මිලියන ගණනක සිහින අරන් ඔලිම්පික් යන අපේ බලාපොරොත්තු

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල - 2020

840

ලොව විශාලතම ක්‍රීඩා සැණකෙළිය මෙන්ම සෑම ක්‍රීඩකයෙකුගේම ප්‍රධානතම සිහිනයක් වන ගිම්හාන ඔලිම්පික් උළෙලේ 32 වැනි අදියර ආරම්භ වීමට තවත් ඇත්තේ දින 20කටත් අඩු කාලයක්.

කොරෝනා වසංගතය නිසාවෙන් පසුගිය වසරේ සිට මෙම වසර දක්වා ඔලිම්පික් උළෙල කල් දැමීමට සිදු වූ අතර ලොව පුරා ක්‍රීඩා තරගාවලි හිඟ වීම නිසා එයට සුදුසුකම් ලබා ගැනීමට ද ක්‍රීඩකයන්ට පහසු වුනේ නැහැ.

එම තරගාවලි හිඟය නිසාවෙන් ඇතැම් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ද ඔවුන්ගේ ඔලිම්පික් සිහිනවලට තිත තැබීමට සිදු වූ නමුත් විවිධ ක්‍රීඩා අංශ නියෝජනය කරමින් ඔලිම්පික් වරම් දිනා ගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකුට මෙවර අවස්ථාව උදා වුනා.

එම කණ්ඩායමට ක්‍රීඩකයන් හතර දෙනෙක් සහ ක්‍රීඩිකාවන් පස් දෙනෙකු ඇතුළත් වන අතර එයින් තිදෙනෙකු ඔලිම්පික් සුදුසුකම් සපුරාලමින් මෙවර ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

මැතිල්ඩා කාර්ල්සන් (Jumping Individual – අශ්වාරෝහක)

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගත් පළමු ශ්‍රී ලාංකිකයා වූයේ මැතිල්ඩා කාර්ල්සනුයි.

2019 දෙසැම්බර් මාසයේ පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගවල දී දැක්වූ දස්කම් නිසාවෙන් ප්‍රසාද ලකුණු 350ක් ලබාගෙන අග්නිදිග ආසියානු සහ සාගර කලාපයේ ක්‍රීඩිකාවන් අතර දෙවැනි තැනට පත්වෙමින් ඔලිම්පික් වරම් දිනා ගන්නට මැතිල්ඩා සමත් වුනා.

නමුත් 2019 දෙසැම්බර් මාසයේ දී ප්‍රංශයේ පැවති තරග, ක්‍රීඩක වර්ගීකරණයට අදාළ නොවන බවත්, ඒවා අනුමත වී තිබුණේ අත්වැරදීමකින් නිසා බවත් ප්‍රකාශ කරමින් අන්තර්ජාතික අශ්වාරෝහක සංගමය විසින් එම තරගාවලිය ක්‍රීඩක වර්ගීකරණයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම නිසා ඇයගේ ඔලිම්පික් වරම අහිමිව ගියා.

තමන්ට සිදු වූ අසාධාරණය වෙනුවෙන් ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය වෙත අභියාචනාවක් ඉදිරිපත් කළ මැතිල්ඩා සිය ඔලිම්පික් සුදුසුකම් නැවත ලබා ගැනීමට සටන් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇය හට නැවත මෙම වසරේ දී ඔලිම්පික් වරම හිමි වුනා.

ශ්‍රී ලංකාවේ උපත ලබා පසුව ස්වීඩනය වෙත සංක්‍රමණය වූ මැතිල්ඩා අශ්වාරෝහක ඉසව්ව නියෝජනය කරමින් ලොව පුරා සංචාරය කළ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවකි.

2018 වසරේ දී නැවත මෙරට පුරවැසිභාවය ලබා ගැනීමට කටයුතු කළ ඇයගේ ප්‍රධාන ඉලක්කය වුනේ මෙරට නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමයි. 

ඒ අනුව තම සිහිනය සපුරා ගත් මැතිල්ඩා මෙවර ඔලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Jumping Individual (Show Jumping) ඉසව්වට සහභාගී වීමට නියමිතයි. 

මිල්කා ගෙහානි (Artistic Gymnastics)

මෙවර ඔලිම්පික් සංචිතයේ සිටින දෙවැනි ළාබාලතම ක්‍රීඩිකාව වන 18 හැවිරිදි මිල්කා ගෙහානි ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගන්නේ ජිම්නාස්ටික් ඉසව්වෙන්.

