රන් සිහ ගැටුමේ පළමු දිනයේ වාසිය රාහුලයන්ට

51
13th Battle of the Golden Lions

මාතර රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර 13 වැනි වරටත් පැවැත්වෙන “රන් සිහ ගැටුම” වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී වැඩි දක්ෂතා දැක් වීමට සත්කාරක රාහුල විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූවා. 

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී පළමුවෙන් ම පන්දුවට පහර දුන් සත්කාරක රාහුල විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිම ලකුණු 176කට සීමා කර ගත්ත ද ඔවුන් තරගය පළමු දිනයට නතර කරන විට ප්‍රතිවාදීන්ගේ ඉනිමේ කඩුලු 7ක් ලකුණු 85කට දවා ගැනීමට සමත් වූවා.

Battle of the Golden Lions, මාතර, 05- 06 අප්‍රේල් 2024

o කාසියේ වාසිය – රාහුල විද්‍යාලය

o ක්‍රීඩාංගණය – උයන්වත්ත, මාතර.

රාහුල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: පසිඳු ශෙහාන් (නායක), පවර පබසර (කඩුලු රකින්නා), මිනුග ලක්විරු, රිසිනු ගීනුක, සදෙව් රිත්මක, සසිනු බැට්ටගේ, ජනිරු විජේවර්ධන, සේලක පීරිස්, ඉමෙත් මනම්පේරි, නදිල් සංදේශ්, ඔෂාන් තෙනුක.

ධර්මපාල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: බිසර අංජන (නායක), නුලාන් ලක්විනු, ප්‍රවීන් රන්හිරු (කඩුලු රකින්නා), චිත්ම හිරුන්දක, චිමත් තෙනුජ, නේතමින නිර්මාල්, තිමෝත් පතිනායක, රවිඳු කොළඹගේ, අනුහස් ඇල්දෙණිය, චිතුම් බැද්දගේ, මෙනුෂ පබසර.

කාසියේ වාසිය දිනා ගත් රාහුල විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් ඒ සඳහා පිටියට පිවිසිය ද ඔවුන්ට පිටියේ රැදී සිටීමට සිදු වූයේ කාර්තු 2ක් පමණයි. එම කාලයේ දී ඔවුන්ගේ ඉනිම ලකුණු 176කට සීමා වූවා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු පවර පබසර යි. ඔහු පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 51ක් ලබා ගන්නවා.

ඊට අමතර ව සේලක පීරිස් පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 37ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී නෙත්මිණ නිර්මාල් ලකුණු 27කට කඩුලු 4ක් දවා ගන්නා ලද අතර මෙනූෂ පබසර ලකුණු 26කට කඩුලු 3ක් දවා ගන්නවා. ඊට අමතර ව බිසර අංජන, අනුහස් ආදිත්‍ය සහ චිතුම් බැද්දගේ කඩුල්ල බැගින් බෙදා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 85ක් ලබා සිටියා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ රවිඳු කොළඹගේ මේ වන විට පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ලබා නොදැවී පිටියේ රැදී සිටිනවා.

ඊට අමතර ව නුලාන් ලක්විඳු සහ චිත්ම හිරන්දක ලකුණු 14ක් බැගින් ලබා තිබෙනවා.

කඩුලු දවා ගැනීමේ දී ඔශාන් තේනුක ලකුණු 2කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූ අතර සදෙව් රතිමක ද ලකුණු 24කට කඩුලු 2ක් දවා ගත්තා.

ඊට අමතර ව රිසිනු ගීනුක සහ ඉමෙත් මනම්පේරි කඩුල්ල බැගින් බෙදා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

රාහුල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 176 (54.4) පවර පබසර 51, සදෙව් රිත්මක 25, සේලක පීරිස් 37, නෙත්මිණ නිර්මාල් 4/27, මෙනූෂ පබසර 3/26

ධර්මපාල විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 85 (33.1) රිසිඳු කොළඹගේ නොදැවී 28, ඔශාන් තේනුක 3/02, සදෙව් රිත්මක 2/24

මෙම තරගය (06) දෙවැනි දිනයටත් ක්‍රියාත්මකයි.

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<