නිල් මහා සටන ජය පැරදුමෙන් තොරයි

145th Battle of the Blues 2024

555
145th Battle of the Blues 2024

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන ශ්‍රී ලංකාවේ පැරණිතම මහා ක්‍රිකට් ගැටුම සහ ලොව දීර්ඝතම වාර්ෂික ක්‍රිකට් ගැටුම් අතර ඉහළින් ම වැජඹෙන 145 වැනි නිල් මහා සටන අද (09) ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

තරගයේ තෙවන දිනය වූ අද උදෑසන කඩුලු 7ක් දැවී ලකුණු 234ක් ලබා සිටි රාජකීයයන් සිය ඉනිම තවදුරටත් ක්‍රියාත්මක කළ අතර, පසුව ලකුණු 278ක් ලබා සිටිය දී ඉනිම අත්හිටවීමට ද තීරණය කළා. ඊයේ ලකුණු 29ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටි නෙත්වින් ධර්මරත්න අද ලකුණු 44කට සිය ඉනිම නිමා කළා.

මෙහි දී තෝමසුවන් වෙනුවෙන් අශේන් පෙරේරා කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වීමත් විශේෂත්වයක්.

රාජකීයයන් විසින් ඉනිම නතර කිරීමෙන් පසුව තෝමසුවන් විසින් සිය දෙවන දෙවන ඉනිම ආරම්භ කළ අතර, මෙවරත් තරගය තීරණයක් රහිතව අවසන් වන බව ඒ වන විටත් පැහැදිලිව පෙනෙන්නට තිබුණා.

මේ හේතුවෙන් ගල්කිස්ස සාන්ත තෝමස් පිතිකරුවන් එතරම් ඉක්මනින් ලකුණු කරා යෑමට උත්සාහ නොකළ අතර, දිනය අවසන් වන විට ඔවුන් පන්දුවාර 86ක් තුළ පිතිකරණයේ යෙදෙමින් කඩුලු 4ක් දැවී ලකුණු 226ක් ලබා සිටියා.

මෙහි දී මෙවර තරගවාරයේ වඩාත් කැපී පෙනෙන පිතිකරු යුගලයක් වූ සාන්ත තෝමස් විද්‍යාලයෙ දිනෙත් ගුණවර්ධන සහ නායක මහිත් පෙරේරා අතර ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 104ක සබඳතාවක් පැවැත්වුනා.

එමෙන්ම මෙහි දී දිනෙත් ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වූ අතර, මහිත්ගේ පිත්තෙන් ලකුණු 63ක් වාර්තා වුනා.

එමෙන්ම තරගය අවසන් වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි තිසේන් ඇහැලියගොඩ ලකුණු 31ක් සහ නාතන් කල්දේරා ලකුණු 20ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී රමිරු පෙරේරා විසින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව 145 වැනි වරට පැවැත්වුණු නිල් මහා සටන ජය පරාජයෙන් තොරව නිමා වුනා.

  • හොඳම පන්දු රකින්නා– අශේන් පෙරේරා (සාන්ත තෝමස් විද්‍යාලය)
  • හොඳම පන්දු යවන්නා– අශේන් පෙරේරා (සාන්ත තෝමස් විද්‍යාලය)
  • හොඳම පිතිකරු– සදෙව් සොයිසා (සාන්ත තෝමස් විද්‍යාලය)
  • තරගයේ වීරයා– සිනෙත් ජයවර්ධන (රාජකීය විද්‍යාලය)

පාසල් මහා ක්‍රිකට් තරග පිළිබඳ සියලු විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<