වසර දෙකකට පසු මහනුවර ඔටුන්න බිම වැටේ

5774
kandy sc vs army sc

මෙතෙක් කිසිදු කණ්ඩායමක් හමුවේ පරාජය නොවුණු මහනුවර කණ්ඩායම සමඟ තරමක් පසුබැස සිටින කණ්ඩායමක් වන යුද හමුදා කණ්ඩායම 2018/19 ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ දෙවැනි වටයේ දෙවැනි සති අන්තයේ පළමු තරගයේ දී එකිනෙකා මුණ ගැසුණු අතර වසර දෙකක් පුරාවට අපරාජිත ශූරතාවය නමැති ඔටුන්න හිස දරා සිටි මහනුවරින් එය උදුරා දමන්නට යුද හමුදාව අද (12) සමත් වූයේ මහනුවර නිවහනේ දී ම වීම විශේෂත්වයක්.

අපරාජිත වාර්තාව තවදුරටත් මහනුවර යටතට

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තමන් මුහුණ දුන් ..

මහනුවර කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක් වන බුවනෙක උඩන්ගමුව ආබාධයක් හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා නොකළ අතර ඔහු වෙනුවට ශෙහාන් පතිරණ කණ්ඩායමට ඇතුළත් කර තිබුණි.

වැසිබර කාලගුණය නොසලකා තරග වැදීමට පිටියට පිවිසි ක්‍රීඩකයින් අතරින් තිළිණ විජේසිංහගේ පා පහරින් ආරම්භ වූ තරගයේ මුල් මිනිත්තු කිහිපයේ දී කණ්ඩායම් දෙකම කරට කර තරග කරන ආකාරයක් දක්නට ලැබුණි.

තරගයේ 14 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් සාර්ථක කර ගත් යුද හමුදා කණ්ඩායම ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේය. (මහනුවර 0-3 යුද හමුදා)

නයිජල් රත්වත්තේ විසින් ප්‍රතිවාදී ඉදිරිපෙළ මගහැරගොස් ලබා දුන් අනගි පන්දු පිරිනැමීම සමඟින් 20 වන මිනිත්තුවේ දී සාර්ථක වූ ධනුෂ්ක රන්ජන් විසින් මහනුවර වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අතිදක්ෂ ලෙස සාර්ථක කර ගත් තිළිණ විජේසිංහ මහනුවර ලකුණු තත්ත්වය ලකුණු 7ක් දක්වා ඉහළ නැංවිය. (මහනුවර 7-3 යුද හමුදා)

35 වැනි මිනිත්තුවේ දී මහනුවර ක්‍රීඩකයෝ යුද හමුදාවට ප්‍රබල අභියෝගයක් ලබා දෙමින් තම දෙවන උත්සාහක දිනුම ලබා ගැනීමට සමත් විය. එම උත්සාහක දිනුම ගනුක දිසානායක විසින් වාර්තා කළ නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (මහනුවර 12-03 යුද හමුදා)

යුද හමුදා කණ්ඩායම විසින් අවසන් මිනිත්තුව දක්වා ප්‍රබල සටනක් මහනුවර කණ්ඩායමට එල්ල කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ 39 වැනි මිනිත්තුවේ දී යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභාත් කුමාර උත්සාහක දිනුමක් ලබා ගත් අතර එහි ප්‍රවර්තනය සාර්ථක වීමත් සමඟම ලකුණු තත්ත්වය ලකුණු 10ක් දක්වා ඉහළ නැංවිය. (මහනුවර 12-10 යුද හමුදා)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තමන් දුර්වල කණ්ඩායමක් නොවන බව තහවුරු කරමින් පළමු අර්ධය නිමා වීමට පෙර යුද හමුදාව වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් නාලක මදුරංග විසින් රැස් කළේය.

පළමු අර්ධයේ දී අතිදක්ෂ ලෙස ක්‍රීඩා කළ යුද හමුදා කණ්ඩායම මහනුවරට දැඩි අභියෝගයක් වෙමින් පෙරමුණ ගැනීමට සමත් වූයේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ ලෙසිනි.

