළා. 

තරගය නිමා වීමට මිනිත්තු 20ක් ඉතිරිව තිබිය දී ක්‍රියාත්මක වූ ගුවන් හමුදාවේ අංජුල හෙට්ටිආරච්චි, කණ්ඩායමේ දෙවන උත්සාහක දිනුම වාර්තා කළා. එවර සාර්ථක වූ ගයන්ත ඉද්දමල්ගොඩ ගුවන් හමුදා ලකුණු පුවරුව ලකුණු 18ක් දක්වා ඉහළ දැමීමට සමත් වුනා. (ගුවන් හමුදා 18-20 CH) 

මෙතෙක් CH කණ්ඩායම සතුවූ තරගයේ ආධිපත්‍යය තමන් සතු කරගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් වුනේ තරගයේ 76 වන මිනිත්තුවේ දී දඬුවම් පහරක් සාර්ථක කරගනිමින්. ඒ සමඟින් ගුවන් හමුදා කණ්ඩායම සිය ලකුණු පුවරුව ලකුණු 21ක් බවට පත්කර ගැනීමට හැකි වුනා. (ගුවන් හමුදා 21-20 CH) 

කෙසේවෙතත් තරගය නිමා වීමට මිනිත්තු කීපයකට පෙර CH කණ්ඩායමට තවත් දඬුවම් පහරක් හිමි වූ අතර එය තරගයේ ඉරණම තීරණය කරන පහර බවට පත්ව තිබුනා. මෙම තරගයේ දී CH කණ්ඩායම වෙනුවෙන් විශාල කාර්‍යභාරයක් ඉටුකළ තේනුක නානායක්කාරට එහි වගකීම හිමි වුනා. ඔහුගේ පහර සාර්ථකව ගෝල කණු අතරින් එල්ල වුනේ පළමු අදියරේ ජයග්‍රහණය CH කණ්ඩායමට හිමි කර දෙමින්. (ගුවන් හමුදා 21-23 CH) 

Blues වසර 18ක කුසලාන නියඟය නිමා කරයි

අවසන් ලකුණු පුවරුව: ගුවන් හමුදාව (2T 1C 3P) 21 – 23 (2T, 2C, 3P) CH&FC ක්‍රීඩා සමාජය 

ThePapare.com තරගයේ වීරයා: තේනුක නානායක්කාර (CH&FC කණ්ඩායම) 

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්; 

ගුවන් හමුදාව : පරාක්‍රම රත්නායක (1T), අංජුල හෙට්ටිආරච්චි (1T), ගයන්ත ඉද්දමල්ගොඩ (1C, 3P)

CH & FC කණ්ඩායම : සුදම් සූරියආරච්චි (1T), රෝහිත රාජපක්ෂ (1T), තේනුක නානායක්කාර (2C, 3P)

තරගාවලියේ දෙවන අදියර එළඹෙන 30 වනදා රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව තරගාවලියේ ජයග්‍රාහකයින් තීරණය කිරීමට නියමිතයි. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්නරග්බි පිටුවට <<