මෙම වසරේ දී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු ජ්‍යෙෂ්ඨ ජිම්නාස්ටික් ශූරතාව කොරෝනා වසංගතය නිසා අවලංගු කිරීමට සිදුවීමෙන් පසු කලාපීය ඔලිම්පික් සුදුසුකම් ලබා ගත් ක්‍රීඩිකාවන් තේරීම සඳහා ඒ ඒ ක්‍රීඩිකාවන් ලෝක ශූරතාවයේ දැක්වූ දස්කම් දෙස අවධානය යොමු කිරීමට ඔලිම්පික් කමිටුවට සිදුව තිබුණා.

එම ලෝක ශූරතාවයේ දැක්වූ දස්කම මත මිල්කා ඉන්දියානු ක්‍රීඩිකාවක් අභිබවා යමින් ආසියානු වර්ගීකරණයෙහි පළමු තැන පසු වීම නිසාවෙන් ඇයට ඔලිම්පික් නියෝජනය කිරීමේ වරම් ලැබුණේ ළාබාල වියේ දී ම ඔලිම්පික් සුදුසුකම සපුරා ගනිමින් වීම විශේෂත්වයක්.

පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයෙන් අධ්‍යාපනය ආරම්භ කළ මිල්කාගේ දෙවැනි පාසල වූයේ කොළඹ Methodist විද්‍යාලයයි.

කුඩා කළ සිටම ජිම්නාස්ටික් ඉසව්වේ සහජ දස්කම් දැක්වූ මිල්කා රංජන් තරංග මහතාගේ මඟ පෙන්වීම යටතේ පුහුණුවීම් කටයුතු අරම්භ කර වයස අවුරුදු 08 දී ජාතික කනිෂ්ඨ ශූරිය ලෙස අභිෂේක ලැබුවා.

එම දස්කම් නිසා 2014 කනිෂ්ඨ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කළ මිල්කා එම තරගාවලිය හයවැන්නා ලෙස අවසන් කළා.

2017 සහ 2018 වසරවල ජාතික ශූරිය වීමට සමත් වූ ඇය මෙරට නියෝජනය කරමින් අන්තර්ජාතික තරගාවලි රැසකට ද සහභාගී වී තිබෙනවා. 2018 වසරේ ඉන්දුනීසියාවේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ දී අටවැන්නා ලෙස ඇය තරගය අවසන් කළේ මෙරට ක්‍රීඩිකාවක් වාර්තා කළ ඉහළම දස්කම වාර්තා කරමින්.

එමෙන්ම 2018 වසරේ පැවති යොවුන් ඔලිම්පික් උළෙලට සහභාගී වූ ඇය තරගාවලිය අවසන් කළේ කලාපීය වාර්තාවක් ද පිහිටුවමින්.

මේ වන විට ජපානයේ සිට පුහුණුවීම් කටයුතුවල නිරත වන මිල්කා ගෙහානි මෙවර ඔලිම්පික් උළෙලේ Artistic Gymnastics ඉසව්ව නියෝජනය කිරීමට නියමිතයි.

මීට අමතරව මෙවර ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ වගකීම ද මිල්කා හට ලබා දුන් බව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව නිවේදනය කර තිබුණා.

යුපුන් අබේකෝන් (100m) 

මෙවර ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් වැඩිම අවධානයක් දිනා ගත් ක්‍රීඩකයා යුපුන් කිව්වොත් නිවැරදියි. 

වසර 25කට පසු මීටර් 100 ඉසව්වක් සඳහා ඔලිම්පික් වරම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා වන යුපුන් එම ඉසව්ව සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරාලමින් වසර 29කට පසු (ශ්‍රියන්ත දිසානායකට පසු) ඔලිම්පික් වරම් දිනා ගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ද වෙනවා.

ඔලිම්පික් ක්‍රීඩක වර්ගීකරණය ඔස්සේ ඔලිම්පික් වරම් දිනා ගත් යුපුන් අබේකෝන් ප්‍රසාද ලකුණු 1,203ක් ලබා ගනිමින් එම වර්ගීකරණයේ 45 වැන්නා ලෙස පරිසාධන කාලසීමාව නිමා කළා.

ඒ අනුව වර්ගීකරණය මත ඔලිම්පික් වරම් දිනා ගත් ක්‍රීඩකයන් 56 අතර රැඳී සිටීමට යුපුන්ට හැකි වීම නිසාවෙන් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීමට යුපුන්ට හැකි වුනා.

පන්නල ජාතික පාසලෙන් මලල ක්‍රීඩා දිවිය ආරම්භ කර පසුව වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට එක්වූ යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා යුද හමුදා සංචිතය නියෝජනය කරන මලල ක්‍රීඩකයෙකි.

