ජර්මනිය 17න් පහළ පාපන්දු ලෝක ශූරතාව දිනාගනී

U17 FIFA World Cup 2023

530
U17 FIFA World Cup 2023

19 වැනි වරට පැවැත්වුණු වයස අවුරුදු 17න් පහළ පිරිමි පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ජර්මනිය විසින් ඊයේ (02) දිනයේ දී සමත් වුනා.

ප්‍රංශය සහ ජර්මනිය විසින් ඊයේ දිනයේ දී ලෝක ශූරතාව වෙනුවෙන් තරග බිමට පිවිසුණු අතර, තරගයේ මුල් බාගයේ දී ජර්මනිය සිය ආධිපත්‍යය විහිදුවාලීමට සමත් වුනා.

තරගාවලිය පුරා විශිෂ්ට තරග රටාවක් දියත් කළ ජර්මානු ක්‍රීඩක Paris Brunner විසින් තරගයේ 29 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ගෝලයක් ලබා ගැනීමට සමත් වූ අතර, තරගයේ 51 වැනි මිනිත්තුවේ දී ජර්මනිය විසින් සිය දෙවන ගෝලයත් වාර්තා කළා.

පසුගිය වසරේ පැවැත්වුණු FIFA පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ආජන්ටිනාව හමුවේ නැවත නැගී සිටියා සේ ම ප්‍රංශ 17න් පහළ කණ්ඩායම ද ඊයේ දිනයේ නැවත තරගයට අවතීර්ණ වීමට සමත් වුනා. ඒ අනුව ප්‍රංශය විසින් තරගයේ 53 සහ 85 මිනිත්තුවල දී ගෝල දෙකක් රැස් කරමින් තරගයේ ලකුණු තත්වය සම කළා.

ඉන් පසුව තරගය නිම වන තෙක් කණ්ඩායම් දෙක ම ගෝල වාර්තා කිරීමට අපොහොසත් වූ නිසා තරගයේ ජයග්‍රාහකයා දඬුවම් පහර මගින් තීරණය කිරීමට පියවර ගත්තා.

එහි අවසන් ප්‍රතිඵලය වුනේ දඬුවම් පහර 4-3ක් ලෙස ජර්මනිය විසින් මෙවර වයස අවුරුදු 17න් පහළ පාපන්දු ලෝක ශූරතාව ජයග්‍රහණය කිරීමයි.

ලෝක කුසලානයට පෙර සිට ම කැපී පෙනෙන දක්ෂතා දක්වමින් සිටි ජර්මානු ක්‍රීඩක Paris Brunner විසින් මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ද සම්මාන දිනා ගැනීමට සමත් වුනා.

මේ අතර තරගාවලියේ හොඳම දැල් රකින්නා ලෙස ප්‍රංශයේ Paul Argney විසින් සම්මාන දිනා ගත් අතර, තරගාවලියේ වැඩිම ගෝල ලාභියාට හිමි සම්මානය තරගාවලියේ තුළ ගෝල 8ක් වාර්තා කළ ආජන්ටිනාවේ Agustín Ruberto විසින් හිමි කර ගත්තා.

පාපන්දු ලෝකයට තවමත් එතරම් හුරු පුරුදු නම් නොවූව ද නුදුරු අනාගතයේ දී මෙම නම්වලට ජාත්‍යන්තරයේ විශේෂ ස්ථාන හිමි වනු ඇති බව නොඅනුමානයි.

මේ අතර මෙවර තරගාවලියේ තෙවන ස්ථානය තෝරා ගැනීම වෙනුවෙන් පැවති තරගයේ දී ආජන්ටිනාව පරාජය කිරීමට මාලි දේශය පසුගිය සිකුරාදා (01) සමත් වුනා.

මෙම තරගයේ දී මාලි ක්‍රීඩකයින් විසින් ගෝල 3ක් වාර්තා කරද්දී, ආජන්ටිනාව පාර්ශවයෙන් එකඳු ගෝලයක් හෝ වාර්තා නොවීම විශේෂත්වයක්.

Goal ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<