රත්මලානට ගිය පොලිස් ක්‍රීඩකයෝ හිස් අතින් ගෙදර එයි

818

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ දෙවන සති අන්තයේ තවත් තරගයක් අද (12) පැවැත්වුණේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතරයි. තියුණු සටනකට පසු ලකුණු 16-07ක් ලෙස තරගයේ ජය හිමි කර ගත්තේ සත්කාරක ගුවන් හමුදා ක්‍රීඩා සමාජයයි.

වසර දෙකකට පසු මහනුවර ඔටුන්න බිම වැටේ

මෙතෙක් කිසිදු කණ්ඩායමක් හමුවේ පරාජය නොවුණු මහනුවර කණ්ඩායම….

පසුගිය සතියේ දී CR&FC ක්‍රීඩා සමාජය පරාජය කළ පොලිස් ක්‍රීඩකයෝ මේ සති අන්තයේ දී රත්මලානට පැමිණියේ තවත් ජයක් බලාපොරොත්තුවෙනි.

ගයන්ත ඉද්දමල්ගොඩගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර පළමු තත්පරයේම පොලිස් ක්‍රීඩකයින් අතපසු වීමක් සිදු කළේ පන්දුව Knock on අවස්ථාවකට ලක් කරමිනි.

එතැන් සිට කණ්ඩායම් දෙකම යම් යම් අතපසුවීම් සිදු කළේ විනිසුරුට වරින් වර තරගය නැවැත්වීමට කටයුතු සිදු කරමිනි. කෙසේ වෙතත් තරගයේ 9 වැනි මිනිත්තුවේ දී ගුවන් හමුදා ක්‍රීඩක නුවන් පෙරේරා දක්ෂ ධාවනයක් සමඟින් ඉදිරියට ඇදුනත් ඔහු හා ගුවන් හමුදා ක්‍රීඩකයින් උත්සාහක දිනුම් රේඛාවෙන් එපිටට යන්නට සමත් වූයේ නැත.

තරගයේ පළමු වෙඩි මුරය තබමින් පරාක්‍රම රත්නායක 10 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුම් රේඛාව ඉක්මවා ගියේ අනෙක් ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගේ ද සහය සමඟිනි. ගයන්ත ඉද්දමල්ගොඩ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේ නැත. (ගුවන් 05-00 පොලිස්)

තරගය පුරාවට ගුවන් හමුදා කණ්ඩායමේ Line out අවස්ථා සාර්ථක කර ගැනීම් ඉතා හොඳ මට්ටමක තිබුණු අතර ඉතා උස ගුවන් හමුදා ක්‍රීඩකයින් පොලිස් ක්‍රීඩා සමාජයට හිමි වූ Line out අවස්ථා කිහිපයක් ද තමන් සතු කර ගන්නට සමත් විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

යුධ හමුදා ප්‍රහාරයට සාර්ථකව ප්‍රතිප්‍රහාර එල්ල කළ පොලිස් ක්‍රීඩකයින් 23 වැනි මිනිත්තුවේ දී සිය එකම උත්සාහක දිනුම වාර්තා කළේ කසුන් සුරංගගේ සුරතින්. Scrum අවස්ථාවකින් පන්දුව ලබාගත් පොලිස් ක්‍රීඩකයින් සිය පසුපෙළ යොදා ගනිමින් ඉදිරියට ඇදුණු අතර සුරංග පහසුවෙන් ලකුණු රැස් කරන ලදි. ජනිත් චන්දිමාල් අමතර ලකුණු එකතු කරන ලදි. (ගුවන් 05-07 පොලිස්)

26 වැනි මිනිත්තුවේ දී ගුවන් හමුදා ක්‍රීඩකයින්ට ලකුණු සඳහා අනර්ඝ අවස්ථාවක් හිමි වූ නමුත් ඔවුන් කලට වේලාවට පන්දුව හුවමාරු කර නොගැනීම නිසා ඔවුන්ට එම අවස්ථාව සාර්ථක කර ගැනීමට ලැබුණේ නැත. 35 වැනි මිනිත්තුවේ දී ඔවුන් කෙසේ හෝ සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් යොදා ගනිමින් ඉදිරියට යාමට උත්සහ කළත් උත්සාහක දිනුම් රේඛාව අසල දී ගුවන් හමුදා ක්‍රීඩකයින් පන්දුව Holding On කිරීමේ වරදකට හසු වූ නිසා පොලිස් ක්‍රීඩකයින් මද අස්වැසිල්ලක් හිමි විය.

පළමු අර්ධය අවසානයට මිනිත්තු කිහිපයක් තිබිය දී ගයන්ත ඉද්දමල්ගොඩ දඬුවම් පහරක් මගින් ලකුණු රැස් කළේ තරගයේ පෙරමුණ නැවතත් ගුවන් හමුදාවට ගෙන එමින්.

පළමු අර්ධය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 08-07 පොලිස් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධයත් පළමු අර්ධය මෙන්ම අතපසුවීම් වලින් ගහන අර්ධයක් විය. දෙවන අර්ධයේ දී පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු රැස් කිරීමට ගුවන් නැවියන් ඉඩ ඉතිරි නොකළේ ඔවුන්ට පරාජිතයින්ගේ ප්‍රසාද ලකුණත් අහිමි කරමින්.

ප්‍රිමේෂ් ධනුෂ්ක අවසන් මිනිත්තුවේ දී CR ආරක්ෂක වළලු සුනුවිසුනු කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ ආරම්භක…

දෙවන අර්ධය ආරම්භයත් සමඟ පොලිස් ක්‍රීඩකයින් ප්‍රබල ආක්‍රමණයක් දියත් කළත් මිනිත්තු පහක පමණ පොලිස් උත්සාහය ව්‍යර්ථ කරමින් පන්දුව ඔවුන්ගෙන් උදුරා ගන්නට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් විය.

56 වැනි මිනිත්තුවේ දී ලද අවස්ථාවකින් උපරිම ප්‍රයෝජන ගනිමින් ගයන්ත තවත් වරක් දඬුවම් පහරක් මගින් ලකුණු රැස් කළේ ගුවන් හමුදා කණ්ඩායම තවත් ඉදිරියට රැගෙන එමින්. (ගුවන් 11-07 පොලිස්)

තරගයේ අවසන් හා ජයග්‍රාහී උත්සාහක දිනුම ලෙස සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට පරාක්‍රම රත්නායක නැවත සමත් වුණේ නැවත වතාවක් Line out අවස්ථාවකින් පන්දුව ලබා ගෙන Rolling Maul අවස්ථාවක් මගින් පන්දුව ඉදිරියට රැගෙන යමින්. එහි ප්‍රවර්තනය අපතේ ගියේය. (ගුවන් 16-07 පොලිස්)

පොලිස් ක්‍රීඩකයින් අවසන් මිනිත්තු කිහිපයේ ප්‍රබල සටනක නිරත වුනත් සාර්ථක ලෙස එකදු වතාවක් හෝ ලකුණු රැස් කර ගන්නට ඔවුන් සමත් වූයේ නැත.

අවසන් ලකුණු තත්වය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 16 (2T, 2P) – 07 (1T, 1C) පොලිස් ක්‍රීඩා සමාජය  

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • පොලිස් ක්‍රීඩා සමාජය – කසුන් සුරංග (1T), ජනිත් චන්දිමාල් (1C)
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – පරාක්‍රම රත්නායක (2T), ගයන්ත ඉද්දමල්ගොඩ (2P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<