මංගල රග්බි ගැටුමේ දී මහනුවර ක්‍රීඩකයෝ රාජකීය බලයට යටත් වේ

1637

උණුසුම, ත්‍රාසය හා ඉහළ ප්‍රේක්ෂක සහභාගීත්වය සමඟින් පාසල් රග්බි පිටියට වසන්තය උදා කරමින්, 2018 අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය අද (3) කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි ක්‍රීඩා සංකීර්ණයේ දී ආරම්භ විය. උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 29-03ක් ලෙස මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය පරදවා ජය හිමි කර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය.

ඔබේ පාසලේ රග්බි නායකයා සැබෑම දක්ෂයෙක් ද?

2018 සිංගර් පාසල් රග්බි ශූරතාවය ආරම්භ වීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ ඉතා සුළු කාලයකි. ඔබේ පාසලේ නායකයා කවුද, ඔබේ සහෝදර පාසලේ නායකයා කවුද සහ දිවයිනේ ප්‍රමුඛ පාසල්…

පසුගිය වසරේ ලීග් රග්බි ශූරයින් වූ රාජකීය විදුහල අද සාබිත් ෆෙරෝස් විසින් මෙහෙයවූ අතර පසුගිය වසරේ B කාණ්ඩයේ පෙරමුණ ගත් කිංග්ස්වුඩ් විදුහල අද තරිඳු වැලිගම්පොල විසින් මෙහෙය වනු ලැබීය. අන්තර්ජාතික වයස අවුරුදු 19න් පහළ ආකෘතියට අනුව මිනිත්තු 70කට තරගය සීමා වන අතර තරගයේ විනය පවත්වාගෙන යාම සඳහා විශේෂ  නිලධාරියෙක් ද පත් කර තිබේ.

ප්‍රබල රාජකීය කණ්ඩායම පසු පාදයට ඇද දමමින් කිංග්ස්වුඩ් විදුහල පළමු මිනිත්තු කිහිපයේ දී සුපිරි ක්‍රීඩා විලාසයක නිරත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස දෙවැනි මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට කිංග්ස්වුඩ් විදුහලේ ධනංජය ගුණතිලක සමත් විය. (රාජකීය 00-03 කිංග්ස්වුඩ්)

රාජකීය විදුහලේ ප්‍රධානතම අවිය වූ රාජකීය ඉදිරිපෙළ මර්දනය කරමින් රාජකීයයන්ට ලකුණු රැස් කිරීමට ඉඩ ලබා නොදී ක්‍රීඩා කළ නමුත් කිංග්ස්වුඩ් විද්‍යාලයට හිමි වූ කිසිදු අවස්ථාවක් සාර්ථක කර ගැනීමට ද ඔවුන් සමත් වූයේ නැත.

B කාණ්ඩයේ තරග මාර්තු මස 5 වැනි දා ආරම්භ වේ!

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන 2018 පාසල් රග්බි ලීග් තරගාවලිය ලබන මාර්තු මස 9 වැනිදා ආරම්භ වේ. තරගාවලියේ A කාණ්ඩයේ කාලසටහන…

ක්‍රමයෙන් තරගයට අවතීර්ණ වූ රාජකීය කණ්ඩායම වෙනුවෙන් සසිත සියත් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර, 17 වන මිනිත්තුවේ දී වාර්තා වූ එම උත්සාහක දිනුම ප්‍රවර්තනය කිරීමට දුලාන් ගුණවර්ධන සමත් විය. (රාජකීය 07-03 කිංග්ස්වුඩ්)

තරගයේ 35 වන මිනිත්තුවේ ලද දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට කිංග්ස්වුඩ් කණ්ඩායමේ ධනංජය ගුණතිලක අසමත් වූ අතර පළමු අර්ධය නිමා වන විට ලකුණු 07-03ක් ලෙස කොළඹ රාජකීය ක්‍රීඩකයෝ ඉදිරියෙන් සිටියහ.

පළමු අර්ධය: රාජකීය විද්‍යාලය 07 – 03 කිංග්ස්වුඩ් විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භයේ සිට ම සිය සුපුරුදු ක්‍රීඩා විලාසයට පිවිසුණු රාජකීය කණ්ඩායම තරගයේ 37 වන මිනිත්තුවේ දී සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට සමත් විය. ජනිඳු දිල්ශාන් එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර, දුලාන් ගුණවර්ධන සාර්ථක ලෙස එම උත්සාහක දිනුම ප්‍රවර්තනය කරන ලදි. (රාජකීය 14-03 කිංග්ස්වුඩ්)

දේශගුණික වෙනස් වීම් හා අධික උණුසුම නිසා කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ වරින් වර ආබාධවලට ලක්වීම කැපී පෙනුණි. කෙසේ වෙතත් සිය රිද්මයට පිවිස සිටි රාජකීය ක්‍රීඩකයෝ සිය තෙවන උත්සාහක දිනුම 50 වැනි මිනිත්තුවේ දී වාර්තා කිරීමට සමත් විය. ජනිඳු දිල්ශාන්ගේ අලංකාර පන්දු යොමු කිරීමක් රසිත් ප්‍රනාන්දු උත්සාහක දිනුමක් බවට පරිවර්තනය කරද්දී, දුලාන් ගුණවර්ධන එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට උත්සහ කළත්, දුලාන්ගේ එම උත්සාහය සාර්ථක වූයේ නැත. (රාජකීය 19-03 කිංග්ස්වුඩ්)

60 වන මිනිත්තුවේ දී දැඩි උත්සාහයක නිරත වූ මහනුවර කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියත් පන්දුව’Knock On’ අවස්ථාවකට ලක්වීම නිසා එම උත්සාහක දිනුම නිශ්ප්‍රභ කිරීමට විනිසුරු තීරණය කළේය.

ප්‍රසාද ලකුණ දිනා ගැනීම සඳහා සටනක නිරත වූ රාජකීය කණ්ඩායම 66 වන මිනිත්තුවේ දී සිය සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කරමින් ප්‍රසාද ලකුණ දිනා ගැනීමට සමත් වූ අතර නිකිල් ද සිල්වා එම උත්සාහක දිනුමට හිමිකම් කියන ලදි. ජනිඳු දිල්ශාන් එහි ප්‍රවර්තනයට උත්සහ කළ නමුත් එම උත්සාහය සාර්ථක වූයේ නැත. (රාජකීය 24-03 කිංග්ස්වුඩ්)

ලකුණු පරතරය තවත් ඉහළ දමමින් පසිඳු ප්‍රනාන්දු පස්වැනි වරටත් රාජකීය කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් රේඛාව ඉක්මවා යන්නට සමත් වූ අතර දුලාන් ගුණවර්ධන එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේ නැත. (රාජකීය 29 -03 කිංග්ස්වුඩ්)

අවසන් ලකුණු තත්වය: රාජකීය විද්‍යාලය 29 (5T,2C ) – 03 (1P) කිංග්ස්වුඩ් විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: රිසිත් ප්‍රනාන්දු (රාජකීය විද්‍යාලය)

ලකුණු වාර්තා කළ ක්‍රීඩකයින්

  • රාජකීය විද්‍යාලය: දුලාන් ගුණවර්ධන (2C), නිකිල් ද සිල්වා (1T), පසිඳු ප්‍රනාන්දු (1T), රසිත් ප්‍රනාන්දු (1T), ජනිඳු දිල්ශාන් (1T), සසිත සියත් (1T)
  • කිංග්ස්වුඩ් විද්‍යාලය: ධනංජය ගුණතිලක (1P)

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට