ආසියානු පදක්කම් සිහිනය හඹා යන ශ්‍රී ලාංකිකයන්

ආසියානු ක්‍රීඩා උළෙල 2022

782

දේශීය මෙන්ම ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියට ද ඉතා කාර්යබහුල වසරක් වන 2022 වසරේ ආසියානු ක්‍රීඩා පිටියේ ප්‍රධානතම ක්‍රීඩා සැණකෙළිය වන “ආසියානු ක්‍රීඩා උළෙල” මෙම වසරේ සැප්තැම්බර් මාසයේ චීනයේ දී පැවැත්වීමට නියමිතයි.

ආසියානු මලල ක්‍රීඩා පිටියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අභිෂේක ලබන මෙම තරගාවලිය ආසියානු මලල ක්‍රීඩා පිටියේ ද ප්‍රධාන තැනක් ගන්නා අතර එහි පදක්කමක් දිනා ගැනීම ද ආසියානු කලාපයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සිහිනයකි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන අවධියේ දී ආසියානු මලල ක්‍රීඩා පිටියේ ද කැපී පෙනෙන දස්කම් දැක්වීමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූවත්, කාලයත් සමඟ ආසියානු තලයේ තරමක පසුබෑමකට ලක්වීමට ශ්‍රී ලාංකිකයන්ට සිදු වුනා.

නමුත් 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙන් පසු නැවත මෙරට මලල ක්‍රීඩාවේ පිබිදීමක් දක්නට ලැබුණු අතර වර්තමානයේ දී දේශීය සහ ජාත්‍යන්තර තරග කිහිපයක දී බලාපොරොත්තු සහගත දස්කම් දැක්වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

එම නිසාවෙන් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ දී පදක්කම් බලාපොරොත්තු තබා ගැනීමට මෙරට ප්‍රේක්ෂකයන්ට හැකිව ඇත අතර පසුගිය කාලසීමාවේ දී දැක්වූ දස්කම් නිසාවෙන් පදක්කම් ජයග්‍රහණය කිරීමට හැකියාවක් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපයක් පිළිබඳව ද අවධානයට යොමුව තිබෙනවා.

රොෂාන් ධම්මික 

දේශීය මලල ක්‍රීඩා පිටියේ මෑත කාලයේ වැඩි අවධානයක් දිනා ගත් ක්‍රීඩකයෙකු ලෙස රොෂාන් ධම්මික හඳුන්වන්නට පුළුවන්.

තවමත් 24 වැනි වියෙහි පසුවන රොෂාන් පසුගිය වසරේ පැවති 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ පිරිමි මීටර් 110 ඉසව්වේ වසර 24ක පැරණි වාර්තාවක් දෙවරක් බිඳ හෙළීමට සමත් වුනේ තත් 13.97ක සහ තත් 13.89ක කාලයකින් ඉසව්ව නිමා කරමිනුයි.

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 110 කඩුලු පැනීම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ද රොෂාන් සමත්ව තිබෙනවා.

අමාෂා ද සිල්වා 

මෑත කාලයේ ශ්‍රී ලාංකීය කෙටිදුර ධාවනයට නව මානයක් එක් කළ යොවුන් කෙටිදුර ධාවන ශූරී අමාෂා ද සිල්වා කාන්තා මීටර් 100 සහ 200 ඉසව්වේ ජාතික ශූරිය ද වනවා.

දකුණු ආසියානු පදක්කම්ලාභිනියක් ද වන අමාෂා 2018 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ කාන්තා මීටර් 100 සහ 200 ඉසව්වන්හී රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වුනා.

දිනෙන් දින සිය දස්කම් ඉහල නංවා ගැනීමට සමත් වන අමාෂාගේ මීටර් 100 ඉසව්වේ හොඳම දක්ෂතාව තත් 11.55ක් ලෙස සටහන් වන අතර ඇයගේ මීටර් 200 ඉසව්වේ හොඳම කාලය තත් 20.05ක්.

එම කාලයන් ආසියානු තලයේ පදක්කම් බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකියාවක් නොමැති කාලයන් වූවත්, අමාෂා කෙටි කලක් තුළ අත්කරගත් ප්‍රගතිය දෙස බලන විට ඇය වෙනසක් කළ හැකි ක්‍රීඩිකාවකි.

