ආසියානු යොවුන් දැල්පන්දු බල ඇණියේ නායකත්වය නදීට

644

දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිත තුන් වන ආසියානු දැල්පන්දු තරගාවලිය නියෝජනය කිරීමට සැරසෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය නදී ප්‍රනාන්දුට හිමිව තිබේ.

අවසන් දොළොස් දෙනාගේ සංචිතය අතිරේක ක්‍රීඩිකාවන් තිදෙනකු ද සමඟින් පසුගිය දා නම් කෙරුනි. නදී ද ඇතුළුව 2015 ආසියානු යොවුන් කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනකු පමණක් මෙවර තරගාවලිය නියෝජනය කිරීම විශේෂත්වයකි. සෙසු ක්‍රීඩිකාවන් ලෙස උප නායිකා හෂිනි පෙරේරා සහ සචිනි රොද්‍රිගු දැක්විය හැක.

2015 දී ගයනි දිසානායකගේ නායකත්වයෙන් යොවුන් කුසලානය ශ්‍රී ලංකාව දිනා ගත් අතර ජ්‍යේෂ්ඨ කණ්ඩායම ද නියෝජනය කරමින් පලපුරුද්ද ලත් ගයනි ත්‍රිශාලාල්ගම සහ ගයාංජලී අමරවංශ යන ක්‍රීඩිකාවන් එම කණ්ඩායමට ඇතුලත්ව සිටියේය.

දෙවසරක් පුරාවට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ දුලංගි වන්නිතිලක සහ රුවිනි යටිගම්මන පවා එම කණ්ඩායමට ඇතුළත්ව සිටියෝය.

දොළොස් දෙනාගේ සංචිතයේ පාසල් ක්‍රීඩිකාවන් දෙදෙන‍ෙකු වන රශ්මි පෙරේරා (ප්‍රේස්බෙටීරියන් කාන්තා විද්‍යාලය- දෙහිවල) සහ තරුශි ඉලංගරත්න (විසාකා විද්‍යාලය) ද ඇතුළත්ව සිටියි.

ජනවාරි 27 වැනි දා නාවලපිටිය ජයතිලක ක්‍රීඩා සංකීර්ණයේ දී ප්‍රථම 30 දෙනා තෝරා ගත් අතර එය පසුගිය පෙබරවාරියේ දී 18ක් දක්වා අඩු කෙරුනි.

පාසල් ක්‍රීඩිකාවන් දෙදෙනාට අමතරව යුද හමුදා ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩිකාවන් 4ක් ද තවත් දෙදෙනෙක් සෙලාන් බැංකු කණ්ඩායමෙන් සහ නාවික හමුදා කණ්ඩායමෙන් ද කණ්ඩායමට ඇතුළත් කර ඇත.

මෙවර කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ 2015 ජයග්‍රාහී කණ්ඩායමේ පුහුණුකරු වූ තමාරා ලියනගේ මහත්මිය යි.

මැයි 07 වැනි දා සිට 14 වැනි දා දක්වා පැවැත්වෙන තරගාවලිය  සඳහා නාවලපිටිය ජයතිලක ක්‍රීඩා සංකීර්ණයේ දී පුහුණුවීම් ආරම්භ වී ඇත.

සංචිතය

  • නදී ප්‍රනාන්දු (කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)
  • හෂිනි පෙරේරා (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
  • කවීනා රාජපක්ෂ (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
  • සචිනි රොද්‍රිගු (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
  • පූර්ණිමා ලක්ෂානි (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
  • මලීෂා රත්නායක (සේලාන්)
  • මන්දිරා සම්පත් (සේලාන්)
  • ටී. එන්. හපුආරච්චි (නාවික හමුදාව)
  • නිරමාණි පෙරේරා (නාවික. හමුදාව)
  • හංසිමා දිසානායක (ගුවන්. හමුදාව)
  • රශ්මි පෙරේරා (ප්‍රේස්බෙටීරියන් කාන්තා විද්‍යාලය)
  • තරුශි ඉලංගරත්න (විසාකා විද්‍යාලය)

අතිරේක

  • චතුනි හංසනී කුමාරි (ගුවන් හමුදාව)
  • රුවනි මල්පේරු (මහමාය විද්‍යාලය)
  • අචිලා සංජි (ගුවන් හමුදාව)

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට