වරෙක ක්‍රිකට් කරළියේ නැගී එන තරු ලෙස මෙරට ක්‍රීඩාලෝලීන්ගේ නිබඳ ගෞරවාදරයට පාත්‍ර වූ නමුත් ක්‍රමයෙන් ජාතික මට්ටමේ තේරීම් කමිටු වල පෙනෙන මානයෙන් පහතට වැටුණු ක්‍රීඩකයන් රැසක් ශ්‍රී ලංකාව තුළ සිටියි. නැවත වරක් ජාතික කණ්ඩායමට පිවිසීමේ බලාපොරොත්තුවෙන් සිටින එවන් ක්‍රිකට් තරු කිහිපයක් පිළිබඳවයි මේ ආවර්ජනය.

>> ශූරයින් අතර හරඹ පාන්නට සැරසෙන කළු අශ්වයෝ (I කොටස)

1: ලහිරු තිරිමාන්න.

Lahiru thirimanneශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට එදා මෙදා තුර බිහිවුණු වඩාත්ම තාක්ෂණයෙන් අනූන වමත් පිතිකරුවන් අතර ඉහළ ස්ථානයකට හිමිකම් කියන ලහිරු තිරිමාන්න බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ මතකයේ රැඳී තිබෙන්නේ කුමාර් සංගක්කාරගේ පිතිකරණ රටාව  හා බොහෝ සෙයින් සමානකම් දක්වන අලංකාර ‘කවර් ඩ්‍රයිව්’ පහර හේතුවෙනුයි. අනාගතයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පවා ඔහු සුදුස්සෙකු බවට මෙරට තේරීම් කමිටු බලධාරීන් විශ්වාස තබා තිබූ බව තහවුරු වන්නේ තිරිමාන්න ශ්‍රී ලංකා ක්‍රිකට් උප නායක ලෙස නම් කිරීම හේතුවෙන්. කෙසේ වෙතත් දිගින් දිගටම පිත්තෙන් අසාර්ථක වීම හේතුවෙන් ටෙස්ට්, එක්දින මෙන්ම පන්දුවාර 20 කණ්ඩායම් කිසිවක ස්ථානයක් නොමැති තත්ත්වයකට පත් වන්නට ඔහුට සිදු විය.

වරෙක ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ සවිමත් කිරීම සඳහා ස්ථාවර දායකත්වයක් බලාපොරොත්තු විය හැකි ක්‍රීඩකයෙකු වූ ලහිරු තිරිමාන්න එක්දින පිටියේ වසර කිහිපයක් තුල ශතක 4ක් සහ අර්ධ ශතක 16ක් වාර්තා කර තිබෙන නමුත්, අනෙක් තරග රටා දෙක තුල දී ඔහු ස්ථාවර දක්ෂතා අතර නොසිටි බව පිළිගත යුතුය. පසුගිය 2016 වසරේ ජුනි මාසයේදී ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් ක්‍රිකට් තරගය තිරිමාන්නගේ අවසන් ජාතික නියෝජනය වූ අතර එහි දී ඔහු රැස් කළේ ලකුණු 17ක් පමණි. එතැන් පටන් දේශීය ක්‍රිකට් පිටියේ ද ඉහළ දස්කම් අතරට පැමිණෙන්නට ඔහු අසමත් වීම ජාතික කණ්ඩායමේ ස්ථානය පිළිබඳ බලාපොරොත්තු තවත් ඈත් කිරීමට හේතුවක් වී තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන්ගේ අස්ථාවරත්වය පිළිබඳ ගැටලුව තවමත් සම්පූර්ණයෙන් විසඳී නැත. එබැවින් තම හැකියාව නිසි අයුරින් ප්‍රදර්ශනය කරමින් සාර්ථක දේශීය තරග වාරයක් අවසන් කරන්නට සමත් වුවහොත් නැවත ජාතික කණ්ඩායමට කැඳවුම් ලබන්නට ලහිරු තිරිමාන්නට අවස්ථාවක් නොමැත්තේ නොවේ.

2: ජීවන් මෙන්ඩිස්.