සාරංගි ද සිල්වා 

කාන්තා දුර පැනීම ඉසව්වේ වත්මන් දකුණු ආසියානු ශූරිය වන සාරංගි ද සිල්වා වර්තමානයේ දී සිය දස්කම් ඉතා ඉක්මනින් ඉහළ නංවා ගනිමින් දුර පැනීම ජාතික වාර්තාව දෙවරක්ම බිඳ හෙළන්නට සමත් වුනා.

2021 ඔක්තෝබර් මාසයේ පැවති 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර් 6.48ක දුරක් වාර්තා කරමින් එහි ජාතික වාර්තාව නැවත ලියවීමට සාරංගි සමත් වුනා.

එම දස්කම් 2018 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා දුර පැනීම ඉසව්වේ පස්වැනි තැන දිනා ගත් ක්‍රීඩිකාව දැක්වූ දස්කමට වඩා වැඩි වන අතර එය ලෝකඩ පදක්කම දිනා ගත් ක්‍රීඩිකාව දැක්වූ දස්කමට වඩා මීටර් 0.02 (මීටර් 6.50) වැනි කුඩා දුර ප්‍රමාණයකින් අඩු වේ.

සාරංගි වර්තමානයේ දැක්වූ දස්කම් සහ ලබා ගත් ශීඝ්‍ර දියුණුව සමඟ බලන විට ඇයට මෙවර ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබමින් පදක්කමක් දිනා ගැනීමට අවස්ථාවක් තිබෙනවා.

අරුණ දර්ශන 

මීටර් 400 ඉසව්වේ දකුණු ආසියානු ශූරයා වන අරුණ දර්ශන 2018 ආසියානු කනිෂ්ඨ ක්‍රීඩා උළෙලේ එම ඉසව්වේ දී රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ ක්‍රීඩකයෙක්.

ආබාධයකට ලක්ව සුවය ලැබීමෙන් පසුව පසුගිය කාලසීමාවේ දී සිය රිද්මයට පිවිසීමට අරුණ අපොහොසත් වූ නමුත්, නිමා වූ ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී සහ යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවයේ දී සුපුරුදු දස්කම් අතරට පිවිසීමට ඔහුට හැකි වුනා.

අරුණ මීටර් 400 ඉසව්ව සඳහා වාර්තා කර ඇති හොඳම කාලය තත්පර 45.78ක් ලෙස දැක්වෙන අතර එම කාලය 2018 ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 සිව්වැනි තැන දිනා ගත් ක්‍රීඩකයා වාර්තා කළ කාලයට වඩා අඩු කාලයක් වීම විශේෂත්වයක්.

තවමත් යොවුන් වියේ පසුවන අරුණ ඕනෑම අවස්ථාවක තරගයක් වෙනස් කළ හැකි ධෛර්යමත් ක්‍රීඩකයෙකු වන අතර ඔහුගේ සුපුරුදු රිද්මයට ළඟා වීමට ඔහුට හැකි වුවහොත් ආසියානු පදක්කම් සිහිනය සපුරා ගැනීමට ඔහුට හැකි වනු ඇත.

කාලිංග කුමාරගේ 

දේශීය මලල ක්‍රීඩා පිටියේ අරුණ දර්ශනගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වන කාලිංග කුමාරගේ පිරිමි මීටර් 400 ඉසව්වේ ජාතික ශූරයායි.

2018 ආසියානු මලල ක්‍රීඩා උළෙලෙ ද නියෝජනය කළ කාලිංග එහි දී මීටර් 400 අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර එහි දී තත්පර 46.49ක කාලයකින් අවසන් කළේ අටවැන්නා ලෙසයි.

එම තරගාවලියෙන් පසුව ඔහුට එල්ල වූ තහනම් උත්තේජන චෝදනා නිසාවෙන් කෙටි කලක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීමට ඔහුට සිදු වූ අතර නැවත පිටියට පිවිසීමෙන් පසුව මීටර් 400 ඉසව්ව තත්පර 45.73ක කාලයකින් අවසන් කරමින් පෞද්ගලික හොඳම කාලය වාර්තා කිරීමට ඔහුට හැකි වුනා.

