ඔබේ පාසලේ රග්බි නායකයා සැබෑම දක්ෂයෙක් ද?

998

2018 සිංගර් පාසල් රග්බි ශූරතාවය ආරම්භ වීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ ඉතා සුළු කාලයකි. ඔබේ පාසලේ නායකයා කවුද, ඔබේ සහෝදර පාසලේ නායකයා කවුද සහ දිවයිනේ ප්‍රමුඛ පාසල් රැසක් කරට කර ගැටෙන A කාණ්ඩයේ කණ්ඩායම්වල නායකයින් හඳුනා ගැනීමට ThePapare.com අප මේ ලිපිය වෙන් කිරීමට සිතුවෙමු.

1. රාජකීය විදුහල කොළඹ

ගියවර ශූරයින් වූ කොළඹ රාජකීය විද්‍යාලය මෙවර සබිත් ෆෙරෝස් විසින් මෙහෙය වනු ඇත. වර්ණලාභී සිව්වැනි වසරේ ක්‍රීඩකයෙකු වන සබිත් ‘wing’ ස්ථානයේ සිය බලපරාක්‍රමය විහිදනු ඇත. සිය වේගයෙන් රාජකීය විදුහල වෙනුවෙන් තරග රාශියක් දිනවීම සඳහා සක්‍රියව දායක වී ඇති ඔහුගේ පාදයේ සවිය මෙවර සිංගර් කුසලානය සිය පාසලේම තබා ගැනීම සඳහා වටිනා මෙහෙයක් ඉටු කරනු ඇත.

2. ඉසිපතන විදුහල කොළඹ

ඉසිපතනයේ එදා මෙදාතුර ළාබාලතම රග්බි නායකයා ලෙස වයස අවුරුදු 17 දී කිරුළු පලන් මනිල්ක සුලක්ෂණ රුබේරු මෙවර සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වීමේ වගකීම භාරව කටයුතු කරයි. ’Center’ ස්ථානයේ ක්‍රීඩා කරමින් කණ්ඩායමේ කොඳු නාරටිය වෙමින් පසුගිය තරග වාරයේ දැක්වූ දක්ෂතා මෙන්ම ශක්තිමත් හා වේගවත් ක්‍රීඩා විලාසයක් කණ්ඩායම ඔහුගෙන් අපේක්ෂා කරයි. ළාබාල ඉසිපතන ක්‍රීඩකයින් අතර අත්දැකීම් බහුලතම ක්‍රීඩකයා ලෙස කණ්ඩායමේ වැඩි බරක් ඔහු මත පැටවෙනු ඇත.

3. ත්‍රිත්ව විදුහල මහනුවර

සිව්වැනි වසර සඳහා කණ්ඩායම නියෝජනය කරන වර්ණලාභී අවිශ්ක ශිඒක් හට මෙවර ත්‍රිත්ව කණ්ඩයම මෙහෙය වීමේ වගකීම හිමිව තිබේ. දිගුකාලීන දණහිසේ ආබාධයකින් පීඩා වින්ද ද, දක්ෂ ලෙස ක්‍රීඩා කරන අවිශ්ක පසුගිය වසරේ තරග සංචාර සඳහා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම ද නියෝජනය කිරීමට සමත් විය.

4. වෙස්ලි විදුහල කොළඹ

දයාන් සාබර් මෙවර වෙස්ලි කණ්ඩායමේ වගකීම සිය උර මතට ගෙන ඇත. සිව්වැනි වසර සඳහා කණ්ඩායම නියෝජනය කරන සාබර් පසුගිය වසරේ කනිෂ්ඨ පොදුරාජ්‍ය මණ්ඩලීය ශූරතාව සඳහා බහමාස් හී සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා වයස අවුරුදු 18න් පහළ සත්සාමාජික කණ්ඩායමේ මෙන්ම පසුගිය දෙසැම්බරයේ නිමා වූ වයස අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවට තරග කළ කණ්ඩායමේ සාමාජිකත්වය ද දැරූ අතර නායකත්වයේ වගකීම ද සමඟින් අත්දැකීම් රාශියකින් මෙවර සිය කණ්ඩායම පොහොසත් කරනු ඇත.

5. සාන්ත පීතර විදුහල බම්බලපිටිය

‘No 8’ හා ‘Flanker’ යන ස්ථාන ද්විත්වයේම දස්කම් දක්වන ජාවෙඩ් සාරූක් හට මෙවර බම්බලපිටිය සාන්ත පීතරන් මෙහෙය වීමේ වගකීම හිමිව තිබේ. සිව්වැනි වසරේ වර්ණලාභියෙකු වන ජාවෙඩ් හට ආබාධයක් නිසා පසුගිය තරග වාරය සාර්ථකව අවසන් කිරීමට නොහැකිවුවත් අත්දැකීම්වලින් හා සිය ශක්තියෙන් මෙවර පීතරයින් පෝෂණය කරනු ඇත.

6. සාන්ත ජෝසප් විදුහල මරදාන

සමීෂ විරංගන මෙවර සාන්ත ජෝසප් රග්බි බලකාය මෙහෙය වීමේ වගකීම භාරව කටයුතු කරනු ඇත. පසුගිය වසරේ සාර්ථකත්වයට පත්වූ ජෝසප් තරග රටාවේ ප්‍රධානතම තුරුම්පුවක් වූ ඔහු මෙවර ‘center’ ස්ථානයේ සිට ‘Fly half ’ ස්ථානයට පැමිණ ඇති අතර ජයග්‍රහණය කෙරෙහි ගිය වරටත් වඩා වැඩි කාර්යභාරයක් මෙවර ඔහුට පැවරෙනු ඇත.