2015 වසරේ සිට ඉතාලියේ පුහුණුවීම් සිදු කළ යුපුන් 2020 වසරේ ජර්මනියේ පැවති තරගයක් අතරතුර මීටර් 100 ඉසව්ව තත්පර 10.16ක කාලයකින් අවසන් කරමින් දකුණු ආසියානු වාර්තාව බිඳ හෙළීමට සමත් වුනා.

එම දස්කමෙන් පසු දිගින් දිගටම දස්කම් ඉහළ නංවා ගැනීමට සමත් වූ යුපුන් මෙම වසරේ දී මීටර් 100 ඉසව්ව තත්පර 10.15ක කාලයකින් අවසන් කරමින් නැවතත් ජාතික වාර්තාව බිඳ හෙළීමට සමත් වූ අතර සුළං පැවති අවස්ථාවක දී තත්පර 10.09ක කාලයකින් තරගය නිමා කර ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත්ම කාලය වාර්තා කිරීමට ද ඔහුට හැකි වුනා.

එමෙන්ම මෙම වසරේ පැවති ඉතාලි ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 100 ඉසව්ව තියුණු තරගයකින් පසු සිව්වැන්නා ලෙස අවසන් කළ යුපුන් ඩයමන්ඩ් ලීග් තරගාවලියක් නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ද ඉතිහාස ගත වුනා.

මෙම දස්කම් නිසාවෙන් අවශ්‍ය සුදුසුකම් සපුරාලමින් ඔලිම්පික් වරම් දිනා ගැනීමට යුපුන්ට හැකි වූ අතර ඔහුගේ පළමු ඔලිම්පික් සහභාගීත්වය මෙයයි.

නිලූක කරුණාරත්න

පිරිමි කේවල බැඩ්මින්ටන් ඉසව්ව නියෝජනය කරමින් නොකඩවා තෙවැනි වරටත් ඔලිම්පික් වරම් දිනා ගැනීමට නිලූක කරුණාරත්න මෙවර සමත් වුනේ “Wild card” අවස්ථාවකිනි.

මෙය නිලූක ඔලිම්පික් උළෙලක් සඳහා සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව වන අතර ඔහු මීට පෙර 2012 සහ 2016 ඔලිම්පික් උළෙලවල දී ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම නියෝජනය කළා.

2012 ඔලිම්පික් උළෙලට ගිය ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය දැරූ නිලූක එම තරගාවලියේ දී එවකට ලෝක ශ්‍රේණිගත කිරීමේ අංක 08 ක්‍රීඩකයාව පරාජය කිරීමට ද සමත් වීම ද විශේෂත්වයක්.

දේශීය බැඩ්මින්ටන් පිටියේ රජු ලෙස සැලකෙන නිලූක ජාතික බැඩ්මින්ටන් කිරුළ වසර ගණනාවක් ජය ගනිමින් ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණය මෙරටට දායාද කිරීමට සමත් වූ ක්‍රීඩකයෙක්. 

මෙවර ඔලිම්පික් උළෙල ඉලක්ක කරමින් සැලසුම් කරමින් සිටිය දී ජනවාරි මාසයේ කොරෝනා වසංගතයට ගොදුරු වීම නිසා ක්‍රීඩා පිටියෙන් මාස කිහිපයක් විවේක ගැනීමට සිදුවීමෙන් නිලූකට ඔලිම්පික් උළෙලට අවශ්‍ය සුදුසුකම් සපුරාලීමට බාධා එල්ල වුනා.

නමුත් නිලූකගේ දස්කම් මත ඔහුට නැවත වරක් ඔලිම්පික් උළෙලක් නියෝජනය කිරීමේ වරම් හිමි වූ අතර මේ වන විට 36 වැනි වියේ පසුවන ඔහුගේ අවසන් ඔලිම්පික් උළෙල මෙය වීමට බොහෝ ඉඩක් ඇත.

චාමර නුවන් ධර්මවර්ධන

ජුඩෝ ඉසව්වේ කිලෝග්‍රෑම් 73 බර පන්තිය යටතේ ඔලිම්පික් වරම් දිනා ගැනීමට චාමර ධර්මවර්ධන සමත් වුනේ “Wild card” අවස්ථාවකිනි.

චාමර ඔලිම්පික් උළෙලකට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වන අතර ඔහු අවසාන වශයෙන් පැවති 2016 රියෝ ඔලිම්පික් උළෙල සඳහා කිලෝග්‍රෑම් 73 බර පන්තියෙන් තේරී පත්වුනේ අවුරුදු 120ක ඉතිහාසය තුළ එම ඉසව්වෙන් ඔලිම්පික් වරම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාස ගත වෙමින්.