එම කාලය 2018 වසරේ ලෝකඩ පදක්කම දිනා ගත් ක්‍රීඩකයා වාර්තා කළ කාලයට ඉතාමත් ආසන්න කාලයක් (තත් 45.70). 

දේශීය මලල ක්‍රීඩා පිටියේ අවසන් කාලසීමාවේ දී කාලිංග දැක්වූ දස්කම් සලකා බලන විට 2022 ආසියානු ක්‍රීඩා උළෙලේ දී පදක්කමක් ජයග්‍රහණය කිරීමට ඔහුට හැකියාවක් තිබෙනවා.

නිලානි රත්නායක 

කාන්තා මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ සහ දිගුදුර ධාවන ඉසව්වේ කැපී පෙනෙන දස්කම් දැක්වූ නිලානි රත්නායක මෙරට මලල ක්‍රීඩාව පසුබෑමකට ලක්වූ සමයේ එහි ගෞරවය රැක ගත් ක්‍රීඩිකාවක් ලෙස හැඳින්විය හැකි.

මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ ජාතික කිරුළ දිගු කලක් තමන් සතු කර ගත් නිලානි පසුගිය වසරේ පැවති ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට ඉතා ආසන්නව සිටි නමුත් ඉතා අවාසනාවන්ත ලෙස එය මගහැරී ගියා.

නිලානි මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව නියෝජනය කරමින් 2018 ආසියානු ක්‍රීඩා උළෙලට ද සහභාගී වූ නමුත් එහි දී අවාසනාවන්ත ලෙස ඇද වැටීම නිසාවෙන් ඇයට පෙනෙන මානයේ තිබූ ලෝකඩ පදක්කම අහිමිව ගියා.

එම තරගයේ දී සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ නිලානි මිනිත්තු 9:54.65ක කාලයකින් තරගය අවසන් කළේ පස්වැන්නා ලෙසයි. ඇය එම ඉසව්ව සඳහා වාර්තා කර ඇති පෞද්ගලික හොඳම කාලය දැක්වෙන්නේ මිනිත්තු 9:46.72ක ලෙසයි.

පිටියේ සටන්කාමීම ක්‍රීඩිකාවක් වන නිලානි රත්නායක මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ ද ප්‍රබල පදක්කම් බලාපොරොත්තුවක්.

ගයන්තිකා අබේරත්න 

මැදිදුර ධාවන ඉසව්වන්ගෙන් පසුගිය කාලසීමාවේ ඉහළ දස්කම් දැක්වූ ගයන්තිකා අබේරත්න 2017 සහ 2019 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දී පිළිවෙළින් කාන්තා මීටර් 800 රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගන්නට සමත් වුනා.

දිගු කලක් මීටර් 800 ඉසව්වේ ජාතික වාර්තාවට ද හිමිකම් කියූ ගයන්තිකා වර්තමානයේ දී ප්‍රධාන වශයෙන් මීටර් 1500 සහ 5000 ඉසව් සඳහා වැඩි අවධානයක් ලබා දීමට තීරණය කර තිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස නිමා වූ 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී කාන්තා මීටර් 1500 (මිනිත්තු 4:09.12) සහ මීටර් 5000 (මිනිත්තු 15.55.84) ඉසව්වන්හී ජාතික වාර්තාව පිහිටුවීමට සමත් වුනා.

ඇය එම වාර්තා කළ කාලයන් 2018 ආසියානු ක්‍රීඩා උළෙලේ දස්කම් දැක්වූ ක්‍රීඩිකාවන් වාර්තා කළ කාලයන්ට සමාන වන අතර මීටර් 1500 ඉසව්ව සඳහා වාර්තා කළ කාලය 2018 ආසියානු ක්‍රීඩා උළෙලෙහි රිදී පදක්කම දිනා ගත් ක්‍රීඩිකාවගේ කාලයට සමාන වීම ද විශේෂත්වයක්.

ආසියානු තලයේ ලබා ඇති අත්දැකීම් සහ මෑත කාලයේ ගයන්තිකා දැක්වූ දස්කම් සලකා බලන විට ඇයට මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ දී තවත් ආසියානු පදක්කමක් මව්බිමට දිනා දීමට විශාල හැකියාවක් ඇත.

