තිළිණ විජේසිංහ අපරාජිත වාර්තාව නූලෙන් බේරා ගනී

663

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටය අවසන් කරමින් අපරාජිත මහනුවර ක්‍රීඩා සමාජය හා ප්‍රබල නාවික හමුදා ක්‍රීඩා සමාජය තරග වැදුණු අතර සුපිරි සටනකින් පසු ලකුණු 22-20ක් ලෙස සිය අපරාජිත වාර්තාව දිගටම පවත්වා ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. තරගය අද (23) වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

යුධ හමුදාව සහ CR&FC අතර ප්‍රබල සටනක්

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය ලෙස CR&FC කණ්ඩායම සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය රත්මලාන…

තරගය ඉතා උණුසුම් වූ අතර නාවික හමුදාව 78 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කරමින් ජයග්‍රහණය පිළිබඳව බලාපොරොත්තු ගොඩ නගා ගත්තත් අවසන් මිනිත්තුවේ දක්ෂ ලෙස පන්දුව ගුවන් ගත කළ තිළිණ විජේසිංහ නාවික හමුදාවෙන් ජයග්‍රහණය උදුරා ගන්නට සමත් විය.

නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද තරගය නැරඹීමට පැමිණ සිටීම විශේෂත්වයක් වූ අතර නයිජල් රත්වත්ත පා පහරකින් පන්දුව ගුවන් ගත කළේ තරගය ආරම්භ කරමිනි. මහනුවර වෙනුවෙන් ගතවූ සති කිහිපය පුරා සුපිරි දස්කම් දැක්වූ බුවනෙක උඩන්ගමුව අද තරගයට ක්‍රීඩා නොකිරීම පැහැදිලිවම තරගය පුරා කැපී පෙනුණි.

නාවික හමුදා ක්‍රීඩකයින්ගේ අතපසුවීම් දෙකක් උපයෝගී කර ගනිමින් මහනුවර ක්‍රීඩකයින් නාවික හමුදා අර්ධයේ ප්‍රබල ආක්‍රමණයක් දියත් කළේය. පන්දු හුවමාරු කිරීම් රැසකට පසු මහනුවර ක්‍රීඩකයින් උත්සාහක දිනුම් සීමාව අසලටම යාමට සූදානම් වුනත් ලවංග පෙරේරා හට උත්සාහක දිනුම සම්පූර්ණ කිරීමට ලැබුණේ නැත.

පළමු මිනිත්තු කිහිපයේ එල්ල වුණු මහනුවර ආක්‍රමණයෙන් මිදී මිනිත්තු හයකට පසු රදීශ සෙනෙවිරත්න මහනුවර ක්‍රීඩකයින්ගෙන් පන්දුව උදුරා ගැනීමට සමත් විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

අනතුරුව මහනුවර ක්‍රීඩකයින් ප්‍රබල පීඩනයට පත්කරමින් නාවික හමුදා ක්‍රීඩකයින් ප්‍රබල සටනක් දුන් අතර 10 වන මිනිත්තුවේ දී නාවික හමුදා ඉදිරිපෙළ ක්‍රීඩකයින් උත්සාහක දිනුම් සීමාව අසලටම යාමට සමත් වුවත් ඔවුන්ගේ එම උත්සාහක සාර්ථක වූයේ නැත. කෙසේ වෙතත් 11 වන මිනිත්තුවේ දී ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගත් තිළිණ වීරසිංහ තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් විය. (මහනුවර 00-03 නාවික)

නාවික හමුදා ආක්‍රමණයට තනිවම පිළිතුර දුන් විශ්වමිත්‍ර ජයසිංහ Line Out අවස්ථාවකින් ලැබුණු පන්දුවත් සමඟින් පිටිය මැද සිට පවනට බඳු ධාවනයක යෙදුණේ මහනුවර වෙනුවෙන් ලකුණු රැස් කරමිනි. තිළිණ විජේසිංහ අමතර ලකුණු රැස් කිරීමට සමත් විය. (මහනුවර 07-03 නාවික)

නැවත වතාවක් දක්ෂ පන්දු හුවමාරු කිරීම් සමඟින් මහනුවර ක්‍රීඩකයින් උත්සාහක දිනුම් සීමාව අසලටම යාමට සමත් වුවත් යාකුබ් අලී අවසන් පන්දු යොමු කිරීම හරි හැටි ග්‍රහණය කර ගත්තේ නැත.

