ජෝසප්වරුන්ගේ තියුණු ආක්‍රමණය රාජකීයයෝ සාර්ථකව මැඩලයි

1643

2017 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරයින් වූ කොළඹ රාජකීය විද්‍යාලය හා 2017 ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ශූරයින් වූ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අද (6) කොළඹ හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර විශිෂ්ට කරට කර තරගයකින් පසු ලකුණු 18-13ක් ලෙස තරගය ජය ගැනීමට රාජකීය විද්‍යාලය සමත් විය.

DS ක්‍රීඩකයෝ ධර්මරාජ ක්‍රීඩකයින් මෙල්ල කරති

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරගයක් අද (05) වැලිසර නාවික හමුදා රග්බි ක්‍රීඩාංගණයේ දී, කොළඹ D.S සේනානායක විද්‍යාලය හා මහනුවර…

ප්‍රබල සාන්ත ජෝසප් විද්‍යාලය හා ප්‍රබල කොළඹ රාජකීය විද්‍යාලය මෙවර තරග වාරයේ තවමත් අපරාජිත අතර එමනිසා 2018 සිංගර් අන්තර් පාසල් ලීග් තරගාවලියේ ශූරයින් කලින්ම තීරණය විය හැකි තරගයක් බවට නිරායාසයෙන්ම මෙම තරගය පත්විය. පසුගිය වසර 10 පුරා සාන්ත ජෝසප් විද්‍යාලය කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කිරීමට සමත්වී නැති අතර තරගයේ උණුසුම තවත් ඉහළ දමන්නට එය හේතුවක් විය.

සාබිත් ෆෙරෝස් කොළඹ රාජකීය විද්‍යාලයේ නායකත්වය හෙබවූ අතර සමිෂ විරංගන පෙරළිකාර සාන්ත ජෝසප් විද්‍යාලය මෙහෙයවනු ලැබීය.

ප්‍රබල රාජකීයයන් හා සියලු ප්‍රේක්ෂකයින් මවිත කරමින් තරගයේ පළමු මිනිත්තුවේ ම උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ප්‍රබල සාන්ත ජෝසප් පසුපෙළ සමත් විය. රාජකීය ’Scrum Half’ ක්‍රීඩකයා පා පහරකින් ගුවනට මුසුකළ පන්දුව රැක ගත් සාන්ත ජෝසප් විද්‍යාලයේ දුලංජන පියතිස්ස රාජකීය ක්‍රීඩකයින් මුලා කරමින් සුපිරි ධාවනයක යෙදී පන්දුව ‘Wing’ ක්‍රීඩක තරිඳු මදුරංග වෙත භාර දුන් අතර මදුරංග අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත් විය. සමිෂ විරංගන එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (රාජකීය 00-07 සාන්ත ජෝසප්)

ප්‍රබල රාජකීය ඉදිරිපෙළ උත්සාහක දිනුමක් කරා යාමට තියුණු උත්සාහයක නිරත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 6 වන මිනිත්තුවේ දී ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් රාජකීය ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට දුලාන් ගුණවර්ධන සමත් විය. (රාජකීය 03-07 සාන්ත ජෝසප්)

10 වන මිනිත්තුවේ දී රාජකීය ඉදිරිපෙළ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් පසු පාදයට ඇද දමමින් උත්සාහක දිනුම් සීමාව ඉක්මවීම සඳහා ප්‍රබල උත්සාහයක නිරත වූ නමුත් සාන්ත ජෝසප් ක්‍රීඩකයින් ප්‍රබල උත්සාහයක් දරා එම උත්සාහය නැවත්වීමට කටයුතු කළේය.

එනමුත් සුපුරුදු ක්‍රීඩා රටවේම නිරත වූ රාජකීයයෝ තරගයේ 16 වන මිනිත්තුවේ දී ‘Line Out’ අවස්ථාවක් සාර්ථකව රැක ගනිමින් සිය ඉදිරිපෙළ උත්සාහක දිනුම් සීමාවට තල්ලු කරමින් හිමන්ත හිරුශාන්ගේ සුරතින් පළමු රාජකීය උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. දුලාන් ගුණවර්ධන අලංකාර ලෙස එහි ප්‍රවර්තනය ද සාර්ථක කරගන්නා ලදි. (රාජකීය 10-07 සාන්ත ජෝසප්)

19 වන මිනිත්තුවේ දී ජනිදු දිල්ශාන් උත්සාහක දිනුමක් කරා යාමට ප්‍රබල ධාවනයක නිරත වූ අතර උත්සාහක දිනුම් සීමාව පෙනෙන මානයේ පන්දුව රශ්මික වෙත යොමු කළත් එම ආසන්න අවස්ථාව සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකි වූයේ නැත.

ඉතා උණුසුම් ලෙස දෙපසටම තරගය දෝලනය වෙමින් පැවති අතර 23 වන මිනිත්තුවේ දී සාන්ත ජෝසප් ක්‍රීඩකයින් රාජකීය උත්සාහක දිනුම් රේඛාව අසලටම ගියත්, අවාසනාවන්ත ලෙස පන්දුව රාජකීය ක්‍රීඩකයින් උදුරා ගත් අතර රාජකීය ‘Center’ ක්‍රීඩක ජනිදු දිල්ශාන් පන්දුව පිටියෙන් ඉවතට යන සේ පා පහරක් දෙමින් සාන්ත ජෝසප් කණ්ඩයමට ඉතා ආසන්න අවස්ථාවක් අහිමි කරවීමට සමත් විය.