ඩිල්ෂි කුමාරසිංහ 

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් ත්‍රිත්වයක් දිනා ගනිමින් ඉහළ දස්කම් පෑ යොවුන් ක්‍රීඩිකා ඩිල්ෂි කුමාරසිංහ මෑත කාලයේ දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට නව ජීවයක් ගෙන දුන් ක්‍රීඩිකාවක් ලෙස හැඳින්විය හැකි.

සිය ප්‍රධාන ඉසව්ව ලෙස මීටර් 800 ඉසව්ව නියෝජනය කරන ඩිල්ෂි පසුගිය වසරේ පැවති ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ කාන්තා මීටර් 800 ඉසව්ව මිනිත්තු 2:02.52ක කාලයකින් අවසන් කරමින් ජාතික වාර්තාව බිඳ හෙළීමට සමත් වුනා.

එය ඇය එම ඉසව්ව සඳහා වාර්තා කළ හොඳම කාලය ලෙස සටහන් වන අතර එය 2018 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ලෝකඩ පදක්කම දිනා ගත් ක්‍රීඩිකාව වාර්තා කළ කාලයට වඩා අඩු කාලයක්.

ඉතා ළාබාල වියේ දී ම ජාත්‍යන්තර පිටියේ ඉහළ දස්කම් දැක්වූ ඩිල්ෂි දිනෙන් දින සිය දස්කම් ඉහළ නංවා ගන්නා දක්ෂ ක්‍රීඩිකාවන් වන අතර ඇය මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක්.

හිරුණි විජයරත්න 

ඇමරිකාවේ වාසය කරමින් පුහුණුවීම්වල නිරත වන හිරුණි විජයරත්න කාන්තා මැරතන් ඉසව්වේ ජාතික සහ දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියනවා.

කාන්තා මැරතන් ඉසව්ව පැය 2:33.10ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ පෞද්ගලික හොඳම කාලය මෙන්ම ජාතික වාර්තාව ද පිහිටවූ හිරුණි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල, ලෝක මැරතන් ශූරතාවය සහ අර්ධ මැරතන් ශූරතාවය වැනි ප්‍රධාන තරගාවලි රැසක දී ශ්‍රී ලංකාව නියෝජනය කළා.

පසුව ඇතිවූ ආබාධයක් නිසාවෙන් කෙටි කලක් පිටියෙන් ඉවත් වූ හිරුණි නැවත පිටියට පිවිසෙමින් පැය 2:34.22ක කාලයකින් දසවැන්නා ලෙස තරගය අවසන් කළේ මැරතන් ඉසව්වක් සඳහා වාර්තා වූ දෙවැනි හොඳම කාලය ද වාර්තා කරමිනුයි.

ඇයගේ පෞද්ගලික හොඳම කාලය මෙන්ම ඇය අවසන් තරගයේ දී වාර්තා කළ කාලය 2018 ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගත් ක්‍රීඩිකාව වාර්තා කළ කාලයට වඩා අඩු කාලයක් වන බැවින් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ දී සිය පළමු ආසියානු පදක්කම දිනා ගැනීමට හිරුණිට විශාල හැකියාවක් ඇත.

යුපුන් අබේකෝන් 

ලාංකීය මලල ක්‍රීඩා පිටියෙහි වර්තමානයේ වඩාත්ම කතාබහට ලක්වූ සහ වඩාත්ම අවධානය දිනාගත් ක්‍රීඩකයා ලෙස යුපුන් අබේකෝන් හැඳින්විය හැකි.

ඉතාලියේ වාසය කරමින් පුහුණුවීම්වල නිරත වන යුපුන් 2021 වසරේ පැවති තරගයක දී තත් 10.15ක කාලයකින් මීටර් 100 ඉසව්ව අවසන් කරමින් තමන්ගේම ජාතික සහ දකුණු ආසියානු වාර්තාව අලුත් කළා.

එමෙන්ම 2021 වසර තමාගේ වසර කර ගත් යුපුන් මීටර් 100 ඉසව්ව නියෝජනය කරමින් වසර 25කට පසුව ඔලිම්පික් උළෙලකට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර ඩයමන්ඩ් ලීග් තරගාවලියක් සහ එහි අවසන් තරගයක් නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා වීමට ද ඔහුට හැකි වුනා.