Jeevan medisතම ජීවිතයේ සිව් වන දශකය ගෙවා දමන ජීවන් මෙන්ඩිස් ක්‍රීඩාවේ විශ්‍රාම ගැනීමේ සමයට වඩාත් ආසන්න වෙමින් සිටිය ද, ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ අවධානය දිනා ගන්නා දක්ෂතා ප්‍රදර්ශනය කිරීම තවමත් අවසන් කර නැත. තිස් වන වියට ආසන්න වෙද්දී ආරම්භ වූ ඔහුගේ ජාත්‍යන්තර එක්දින තරග දිවිය බලාපොරොත්තු වූ තරම් සාර්ථකත්වයක් අත් දුටුවේ නැති අතර තරග 54ක දී වරින් වර වේගවත් ඉනිම කිහිපයක් ගොඩ නැගුව ද, ජීවන් වාර්තා කර තිබෙන්නේ එක් අර්ධ ශතකයක් පමණි. එම තරග 54 තුළ කඩුලු 28ක් දවා ගනිමින් පන්දු යවන්නෙකු ලෙස වඩාත් ඉහළ දායකත්වයක් ලබා දී තිබුණ ද, ශ්‍රී ලංකා තේරීම් කමිටුව ඔහුගෙන් බලාපොරොත්තු වූ දායකත්වය වූයේ දිගින් දිගටම අසාර්ථක වන පහළ මැද පෙළ සවිමත් කළ හැකි පිතිකරුවෙකු ලෙසයි. එම වගකීම ඔහුගෙන් ඉටු නොවීමත් සීක්කුගේ ප්‍රසන්න ගේ ආගමනයත් සමඟ ජීවන් මෙන්ඩිස් හැර 2015 පෙබරවාරි මාසයෙන් පසු ජාතික කණ්ඩායමක ස්ථානයක් සොයා ගැනීමට නොහැකි විය.

2016 ඔක්තෝබර් මාසයේ දී එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමඟ ජීවන් ගිවිසුම් ගත වුනේ 2017 තරග වාරය සඳහා එම කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයෙකු ලෙසයි. ස්පෙක්සේවර්ස් දෙවන කාණ්ඩයේ දේශීය තරගාවලිය තුල පා දඟ පන්දු යවන්නෙකු ලෙස දස්කම් දක්වන්නට සමත්ව සිටින ඔහු මේ වන විට තරග 4ක දී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 19ක්.

  1. අකිල ධනංජය.

Akila Dhananjayaශ්‍රී ලංකා කණ්ඩායම අසාමාන්‍ය දඟ පන්දු යවන්නන් සොයා ගැනීම පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන අතර අකිල ධනංජය ද එවන් තවත් සොයා ගැනීමකි. වෘත්තීය මට්ටමේ එකදු තරගයක් හෝ ක්‍රීඩා කර නොතිබූ නමුදු, 2012 වසරේ පන්දුවාර 20 ලෝක කුසලාන මූලික සංචිතයට ඔහුට කැඳවීමක් ලද අතර, යම්කිසි මතබේධාත්මක තත්ත්වයක් පවා උද්ගත කරන්නට එම තීරණය හේතු විය. එවක බොහෝ දෙනා හට තිබූ ගැටලුවක් වූයේ අකිල පාදඟ පන්දු යවන්නෙක් ද? නැතහොත් පිට දඟ පන්දු යවන්නෙකු ලෙස හැඳින්විය හැකි ද? යන්නයි. ඔහුට ගුග්ලි පන්දු සහ ‘කැරම් බෝල්ස්’ ලෙස හඳුන්වන ආකාරයේ පන්දු යැවීමට මෙන්ම දූස්රා සහ ස්ටොක් පන්දු යැවීමේ හැකියාව ද තිබීම ඊට හේතුවයි. අකිලගේ සුරංගනා කතාවක් බඳු ජාත්‍යන්තර ආගමනය සඳහා හේතු සාධක වුනේ වරෙක පුහුණු සැසියක් තුල දී තම හැකියාව මගින් එවක කණ්ඩායමේ නායකත්වය දැරූ මහේල ජයවර්ධනගේ අවධානය දිනා ගැනීමට සමත් වීමයි.