7. සාන්ත තෝමස් විද්‍යාලය ගල්කිස්ස  

‘No 8’ හා ‘Flanker’ යන ස්ථාන දෙකේම සුපිරි ක්‍රීඩා රටාවක නිරත වන ක්‍රිස්ටියන් ඩී ලයිල් හට මෙවර සාන්ත තෝමස් කණ්ඩායම මෙහෙය වීමේ වරම් හිමිව තිබේ. සිව්වැනි වසර වර්ණලාභියෙකු වන ඔහු 2016 වසරේ ශ්‍රී ලංකා කනිෂ්ඨ රග්බි කණ්ඩයම නියෝජනය කරමින් චීන තායිපේ හා හොංකොං හී පැවති වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික රග්බි ශූරතා තරගාවලිය හා පසුගිය වසරේ කනිෂ්ඨ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය නියෝජනය කළ අත්දැකීම් බහුල ක්‍රීඩා තරුවක්.

8. සහිරා විද්‍යාලය කොළඹ

මුහම්මර් ඩීන් හට මෙවර වේගවත් සහිරා රග්බි කණ්ඩායම මෙහෙය වීමේ වගකීම පැවරී තිබේ. සිව්වැනි හා අවසන් වසර සඳහා කණ්ඩායම නියෝජනය කරන ඔහු පසුගිය වසරේ ‘Tight Head Prop’ හී ක්‍රීඩා කළත්, මෙවර සිය කිලෝ 86ක බරත්, අඩි 5යි අඟල් 6ක උසත් ප්‍රයෝජනයට ගනිමින් ‘No 8’ ස්ථානයේ වගකීම් කරට ගනිමින් කණ්ඩයමේ ඉදිරිපෙළ සවිමත් කරනු ඇත.

9. සාන්ත අන්තෝනි විදුහල මහනුවර

කාවින්ද අලහකෝන් මෙවර සාන්ත අන්තෝනි රාජාලියන් මෙහෙය වීමේ වගකීම කරට ගනු ඇත. සිව්වැනි හා අවසාන වසර සඳහා ක්‍රීඩා කරන කාවින්ද අලහකෝන් ‘Prop Forward’ ස්ථානයේ කිලෝ 100ක බරක් සමඟින් ක්‍රීඩා කරමින් අනෙක් කණ්ඩායම්වලට දැඩි අභියෝගයක් වනු ඇත. අඩි පහයි අඟල් එකොළහක උසකට හිමිකම් කියන කාවින්ද මෙවර ද ප්‍රතිවාදී ක්‍රීඩකයින් මැඩලමින් උත්සාහක දිනුම් වාර්තා කිරීමේ සිය පුරුද්ද එලෙසම පවත්වා ගෙන යනු ඇත.

10. කිංග්ස්වුඩ් විදුහල මහනුවර

2016 වසරේ කිංග්ස්වුඩ් වයස අවුරුදු 18න් පහළ රග්බි කණ්ඩායම ශූරතාව සඳහා මෙහෙය වූ තරිඳු වැලිගම්පොල මෙවර කිංග්ස්වුඩ් කණ්ඩයමේ නායකත්ව වගකීම දරනු ඇත. වසර කිහිපයක්ම ‘Center’ ස්ථානයේ සිය දක්ෂ ක්‍රීඩා විලාසය ඉදිරිපත් කළ තරිඳු සිව්වැනි වසරටත් කණ්ඩායම නියෝජනය කරමින් මෙවර ද සිය ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයෙන් ප්‍රතිවාදී ක්‍රීඩකයින් අන්දමන්ද කරනු ඇත.

11. ධර්මරාජ විදුහල මහනුවර

සයවැනි වසර සඳහා මහනුවර ධර්මරාජ විද්‍යාලයීය රග්බි කණ්ඩායම නියෝජනය කරන බවන්ත උඩන්ගමුව මෙවර ධර්මරාජ විද්‍යාලයීය රග්බි කණ්ඩායම ජයග්‍රහණය සඳහා ඉදිරියට මෙහෙය වනු ඇත. වසර ගණනක අත්දැකීම්වලින් සපිරි ඔහු ‘Center’ ස්ථානයේ ක්‍රීඩා කරමින් ප්‍රතිවාදී ක්‍රීඩකයින් මැඩලමින් උත්සාහක දිනුම් කරා දිව යාමට නමක් දිනා ගත්තෙකි. කණ්ඩායමේ සාර්ථකත්වය උදෙසා බවන්තගේ ශක්තිය මෙන්ම නායකත්වය ද කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත.

12. D.S. සේනානායක විද්‍යාලය කොළඹ

චාමුක සේශාන් මෙවර D. S. රග්බි කණ්ඩායමේ නායකත්වය දරනු ඇත. අවසාන වසර ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන අඩි පහයි අඟල් 11ක් උස සේශාන් පසුගිය තරග වාර තුනක අත්දැකීම් සමඟින් කණ්ඩයම සවිමත් කරනු ඇත. එතරම් අත්දැකීම් රහිත කණ්ඩායමක් සමඟින් පිටියට පිවිසෙන D. S. සේනානායක කණ්ඩායමට සේශාන්ගේ සේවය ඉතා වැදගත් වනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<