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 12 – 15 යුද හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේ දී කණ්ඩායම් දෙකම ප්‍රබල ලෙස සටන් කරනු දක්නට ලැබුණු අතර තම නැතිවී ගිය අභිමානය වෙනුවෙන් සටන්කාමී ලෙස මහනුවර කණ්ඩායම තම ප්‍රහාරය දියත් කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස 47 වැනි මිනිත්තුවේ දී අතිදක්ෂ ලෙස පා පහරක් මගින් ඉදිරියට ලබා දුන් පන්දුව ධනුෂ්ක රන්ජන් විසින් උත්සාහක දිනුමක් බවට පත්කිරීමත් සමඟම නැවතත් තරගයට අවතීර්ණ වීමට මහනුවර සමත් විය. එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (මහනුවර 17-15 යුද හමුදා)

දෙවැනි අර්ධයේ දී CH පෙරමුණ ගනී

2018/19 ‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවැනි අදියරේ පළමු සතියේ..

තරගයේ 49 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමත් සමඟම යුද හමුදා කණ්ඩායම නැවතත් තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය. (මහනුවර 17-18 යුද හමුදා)

තරගයේ ග්‍රහණය තවත් වැඩි කරමින් තවත් උත්සාහක දිනුමක් ගයාන් සාලින්ද විසින් සාර්ථක කර ගත් අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (මහනුවර 17-23 යුද හමුදා)

මහනුවර කණ්ඩායම විසින් මෙම තරගයේ දී වැරදි කිහිපයක්ම සිදු කළ අතර එහි වාසිය යුද හමුදා කණ්ඩායම විසින් ලබා ගන්නා ආකාරයක් දක්නට ලැබුණි.

මහනුවර අපරාජිත වාර්තාවට දැඩි බලපෑමක් එල්ල කරමින් යුද හමුදාව තම ආක්‍රමණය දියත් කළේය. අවස්ථා කිහිපයක්ම මග හැරී ගියත් නැවතත් තරගයට අවතීර්ණ වූ මහනුවර කණ්ඩායම වෙනුවෙන් 74 වැනි මිනිත්තුවේ දී අතිදක්ෂ උත්සාහක දිනුමක් අනුරුද්ධ විල්වර විසින් රැස් කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක වීම නිසා තරගයේ පෙරමුණ යුද හමුදාව සතු විය. (මහනුවර 22-23 යුද හමුදා)

තරගයේ අවසන් මිනිත්තුව දක්වා කණ්ඩායම් දෙකම කරට කර සටන් කළත් කාලය ඉක්ම යාමත් සමඟම පන්දුව ඉවතට යොමු කිරීමට ගත් උත්සාහය අතිදක්ෂ ලෙස වළක්වා ගත් මහනුවර ක්‍රීඩකයෝ මෙම තරගාවලියේ දක්ෂතම උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූහ. නමුත් එහි දී සිදු වූ වරදක් නිසා නැවතත් දඬුවම් පහරක් යුද හමුදාවට ලබා දීමට විනිසුරුවන් තීරණය කිරීමත් සමඟම තරගයේ ජය යුද හමුදාව සතු විය.

මහනුවර කණ්ඩායම මෙම තරගය පරාජය වීමත් සමඟම ඔවුන් මෙම තරගාවලියේ අත්විඳි පළමු පරාජය මෙය වූ අතර තරග 33ක අපරාජිත වාර්තාව ද එයින් බිද වැටිනි. තරගයේ මහනුවර ක්‍රීඩකයෝ සිදු කළ වැරදි ප්‍රමාණය වැඩි වූ අතර එහි වාසිය යුද හමුදාව සතුවීම තරගයේ පරාජයට හේතු විය. තවද මහනුවර කණ්ඩායමට ලැබුණු ප්‍රවර්තන අවස්ථා කිහිපයක් අද තිළිණ විජේසිංහ හට මග හැරී යාම මහනුවර කණ්ඩායමේ පසුබැසීමට හේතු විය. (මහනුවර 22-23 යුද හමුදා)

අවසන් ලකුණු තත්ත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 22 (4T, 1C) – 23 යුද හමුදා ක්‍රීඩා සමාජය 23 (3T, 1C, 2P)

ලකුණු ලබා ගත් ක්‍රීඩකයින්:

  • මහනුවර ක්‍රීඩා සමාජය – ධනුෂ්ක රන්ජන් (2T), ගනුක දිසානායක (1T), අනුරුද්ධ විල්වර (1T), තිළිණ විජේසිංහ (1C)
  • යුද හමුදා ක්‍රීඩා සමාජය – ප්‍රභාත් කුමාර (1T), නාලක මදුරංග (1T), ගයාන් සාලින්ද (1T), ඉසුරු මැදගෙදර (1C, 2P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<