අනතුරුව පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දැක්වූ ඉහළ දස්කම් පදනම් කර ගනිමින් 2012 ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලිය සඳහා නම් කළ අවසන් ශ්‍රී ලංකා සංචිතයට පමණක් නොව අවසන් ක්‍රීඩකයන් 11 දෙනා අතරට ද සුදුසුකම් ලැබූ අකිල එම තරගාවලිය තුල දී ද කැපී පෙනෙන දස්කම් ප්‍රකට කරන ලදි. ශ්‍රී ලංකාව පරාජය වූ අවසන් මහා තරගයේ දී ද ඔහු අගනා පන්දු වාර 3ක් ක්‍රියාත්මක කළ අතර තරගාවලිය තුල තරග 3 ක දී කඩුලු 5ක් බිඳ දමන්නට සමත් විය. කෙසේ වෙතත් එම තරගාවලියෙන් අනතුරුව කණ්ඩායමේ ස්ථානයක් සොයා ගැනීම අකිලට එතරම් පහසු කාර්යයක් නොවූ අතර ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තවමත් පන්දුවාර 20 තරග 5 කට සහ එක්දින තරගයකට සීමා වී තිබේ. එනමුදු තවමත් සිය උත්සාහය අත්හැර නොමැති අකිල දිගින් දිගටම ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරමින් සිටින්නේ දේශීය ක්‍රිකට් පිටියේ දක්වන ඉහළ දක්ෂතා හේතුවෙනුයි.

  1. කිතුරුවන් විතානගේ.

Vithanageස්වභාවයෙන්ම ආක්‍රමණශීලී වමත් පිතිකරුවකු වන කිතුරුවන් විතානගේ සිය ජාත්‍යන්තර ක්‍රිකට් ගමන් මග ආරම්භ කළේ 2013 වසරේ බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගයකිනි. එම තරගයට පෙර එම ප්‍රතිවාදීන් සමඟම පැවති පුහුණු තරගයක දී ශතකයක් රැස් කරමින් කණ්ඩායමේ දොරගුළු විවර කර ගත් ඔහුට පළමු ජාත්‍යන්තර පන්දුවට මුහුණ දීම සඳහා සිය මංගල ටෙස්ට් තරගයේ අවසන් දිනය වන තෙක් බලා සිටින්නට සිදු විය. ලකුණු වර්ෂාවක් ඇදහැළුණු ගාලු ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දී අංක 4 ස්ථානය දක්වා උසස්වීමක් ලබා පිටියට පිවිසි කිතුරුවන් තම තෝරා ගැනීමට සාධාරණය ඉටු කළේ පන්දු 70ක් තුල ලකුණු 59ක් ලබා ගනිමිනුයි.

විමතියට කරුණ වන්නේ ඔහු සීමිත පන්දුවාර තරග තුල දී සිය දස්කම් ප්‍රකට කිරීමට අපොහොසත් වීමයි. හොඳ ආරම්භයක් ලබා ගැනීමෙන් පසු තම කඩුල්ල පූජා කිරීමේ ස්වභාවය හේතුවෙන් සීමිත පන්දුවාර කරළියේ කිතුරුවන් නාමය ස්ථාවර කර ගැනීමට නොහැකි වුවද පසුව බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් ශතකයක් වාර්තා කරන්නට ඔහු සමත් විය. කෙසේ වෙතත් පිත්තේ අසාර්ථකත්වයත්, පිටියෙන් එපිට සිදු වූ ඇතැම් විනය හා සම්බන්ධ සිදුවීම් කිහිපයක් ද ඔහුගේ ජාත්‍යන්තර තරග බලාපොරොත්තු දිගින් දිගටම ඈත් කරන්නට හේතු වී තිබේ. මෙවර අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ඉනිම 15ක් තුල ලකුණු 500 සීමාව යන්තමින් පසු කර ගිය කිතුරුවන් තම පිත්තේ ශක්තිය මෙන්ම ක්‍රිකට් පිටියෙන් එපිට දිවියේ සංයමය ද දියුණු කර ගනිමින් නැවත කණ්ඩායම සමඟ එක්වීමේ බලාපොරොත්තුවෙන් පසු වනු ඇත.

5.අජන්ත මෙන්ඩිස්.