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙන් පසුව දිනෙන් දින සිය කාලය වර්ධනය කර ගන්නා යුපුන් පසුගිය වසරේ පැවති තරගයක දී එම ඉසව්ව තත්පර 10.09 (+2.2) ක කාලයකින් අවසන් කරමින් ඕනෑම සුළං තත්වයක් යටතේ ශ්‍රී ලාංකිකයෙකු පිහිටවූ වේගවත්වම කාලය වාර්තා කළා.

යුපුන් මෙතෙක් වාර්තා කර ඇති කාලයන් පසුගිය ආසියානු ක්‍රීඩා උළෙලවල දී පදක්කම් දිනා ගත් ක්‍රීඩකයින්ට වඩා වැඩි කාලයන් වූවත්, අවසන් වසර කිහිපය තුළ ඔහු දැක්වූ දස්කම් සලකා බලන විට ඔහු මෙවර ආසියානු ක්‍රීඩා උළෙලෙහි ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක්.

උෂාන් තිවංක 

ඇමරිකාවේ උසස් අධ්‍යාපනය ලබමින් මලල ක්‍රීඩාවේ නිරත වන උෂාන් තිවංක පසුගිය කාලසීමාවේ දී උස පැනීම ඉසව්වෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වෙමින් වාර්තා රැසක් පිහිටුවීමට සමත් වුනා.

මෙරට උස පැනීම ඉසව්වේ රජු ලෙස සැලකෙන මංජුල කුමාර පිහිටුවා තිබූ ගෘහස්ථ වාර්තාව බිඳ හෙළමින් සිය ගමන ඇරඹූ උෂාන් පසුව මංජුල විසින් පිහිටුවා තිබූ එම ඉසව්වේ එළිමහන් (මීටර් 2.27) ද බිඳ හෙළුවා.

එම වාර්තාව පිහිටුවීමෙන් පසුව ද ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ උෂාන් නැවතත් මීටර් 2.30ක දස්කමක් දක්වමින් තමන්ගේම වාර්තාව අලුත් කිරීමට සමත් වුනේ එම සීමාවට ළඟා වූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින්.

තරගාවලි සංඛ්‍යාව මදි වීම නිසාවෙන් උෂාන් හට 2020 ඔලිම්පික් වරම් දිනා ගැනීමට නොහැකිවූවත් ඔහු දැක්වූ දස්කම් ලොව ප්‍රබල ක්‍රීඩකයන් දැක්වූ දස්කම් අභිබවා යෑමට සමත්වීම ද විශේෂත්වයක්.

එමෙන්ම ඔහුගේ එම පෞද්ගලික හොඳම දක්ෂතාවය අවසන් ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගත් ක්‍රීඩකයා වාර්තා කළ දස්කමට සමාන දස්කමක් වීම නිසාවෙන් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ ප්‍රබලතම පදක්කම් බලාපොරොත්තුව ලෙස උෂාන් හැඳින්විය හැක.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව වත්මන් මලල ක්‍රීඩා පිටියේ ඉහළ දස්කම් දක්වන යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙන්ම පෙර ආසියානු තලයේ පදක්කම් දිනා ගත් නිමාලි ලියනආරච්චි වැනි ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් දැක ගත හැකි.

එමෙන්ම මෙවර තරගාවලිය ඉලක්ක කරගනිමින් සහය දිවීමේ කණ්ඩායම් සූදානම් කිරීමට ද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සැලසුම් කර ඇති අතර අවසන් ආසියානු ක්‍රීඩා උළෙලේ ද ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම් ඉහළ දස්කම් දැක්වීමට සමත්ව තිබීම විශේෂත්වයක්.

මලල ක්‍රීඩා පිටියේ ඉතාමත් කාර්යබහුල වසරක් වන මේ වසරේ ආසියානු ක්‍රීඩා උළෙල, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වැනි තරගාවලි රැසක් පැවැත්වීමට නියමිත අතර එම තරගාවලිවල දී දස්කම් දක්වමින් ලක්මාතාවට ගෞරවයක් ගෙන ඒමට එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වේවායි ThePapare.com අපේ අපේක්ෂාවයි. 

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<