කෙසේ වෙතත් සිය වැරදි ඉක්මනින් නිවැරදි කර ගත් මහනුවර ක්‍රීඩකයින් මෙවර සියලු දෙනාගේ උත්සාහයෙන් අනර්ඝ උත්සාහක දිනුමක් වාර්තා කළේ මිනිත්තු කිහිපයක් දක්ෂ දක්ෂ ලෙස පන්දුව හුවමාරු කර ගැනීමෙන් අනතුරුවයි. 22 වන මිනිත්තුවේ දී පිටියේ වම් පස කොනේ සිටි ෂෙහාන් පතිරණ ක්ෂණිකව අපහසුවකින් තොරව උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය අතර විජේසිංහ ඉතා අපහසු ප්‍රවර්තනයක් දර්ශනීය ලෙස ගෝල කණු අතරින් ගුවන්ගත කරන්නට සමත් විය. (මහනුවර 14-03 නාවික)

මිනිත්තු කිහිපයක් ලකුණු සඳහා උත්සහ කරමින් ඉදිරියට ඇදුණු නාවික හමුදා ක්‍රීඩකයින් 30 වන මිනිත්තුවේ දී සිය උත්සාහය සාර්ථක කර ගත්තේ චරිත් සිල්වා ගේ සුරතිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට තිළිණ විජේසිංහ සමත් වූයේ නැත. (මහනුවර 14-08 නාවික)

හැව්ලොක් ක්‍රීඩකයින්ට කන්ද උඩරටින් හොඳ සත්කාරයක්

බුවනෙක උඩන්ගමුවගේ උත්සාහක දිනුම් ත්‍රිත්වය හේතුවෙන් 2018 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ බොහෝ දෙනාගේ අවධානයට….

26 වන මිනිත්තුවේ දී රදීෂ සෙනෙවිරත්න දිනා දුන් දඬුවම් පහරක් හා 40 වන මිනිත්තුවේ දී චතුර සෙනෙවිරත්න දිනා දුන් දඬුවම් පහර දෙකක් සාර්ථක කර දීමට තිළිණ වීරසිංහ අසමත් වූයේ අවාසනාවන්ත ලෙසයි.

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 14 (2T, 2C) – 08 (1T, 1P) නාවික හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භ වූ වහාම නාවිකයින් තරගයේ පෙරමුණට පැමිණියේ මොහොමඩ් අබ්සාල්ගේ සුපිරි ක්‍රීඩා විලාශය නිසයි. මහනුවර ක්‍රීඩකයින් දෙදෙනෙක් අතර සිදු වූ පන්දු හුවමාරුවක් මැදින් යමින් පන්දුව උදුරා ගත් අබ්සාල් පහසුවෙන් ධවල රේඛාව ඉක්මවා ගියේ මහනුවර ක්‍රීඩකයින් පුදුම කරමිනි. තිළිණ වෙනුවෙන් පන්දුවට පා පහර දීමේ වගකීම ලබා ගත් චතුර සෙනෙවිරත්න අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (මහනුවර 14-15 නාවික)

