සොහොයුරන්ගේ මංගල තරගයේ විසඳුමක් නෑ

294

අම්බලන්ගොඩ, කුලීගොඩ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය සහ වතුගෙදර ශ්‍රීපති විද්‍යාලය අතර පැවති පළමු සොහොයුරන්ගේ සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූවා.

මෙම තරගය සැප්තැම්බර් 23 සහ 24 දෙදින අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

මංගල තරගයේ කාසියේ වාසිය දිනාගත් මාදම්පා ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රීපති ක්‍රීඩකයන් සියලු දෙනා දැවී ලකුණු 183ක් රැස් කරගත්තා. එහි දී මංගල මහා තරගයේ මංගල අර්ධ ශතකය වාර්තා කිරීමේ ගෞරවය දිනා ගැනීමට දකුණත් පිතිකරු උවිඳු රන්මිණ සමත් වුනා. ඔහු පන්දු 136කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා.

ඔහුට අමතරව ඉනිමේ අනෙක් වැඩිම ලකුණු ලාභියා වූයේ යසස් චාමිංග. ඔහු පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 32ක් රැස් කරගත්තා. ඊට අමතරව පහන් ඉසුරංග පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 27ක් වාර්තා කරගත්තා.

පන්දු යැවීමේ දී දෙනෙත් සුපුන් සහ සුමේද සම්පත් කඩුලු 2 බැගින් දවා ගන්නා විට හිමේෂ් ද අල්විස්, චමෝද් ද සිල්වා, උමේෂ් ද සිල්වා සහ සිතුම් කල්හාර එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුර ඉනිම සඳහා පිටියට පිවිසි මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයන් සියලු දෙනා දැවී ලකුණු 302ක් වාර්තා කළේ අර්ධ ශතක 3ක් සමඟින්. ඉනිමේ පළමු අර්ධ ශතක ලාභියා වූයේ ආරම්භක පිතිකරු උමේෂ් ද සිල්වා. ඔහු පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 53ක් රැස් කරගත්තා.

අනතුරුව කේශාන් දිල්හාර පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 67ක් වාර්තා කරගන්නා විට දෙනෙත් සුපුන් පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 56ක් රැස් කරගැනීමට සමත් වුනා.

සුමේද සම්පත් පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 37ක් රැස් කරගත් අතර හිමාෂ ද සිල්වා ද පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් වාර්තා කරගත්තා.

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යැවූ ජනිඳු අනුහස් ලකුණු 45කට කඩුලු 4ක් දවා ගත්තා. එය මංගල තරගාවලියේ හොඳම පන්දු යැවීම බවට ද පත්වුනා. ඊට අමතරව මල්ක ඩිල්ශාන් ලකුණු 66කට කඩුලු 2ක් ද සහ සිතුම් අංජන, කළණ දසුන් සහ පන්සිළු පබසර එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 119ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි ශ්‍රීපති ක්‍රීඩකයන් තරගය නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 172ක් රැස් කරගෙන සිටියා. එහි දී පළමු ඉනිමේ දී අර්ධ ශතකයක් වාර්තා කළ උවිඳු රන්මිණ ලකුණු 49ක් රැස් කරගැනීම කැපී පෙනුනා. අර්ධ ශතකය අහිමි වූ එම ඉනිමට ඔහු පන්දු 112ක් වැය කර තිබූ අතර හතරේ පහර 9ක් ද ඇතුළත් වුනා.

පන්දු යැවීමේ දී චමෝද් ද සිල්වා ලකුණු 14කට කඩුලු 3ක් දවා ගත් අතර සහස් අනුපම සහ උමේෂ් ද සිල්වා කඩුලු 2 බැගින් දවා ගත්තා. ඊට අමතරව සිතුම් කල්හාර එක් කඩුල්ලක් දවා ගත්තා.

ශ්‍රීපති මහා විද්‍යාලය – පළමු ඉනිම සියලු දෙනා දැවී 183 (56.2): උවිඳු රන්මිණ 50, යසස් චාමිංග 32, පහන් ඉසුරංග 27, දෙනෙත් සුපුන් 2/27, සුමේද සම්පත් 2/30.

මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම සියලු දෙනා දැවී 302 (58): උමේෂ් සිල්වා 53, කේශාන් දිල්හාර 67, සුමේද සම්පත් 37, හිමේෂ් ද සිල්වා 28, දෙනෙත් සුපුන් 56, ජනිඳු අනුහස් 4/45, මල්ක ඩිල්ශාන් 2/66.

ශ්‍රීපති මහා විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 172 (69): සඳරු දෙව්මිණ 20, උවිඳු රන්මිණ 49, සහස් අනුපම 2/43, චමෝද් ද සිල්වා 3/14, උමේෂ් ද සිල්වා 2/21.

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – කේශාන් දිල්හාර (මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – ජනිඳු අනුහස් (ශ්‍රීපති විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – උවිඳු රන්මිණ (ශ්‍රීපති විද්‍යාලය)
  • තරගයේ වීරයා –  දෙනෙත් සුපුන් (මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය) 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<