එමෙන්ම එම ඔලිම්පික් උළෙලේ දී ලොව ප්‍රකට ක්‍රීඩකයන් සමඟින් තරග වදිමින් අවසන් 16 දෙනා අතර පිවිසීමට ද චාමරට හැකි වුනා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයෙකු ද වන චාමර ගුවන් හමුදා ජූඩෝ කණ්ඩායම නියෝජනය කරමින් දේශීය පිටියේ ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර 2016 වසරේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් දිනා ගැනීමට ද ඔහුට හැකි වුනා.

එමෙන්ම නිමා වූ 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ජූඩෝ ඉසව්වෙහි රන් පදක්කමක් දිනා ගනිමින් දකුණු ආසියානු ශූරයා වීමට ද සමත් වූ චාමර 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් Slovakia හිදී විශේෂ පුහුණුවකට ද සහභාගී වුනා.

දකුණු ආසියානු පිටියට අමතරව යුරෝපා ජූඩෝ පිටියේ ද කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ චාමර නුවන් 2018 වසරේ පැවති European Judo Championship තරගාවලියේ දී රන් පදක්කමක් දිනා ගැනීමට ද සමත් වූ ක්‍රීඩකයෙක්.

එමෙන්ම මෙවර ඔලිම්පික් උළෙලේ දී මිල්කා ගෙහානි සමඟ ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ අවස්ථාව චාමරට හිමිව තිබීම විශේෂත්වයක්.

තවත් ක්‍රීඩා පුවත්

නිමාලි ලියනආරච්චි (800m)

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට වසර ගණනාවක් කළ අමිල සේවාවෙන් පසු පළමු වතාවට මීටර් 800 ඉසව්ව නියෝජනය කරමින් ඔලිම්පික් වරම් දිනා ගැනීමට නිමාලි ලියනආරච්චිට හැකි වුනා.

මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව නියෝජනය කළ නිලානි රත්නායක හට ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අවාසනාවන්ත ලෙස අහිමි වීම නිසා “Wild card” අවස්ථාවක් ඔස්සේ ඔලිම්පික් වරම් නිමාලිට හිමි වුනා.

මෙරට මලල ක්‍රීඩාව ජාත්‍යන්තර තලයේ ඉහළට ගෙන යාමට සමත් වූ නිමාලි මීටර් 800 ඉසව්වේ මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩිකාවක් ලෙස ද හැඳින්විය හැක.

එම ඉසව්වේ දකුණු ආසියානු ශූරියක ද වන නිමාලි 2017 වසරේ පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් වසර 13කට පසු ආසියානු රන් පදක්කමක මෙරටට දායාද කළ ක්‍රීඩිකාවකි.

රිය අනතුරකට ලක්වීම නිසා කෙටි කාලයක් පිටියෙන් ඉවත්ව සිට 2020 වසරේ දී නැවතත් ක්‍රීඩා පිටියට පැමිණි නිමාලි 2021 ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී නැවත වරක් මීටර් 800 ජාතික කිරුළ දිනා ගැනීමට ඇය සමත් වුනා.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව අගාධයට යමින් තිබූ වකවානුවක මලල ක්‍රීඩාවේ ගෞරවය රැකගනිමින් ජාත්‍යන්තර තලයේ ද ශ්‍රී ලංකා නාමය ඔසවා තැබූ නිමාලි ලියනආරච්චි මෙම “Universality Place” අවස්ථාව ලැබීමට සුදුසුම ක්‍රීඩිකාවක් ලෙස ද හැඳින්විය හැක.

ටෙහානි එගොඩවෙල (10m Air Rifle)

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙල කාන්තා 10m Air Rifle ඉසව්වෙන් ඔලිම්පික් වරම් දිනා ගැනීමට සමත් වුනා.

Wild card අවස්ථාවක් ඔස්සේ ඔලිම්පික් වරම් දිනා ගැනීමට ඇය සමත් වුනේ දේශීය සහ ජාත්‍යන්තර පිටියේ දැක්වූ දස්කම් නිසාවෙනි.

කොළඹ Good Shepherd Convent හී ආදි ශිෂ්‍යාවක් වන ටෙහානි 2011 වසරේ දී නාවික හමුදාව සමඟින් එක්වෙමින් වෙඩි තැබීම ඉසව්වේ සිය දස්කම් ඉහළ නංවා ගත්තා. ඉතා ඉක්මනින් ජාතික තලයේ ඉහළට පැමිණීමට සමත් වූ ටෙහානි 2012 සිට ශ්‍රී ලංකා ජාතික සංචිතයට ද ඇතුළත් වුනා.