පළමු අර්ධය: රාජකීය විද්‍යාලය 10-07 සාන්ත ජෝසප් විද්‍යාලය

දෙවන අර්ධයේ සිය සුපුරුදු ප්‍රබල ක්‍රීඩා විලාසයට අවතීර්ණ වූ රාජකීය විද්‍යාලය ඉක්මනින්ම පිටියේ ස්ථාවර වෙමින් තරගයේ 39 වන මිනිත්තුවේ දී සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ඉදිරිපෙළ ක්‍රීඩකයින් මීටර 22 සීමාවේ සිට පියවරෙන් පියවර පන්දුව ඉදිරියට රැගෙන ගිය අතර ඉෆාම් ෆහිඩ් එම උත්සාහක දිනුමට හිමිකම් කීය. දුලාන් ගුණවර්ධන හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට හැකි වූයේ නැත. (රාජකීය 15-07 සාන්ත ජෝසප්)

රාජකීයයන්ට ඉක්මන් පිළිතුරක් ලබා දෙමින් වේගවත් සාන්ත ජෝසප් පසුපෙළ රාජකීය අර්ධය ආක්‍රමණය කළ අතර ගැමුණු චේතිය යොමු කළ පන්දුව නායක සමිෂ විරංග හට උත්සාහක දිනුම් සීමාවට රැගෙන යාමට නොහැකි වුවත් 42 වන මිනිත්තුවේ හිමි වූ දඬුවම් පහර සාර්ථක කර ගනිමින් ලකුණු පරතරය අඩු කර ගැනීමට ඔහු සමත් විය. (රාජකීය 15 -10 සාන්ත ජෝසප්)

මෙවර තරග වාරයේ පළමු වරට රාජකීය කණ්ඩයම දැඩි පීඩනයකට හසු කරමින් 48 වන මිනිත්තුවේ හිමි වූ දඬුවම් පහරක් ද සාර්ථක කර ගනිමින් තරගය තවත් තියුණු කරන්නට සාන්ත ජෝසප් නායක සමිෂ විරංග සමත් විය. (රාජකීය 15-13 සාන්ත ජෝසප්)

අනතුරුව මිනිත්තු 10ක් පුරා කණ්ඩයම් දෙකම කරට කර සටනක නිරත වූ අතර 57 වන මිනිත්තුවේ දී රාජකීය කණ්ඩායමට හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට දුලාන් ගුණවර්ධන සමත් වූයේ නැත.

>> තරගයේ ඡායාරූප ඇල්බමය <<

තරගය අවසානයට මිනිත්තු 6ක් ඉතිරිව තිබිය දී සාන්ත ජෝසප් විද්‍යාලයට ඔවුන්ගේ අර්ධයේම උත්සාහක දිනුම් සීමාවට ආසන්නව ‘Line Out’ අවස්ථාවක් හිමි වූ අතර දිනය පුරා ඔවුන් සිදු කළ ‘Line Out’ අවස්ථා දිනා ගැනීමේ අතපසුවීම ම නැවතත් කරමින් වැදගත්ම අවස්ථාවේ ඔවුන් පන්දුව රාජකීයයන්ට හිමි කර දීමට තරම් අවාසනාවන්ත විය. පන්දුව ලබාගත් රාජකීයයෝ නැවතත් සිය ඉදිරිපෙළ යොදා ගනිමින් ඉදිරියටම ගිය අතර සාන්ත ජෝසප් විද්‍යාලයේ ක්‍රීඩකයින් ‘Off Side’ ලෙස ක්‍රීඩා කිරීමේ වරදට හසුවීම නිසා හිමි වූ දඬුවම් පහර සාර්ථක කර ගැනීමට රාජකීය විද්‍යාලයේ දුලාන් ගුණවර්ධන 66 වන මිනිත්තුවේ දී සමත් විය. (රාජකීය 18-13 සාන්ත ජෝසප්)

අවසාන මිනිත්තු හතර තුල එක් උත්සාහක දිනුමක් උදෙසා කාලය සමඟ සටනක නිරත වූ සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ රාජකීය විද්‍යාලයට හිමි වූ ‘Scrum’ අවස්ථාවේ දී ඔවුන් අතින් සිදු වූ අතපසුවීමකින් පන්දුව උදුරා ගෙන පා පහරකින් පන්දුව ඉදිරියට යොමු කර පන්දුව පසුපස හඹා යාමට උත්සහ කළත්, එම උත්සාහය සාර්ථකව ව්‍යර්ථ කිරීමට රාජකීය ක්‍රීඩකයෝ සමත් වූහ.

පිටිය මැද හිමි වූ දඬුවම් පහර පිටියෙන් ඉවතට යොමු කළ කොළඹ රාජකීය ක්‍රීඩකයෝ තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගත් අතර රාජකීයයන් සමඟ තරග ඉතිහාසයේ තවත් පරාජයක් සටහන් කරන්නට සාන්ත ජෝසප් විද්‍යාලයට සිදු විය.    

ThePapare.com තරගයේ වීරයා – හිමන්ත හිරුශාන් (රාජකීය)

අවසාන ලකුණු තත්වය : කොළඹ රාජකීය විද්‍යාලය 18 (2T,1C,2P) -13 (1T,1C,2P) මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය  

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්

  • කොළඹ රාජකීය විද්‍යාලය: හිමන්ත හිරුශාන් (1T), දුලාන් ගුණවර්ධන (2P,1C), ඉෆාම් ෆහිඩ් (1T)
  • මරදාන ජෝසප් විද්‍යාලය: තරිඳු මධුරංග (1T), සමිෂ විරංග (1C,2P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<