“නැහැ නැහැ. මම නෙවෙයි උඹයි යන්න ඉන්නේ” – නෑසූ කතාවක්

ලෝක කුසලානයේ නෑසූ කතා (05)

955

ශ්‍රී ලංකාව මුල්ම වතාවට ලෝක කුසලානයකට ක්‍රීඩා කළේ 1975 පෘඩෙන්ෂල් ලෝක කුසලානයටය. ටෙස්ට් වරම් නොමැති රාජ්‍යයන් වශයෙන් ශ්‍රී ලංකාව සහ නැගෙනහිර අප්‍රිකාව මෙම ලෝක කුසලානයට සහභාගී විය. අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය ඇති රටවල් සමඟ ආරාධිත කණ්ඩායම් ලෙස ඉහත කී කණ්ඩායම් දෙක ලෝක කුසලානයට එක්විය.

වැස්ස වලාහක දෙවියන් අපට පිහිට වූ හැටි

1979 පෘඩෙන්ෂල් ලෝක කුසලානය දෙවැනි වරටත් පැවැත්වුණේ….

ලෝක කුසලානයට එක්වූ කණ්ඩායම් අට වශයෙන් කාණ්ඩ දෙකකට බෙදා තිබූ අතර සත්කාරක එංගලන්තය, නවසීලන්තය, ඉන්දියාව සහ නැගෙනහිර අප්‍රිකාව එක් කාණ්ඩයට අයත් විය. ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාව අනෙක් කාණ්ඩයෙන් තරග වැදුණි. සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම සමඟ එක්වරක් තරග වැදුණු අතර සෑම කාණ්ඩයකම පෙරමුණ ගත් කණ්ඩායම් දෙක අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලබා ගන්නා ලදී. සෑම තරගයක්ම පන්දුවාර 60කට සීමා වූ අතර සාම්ප්‍රදායික සුදු ඇඳුම් සහ රතු පැහැති පන්දුව මෙම තරගාවලිය පුරාවටම භාවිත කෙරුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම මුල්ම වරට එක්දින ජාත්‍යන්තර තරඟයකට ක්‍රීඩා කළේ 1975 ජුනි හත්වැනිදා කොදෙව් කණ්ඩායමට එරෙහිවය. ඊට හරියටම දින හතරක ඇවෑමෙන් තවත් ප්‍රබල කණ්ඩායමකට එරෙහිව තරග වදින්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබුණි. ඒ ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියෙන්ම සිටි කණ්ඩායමක් වූ ඕස්ට්‍රේලියාව සමඟය. පෙර තරගයේ අඳුරු සෙවණැලි ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ මනසේ හොල්මන් කළ බව නොරහසකි. ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පවත්වන්නට කටයුතු යොදා තිබුණි.

Getty Images

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක අනුර තෙන්නකෝන් පළමුවෙන් පන්දුවට පහර දීමේ වාරය ඕස්ට්‍රේලියානුවන්ට බාර කළේය. ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ඇලන් ටර්නර් සහ  රික් මැක්කොස්කර් අනගි ආරම්භයක් ලබා දෙමින් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව ලකුණු 182ක් දක්වා ඔසවා තැබීමට සමත් විය.

පිට පිට ඕස්ට්‍රේලියානු කඩුලු කිහිපයක් වැටුනත් ග්‍රේග් චැපල්ගේ සහ ඩග් වොල්ටර්ස්ගේ වේගවත් අර්ධ ශතක නිසා තමන්ට නියමිත පන්දුවාර 60 අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 328ක් රැස්කර ගන්නට සමත් විය.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නියැළුණු ඇලන් ටර්නර් ශතකයක් වාර්තා කර ගත් අතර රික් මැකොක්ස්කර්, ග්‍රේ චැපල් සහ ඩහ් වොල්ටර්ස් අර්ධ ශතක වාර්තා කර ගැනීමට සමත් වි. ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් තරමක් දුරට හෝ සාර්ථක වූ ඩී. එස් ද සිල්වා සහ මෙවන් පීරිස් කඩුලු දෙක බැගින් ලබාගැනීමට සමත් විය.

Getty Images

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලබා දුන් දැවැන්ත ඉලක්කය ඩෙනිස් ලිලී, ජෙෆ් තොම්සන් වැනි අතිශය බිහිසුණු වේගපන්දු යවන්නන් ඉදිරියේ ශ්‍රී ලංකා කණ්ඩායමට කිසි ලෙසකින්වත් ලෙහෙසි පහසු කටයුත්තක් වූයේ නැත. පන්දුවාර හැටකින් සමන්විත තරග වුවත් ලකුණු තුන්සීයේ සීමාව ඉක්මවා ලකුණු රැස් කිරීම ඉතාම අපහසු කටයුත්තක් ලෙසයි ඒ දිනවල සැලකුණේ.