Ajantha Mendisසිය ජාත්‍යන්තර ක්‍රිකට් ආගමනය ලොව පුරා බොහෝ පිතිකරුවන්ට නපුරු සිහිනයක් බවට පත් කිරීමට සමත් වූ අජන්ත මෙන්ඩිස් පිළිබඳ මෙරට බොහෝ ක්‍රීඩාලෝලීන් විශ්වාසය තැබුවේ මුත්තයියා මුරලිදරන් ඉතිරි කර ගිය දැවැන්ත හිඩැස පිරවීමේ අනුප්‍රාප්තිකයා ලෙසයි. ඔහුගේ මූලික අදියරේ සාර්ථකත්වය සඳහා ප්‍රධානතම හේතුවක් බවට පත් වුනේ ඔහු සතු දැවැන්ත විවිධත්වයකින් සමන්විත පන්දු යැවීමේ ක්‍රමවේදයි. අජන්තගේ පිට දඟ පන්දු, ටොප් ස්පින් පන්දු, කැරම් පන්දු සහ ගුග්ලි පන්දු මෙන්ම කිසිඳු දඟ කැවීමකින් තොර පන්දු හමුවේ ද ලොව විශිෂ්ටතම පිතිකරුවන් පරාජය වී ඇත්තේ වරක් දෙවරක් නොවේ. කෙසේ වෙතත් කෙමෙන් කෙමෙන් ඔහුගේ පන්දු යැවීමේ ක්‍රමවේදය පිතිකරුවන් විසින් හඳුනා ගැනීමත් සමඟ දිගින් දිගටම තම සුපුරුදු දස්කම් ප්‍රකට කිරීමට ඔහු අසමත් විය.

සිය ඉහළම දස්කම් අතර සිටි සමයේ ටෙස්ට් වරම් ලද අජන්ත මෙන්ඩිස් එම තරගාවලිය අවසන් කළේ කඩුලු 26ක් සමඟ මංගල ටෙස්ට් තරගාවලියේ දී පන්දු යවන්නෙකු දැක්වූ හොඳම දස්කමේ වාර්තාව ද තමන් සතු කර ගනිමිනුයි. එමෙන්ම ඔහුගේ ජාත්‍යන්තර තරග දිවියේ තවත් අමතක නොවන අත්දැකීමක් වන්නේ 2008 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ප්‍රබල ඉන්දීය පිතිකරුවන් 6 දෙනෙකුගේ ඉනිම අවසන් කරමින් ශූරතාවට මග විවර කරවීමයි.

ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් තරගයක දී එක පන්දු යවන්නකුට හිමි වන පන්දු වාර 4 තුල කඩුලු 6ක් දවා ගැනීම ඉතා දුර්ලභ දක්ෂතාවකි. ක්‍රිකට් ඉතිහාසයේ ම එවන් අවස්ථා 3ක් පමණක් වාර්තා වී ඇති අතර ඉන් අවස්ථා දෙකකම හිමිකාරිත්වය දරන්නේ අජන්ත මෙන්ඩිස් විසිනුයි. ලොව හොඳම ජාත්‍යන්තර පන්දුවාර 20 පන්දු යැවීම ලෙස ඔහු සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 8කට කඩුලු 6ක් දවා ගැනීම සටහන් වෙයි. ආබාධ සහ අඩු දස්කම් හේතුවෙන් දීර්ඝ කාලීනව කණ්ඩායමේ ස්ථානයක් හිමි කර ගැනීමට නොහැකි වූ නමුත් රංගන හේරත් තම ක්‍රිකට් දිවියේ අවසානයට ලඟා වීමත් සමඟ අජන්ත මෙන්ඩිස් හට යලිත් කණ්ඩායමේ දොරගුළු විවර කර ගැනීමේ මාර්ගයක් මතු වෙමින් තිබේ. කෙසේ වෙතත් අබිරහස් දස්කම්වලට වඩා මොළයෙන් ක්‍රීඩා කරන පන්දු යවන්නෙකු වීමට ඔහු අවධානය යොමු කළහොත් එය අජන්තගේ පෞද්ගලික මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට ද ප්‍රයෝජනවත් වනු ඇත.

  තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න