නාවිකයින්ට සිනහවකින් පිළිතුර දුන් ෂෙහාන් පතිරණ 45 වන මිනිත්තුවේ දී නැවත මහනුවර වෙනුවෙන් පෙරමුණ දිනා දුන්නේ පහසු උත්සාහක දිනුමක් සමඟිනි. සිය උත්සාහක දිනුම් රේඛාව අසලම Line out අවස්ථාවක් හිමි වුණේ නාවික හමුදාවටයි. නාවික හමුදා ක්‍රීඩකයින් එම අවස්ථාව රැක ගැනීමට අසමත් වූ අතර පන්දුව ෂෙහාන් පතිරණගේ සුරතටම පැමිණියේ වාසනාවන්ත උත්සාහක දිනුමක් ඔහුගේ නමට ලියමිනි. තිළිණ අමතර ලකුණු රැස් කිරීමට සමත් වූයේ නැත. (මහනුවර 19-15 නාවික)  

කෙමෙන් කෙමෙන් තරගය ඉතා උණුසුම් වූ අතර 64 වන මිනිත්තුවේ දී නාවික හමුදා ක්‍රීඩකයෙකුට කහ කාඩ් පතක් හිමි වූයේ මහනුවර කණ්ඩායමට යම් වාසියක් අත් කර දෙමිනි.

75 වන මිනිත්තුවේ දී Line out අවස්ථාවකින් පන්දුව ලබා ගෙන නාවික හමුදා ක්‍රීඩකයින් මහනුවර අර්ධයේ දරුණු ආක්‍රමණයක් දියත් කළ නමුත්  ඉතා ඉවසීමෙන් ක්‍රීඩා කළ මහනුවර ආරක්ෂක ක්‍රීඩකයින් ප්‍රබල පියවර 10කට පමණ පසු පන්දුව උදුරා ගන්නට සමත් විය.

77 වන මිනිත්තුවේ දී මහනුවර ක්‍රීඩා සමාජයේ අශාන් ඩාර්ලින් හට කහ කාඩ්පතක් හිමි වූයේ මහනුවර ක්‍රීඩකයින් ප්‍රබල ගැටළු රැසකට ඇද දමමිනි.

78 වන මිනිත්තුවේ ද නාවික හමුදා ක්‍රීඩකයින් පියවරෙන් පියවර මහනුවර ක්‍රීඩකයින්ට දරුණු තර්ජනයක් එල්ල කළ අතර 78 වන මිනිත්තුවේ දී දිනේෂ් ලක්මාල් නාවික හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් දක්ෂ උත්සාහක දිනුමක් වාර්තා කළේ මහනුවර ආරක්ෂක වළලු සනුවිසුනු කරමිනි. චතුර හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි වූයේ අවසන් මිනිත්තු දෙකේ දී මහනුවරට යම් කිසි අවස්ථාවක් හිමි කර දෙමිනි. (මහනුවර 19-20 නාවික)

මහනුවරට හිමි වූ දඬුවම් පහරක් රත්වත්ත පිටියෙන් ඉවතට එල්ල කළ අතර Line out අවස්ථාවෙන් පන්දුව ලබා ගත් ඔවුන්ට දඬුවම් පහරක් හිමි වූයේ තරගයේ අවසන් මිනිත්තුවේදීයි. මහනුවර කණ්ඩායමේ ඉරණම තිළිණ විජේසිංහ හට භාර වූ අතර අලංකාර ලෙස පන්දුව ගෝල කණු අතරින් පා කළ ඔහු මහනුවර කණ්ඩායමේ අපරාජිත වාර්තාව අවසන් මොහොතේදී බේරා ගන්නට සමත් විය.

අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 22 (3T, 2C, 1P) – 20 (3T, 1C, 1P) නාවික හමුදා ක්‍රීඩා සමාජය

  • මහනුවර ක්‍රීඩා සමාජය – විශ්වමිත්‍ර ජයසිංහ (1T), තිළිණ විජේසිංහ (2C, 1P), ෂෙහාන් පතිරණ (2T)
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය – තිළිණ වීරසිංහ (1P), චරිත් සිල්වා (1T), මොහොමඩ් අබ්සාල් (1T), චතුර සෙනෙවිරත්න (1C), දිනේෂ් ලක්මාල් (1T)   

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<