ඕස්ට්‍රේලියානු අභියෝගයට මුහුණ දෙන්නට ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ තම මංගල එක්දින තරඟයට ක්‍රීඩා කළ සුනිල් වෙත්තමුණි සමඟින් රංජිත් ප්‍රනාන්දු. වේගවත් ආරම්භයක් ලබා ගත් රංජිත් ප්‍රනාන්දු ඩෙනිස් ලිලීගේ එක් පන්දුවාරයකට හතරේ පහර තුනක් එල්ල කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්ම කඩුල්ල ලෙස රංජිත් ප්‍රනාන්දු ජෙෆ් තොම්සන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැඩීමෙන් දැවී යද්දී ලකුණු පුවරුව කියවුණේ 30ක් ලෙස. ඉන් ලකුණු 22ක්ම ගලාවිත් තිබුණේ ප්‍රනාන්දුගේ පිත්තෙන්. රංජිත් ප්‍රනාන්දු තරමක වේගයෙන් පන්දුවට පහර දුන් පිතිකරුවෙකු ලෙසයි ඒ දිනවල ප්‍රචලිතව සිටියේ.

ඉන්පසු වෙත්තමුණි සමඟ කඩුල්ලේ එක්වූ බන්දුල වර්ණපුර ශ්‍රි ලංකා ඉනිම යුහුසුළුව ඉහල දමන්නට විය. ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ලට අර්ධ ශතක සබඳතාවක් ගොඩනැගීමට සමත් වූහ. ලකුණු 84ක් වෙද්දී දෙවන කඩුල්ල ලෙස වර්ණපුර දැවී යද්දී වෙත්තමුණි හා පිටියට එක්වූයේ දුලීප් මෙන්ඩිස්. ඈෂ්ලි මැලට්ගේ පන්දුවකට රොඩ්නි මාෂ් විසින් ස්ටම්ප් කිරීමකට හසු කර ගනිද්දී වර්ණපුර පන්දු 39ක දී ලකුණු 31ක් කණ්ඩායමට එක් කර තිබුණා.  

Getty Images

දුලීප් මෙන්ඩිස් සහ වෙත්තමුණි ක්‍රමක්‍රමයෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු එක්සිය පනහේ සීමාවට ගෙන එන්නට සමත් විය. මේ අවස්ථාවේ දී ඕස්ට්‍රේලියානු නායක ඉයන් චැපල් නැවත වතාවක් තමන් සතුව සිටින වේගවත්ම පන්දු යවන්නා පන්දු යැවීමට කැඳවණු ලැබුවා.  

තොම්සන් එවූ වේගවත් බවුන්සර් පන්දුවක් හිසේ වැදීම නිසා පිටියෙන් ඉවත් වන්නට මෙන්ඩිස්ට සිදු වුනා. තවත් ලකුණු දාහතරක ඇවෑමෙන් එතෙක් වේලා හොඳින් පන්දුවට පහර දෙමින් සිටි සුනිල් වෙත්තමුණිට ද තොම්සන්ගේ පන්දුවක් හමුවේ තුවාල ලබා පිටියෙන් ඉවත් වන්නට සිදු වුනා. 

Getty Images

එතැන් පටන් ශ්‍රී ලංකා ඉනිම නැවත ගොඩ නැංවීමේ වගකීම   පැවරුණේ නායක අනුර තෙන්නකෝන්ට සහ මයිකල් තිසේරාට. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළපුරුදුම පිතිකරුවන් දෙදෙනා කෙසේ හෝ ශ්‍රී ලංකා ලකුණු පුවරුව දෙසීය පනහක සීමාවට ගෙන එන්නට සමත් විය. අර්ධ ශතකය පෙනී පෙනී තෙන්නකෝන් ප්‍රතිවාදී නායක ඉයන් චැපල්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියවුණේ 246 ලෙසයි.

තෙන්නකෝන් දැවී යන විට ශ්‍රී ලංකා ක්‍රීඩක විවේකාගාරය සිනහ සාගරයක් බවට පත්ව තිබුණා. ශ්‍රි ලංකා පිතිකරණ ලැයිස්තුවේ පන්දුවට පහර දීමට  සිටි මෙවන් පිරිස් සහ ටෝනි ඕපාත යම් කිසි වාග් සංග්‍රාමයක නිරත වී සිටිනු අනෙක් ක්‍රීඩකයින්ට දැකගත හැකි විය.

“මම නෙවෙයි උඹයි ඊළඟට බැට් කරන්න යන්න ඉන්නේ”

“නැහැ නැහැ. මම නෙවෙයි උඹයි යන්න ඉන්නේ” යනුවෙන් දෙදෙනාගේ සටන බොහෝ වෙලාවක් ඇදී ගිය බව සඳහන්. තමන්ගේ ක්‍රීඩකයින් පිටිය මැද මුහුණ දී සිටි අන්තරාදායක තත්වය කෙසේ වෙතත් විවේකාගාරයේ සිටි සියල්ලන්ටම මෙය ඉතා විනෝදජනක අත්දැකීමක් වූ බවයි පැවසෙන්නේ.

නියමිත පන්දුවාර 60 අවසානයේ කඩුලු හතරක් දැවී ලකුණු 286ක් රැස්කර ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම එදා සමත් විය. කොදෙව්වන් සමඟ පැවති පළමු තරගය දරුණු ලෙස පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානුවන් සමඟ පෑ දස්කම් සහ ඔවුන් පෙන්වූ සටන්කාමීත්වය ක්‍රිකට් ලෝකයේ බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්විය.  

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<