දේශීය තලයේ දස්කම් නිසා 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ women’s 50m rifle 0.22 කණ්ඩායම් තරගය නියෝජනය කළ ටෙහානි එහි ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුනා.

News Wire

2018 වසරේ දී 10m air rifle 0.177 ඉසව්වේ ජාතික වාර්තාව බිඳ හෙළීමට සමත් වූ ටෙහානි 2019 ආසියානු ශූරතාවලියේ කාන්තා 50m rifle 0.22 ඉසව්ව නියෝජනය කරමින් එහි ජාතික වාර්තාව ද සිය නාමයට එක්කර ගත්තා.

එම වසරේම පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ women’s 50m rifle 0.22 නියෝජනය කළ ටෙහානි ඇතුළු කණ්ඩායමක් නැවත වරක් ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ඉසව්ව අවසන් කළා.

මෙම දස්කම් නිසාවෙන් ටෙහානි හට පළමු වරට ඔලිම්පික් වරම් හිමි වූ අතර ඇය ඔලිම්පික් උළෙලේ 10m air rifle 0.1777 ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතයි.

මැතිව් අබේසිංහ (100m Free style)

සිය දෙවැනි ඔලිම්පික් උළෙල ලෙස මෙවර ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමේ වරම් දිනා ගත් මැතිව් අබේසිංහ මෙවර ඔලිම්පික් වරම් දිනා ගත්තේ “Wild card” අවස්ථාවකිනි.

මැතිව් මීට පෙර 2016 ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අතර එම ඔලිම්පික් උළෙල සඳහා Olympic Standard (B) යටතේ සුදුසුකම් ලබා ගැනීමට මැතිව් සමත් වුනේ එලෙස ඔලිම්පික් වරම් දිනූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ඉතිහාස ගත වෙමින්.

දකුණු ආසියානු පිහිනුම් තටාකය සිය ආධිපත්‍යට යටත් කර ගත් මැතිව් 2016 සහ 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලවල දී රන් පදක්කම් හත බැගින් ලක් මාතාවට දිනා දීමට සමත් වූ ක්‍රීඩකයෙක්.

එමෙන්ම 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 4x100m සහය පිහිනුම් ඉසව්වේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ මැතිව් අබේසිංහ ඉතිහාසයේ පළමු වතාවට එම ඉසව්වේ අවසන් තරගයකට ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන ඒමට සමත් වුනා.

මේ වන විට 25 වැනි වියේ පසුවන මැතිව් මෙවර ඔලිම්පික් උළෙලේ දී මීටර් 100 නිදහස් ආර ඉසව්වට තරග වැදීමට නියමිතයි.

Aniqah Gaffoor (100m Butterfly)

ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ළාබාලතම ක්‍රීඩිකාව Aniqah Gaffoor

තායිලන්තයේ වාසය කරමින් පුහුණුවීම් කටයුතු සිදු කරන Aniqah Gaffoor ළාබාල වියේ සිටම ජාත්‍යන්තර තලයේ දස්කම් දක්වන ක්‍රීඩිකාවකි.

Aniqah Gaffoor (දකුණේ සිට පළමුව)

වයස අවුරුදු 15 දී Aniqah ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2019 ලෝක ජල ක්‍රීඩා ශූරතාවයට සහභාගී වූ අතර එම වසරේම පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා දීමට ද Aniqahට හැකි වුනා.

මේ වන විට 17 වැනි වියේ පසුවන Aniqah හට Wild card අවස්ථාවක් ඔස්සේ ඔලිම්පික් වරම් දිනා ගැනීමට සමත් වූ අතර ඇය ඔලිම්පික් උළෙලේ මීටර් 100 සමනල ආර ඉසව්ව නියෝජනය කිරීමට නියමිතයි.

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ජූලි 23 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වීමට නියමිත අතර එයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඉහළ දස්කම් දක්වමින් ලක්මාතාවට ඔලිම්පික් පදක්කමක් දිනා දෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com ප්‍රාර්ථනා කරන්නෙමු.

ඒ වගේම ඉතිහාසයේ පළමු වරට ThePapare.com අපිත් ඔලිම්පික් උළෙලට සහභාගී වී මාධ්‍ය ආවරණය ලබා දෙන්නට සූදානම්. ඔලිම්පික් උළෙලේ සිදු වන සියලුම තොරතුරු, ඡායාරූප, වීඩියෝ ඇතුළු තවත් බොහෝ දේ එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්, රැඳී ThePapare.com සමඟ.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<