විරු සටනේ 22ක් පළමු දිනයේ ම හාන්සියි

35th Battle of the Hero

69
35th Battle of the Hero

බලපිටිය රේවත විද්‍යාලය සහ සිද්ධාර්ථ විද්‍යාලය අතර 35 වැනි වරටත් පැවැත්වෙන “බලපිටි විරු සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වන විට කණ්ඩායම් 2 ම කඩුලු 22ක් ක්‍රීඩාගාර ගත කිරීමට දෙපිලේ පන්දු යවන්නෝ සමත් වූවා.

මෙම තරගය අද (05) බලපිටිය ගුරු අභ්‍යාස විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී ආරම්භ වූවා.

Battle of the Hero, බලපිටිය, 05-06 අප්‍රේල් 2024

o කාසියේ වාසිය – සිද්ධාර්ථ විද්‍යාලය

o ක්‍රීඩාංගණය – ගුරු අභ්‍යාස විද්‍යාලයීය ක්‍රීඩාංගණය, බලපිටිය.

රේවත විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: දිනුර නෙත්මිණ (නායක), අමීෂ ඉහළගේ, ගොවිඳු නිසංසල, පූර්ණ රණයුරු, සදීශ නිර්මාල්, සෙතික පෙරේරා, ගිම්හාන් දිම්සර, යොහාන් සෙනුර (කඩුලු රකින්නා), කවීෂ සම්පත්, ලවිඳු සත්සර, සුදේශ මල්සර.

සිද්ධාර්ථ විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: කවීෂ් චමල්ක (නායක) සත්රු කවීජ්, වතික සුපේශල, වගීෂ හේශාන්, විසල් ගිම්හාන්, ජයත් මෙන්ඩිස්, නදිජ නිම්සර (කඩුලු රකින්නා), ගයාන් ද සොයිසා, ඩිල්ශාන් මිහිරංග, ජැක් ශාක්‍ය, නිරෝෂ් නිම්සර.

කාසියේ වාසිය දිනා ගත් සිද්ධාර්ථ විද්‍යාලයිය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත්ත ද එය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 91කට සීමා වූවා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ජයත් මෙන්ඩිස්. ඔහු පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා.

ඊට අමතර ව ගයාන් ද සොයිසා සහ ජැක් ශාක්‍ය ලකුණු 10 බැගින් රැස් කළ අතර අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු අතරට පිවිසිමට රේවත පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

කඩුලු දවා ගැනීමේ දී නායක දිනුර නෙත්මිණ ලකුණු 16කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ආරම්භක වේග පන්දු යැවූ කවීෂ සම්පත් ද ලකුණු 20කට කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතර ව සෙතික පෙරේරා සහ ගිම්හාන් දිම්සර කඩුල්ල බැගින් බෙදා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි රේවත ඉනිම ද ලකුණු 138කට සීමා කිරීමට සිද්ධාර්ථ ක්‍රීඩකයෝ සමත් වූවා.

රේවත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ගිම්හාන් දිම්සර යි. ඔහු පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා.

රේවත විද්‍යාලයීය ආරම්භක පිතිකරු අමීෂ ඉහළගේ විශ්වසවන්තනීය ඉනිමක් ගොඩ නගමින් සිටිය ද අනවශ්‍ය කලබලයක් හේතුවෙන් ඔහුගේ ඉනිම අවසන් වූවා. ඒ වෙද්දී ඔහු පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුනු 30ක් ලබා සිටියා.

රේවත විද්‍යාලයීය ඉනිම ඒ තරමින් පාලනය කිරිමේ දී ගයාන් ද සොයිසා සහ කවිෂ් චමල්ක කඩුලු 3ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා. ඊට අමතර ව ජැක් ශක්‍ය කඩුලු 2ක් ද සහ ජයත් මෙන්ඩිස් සහ නිරෝෂ් නිම්සර කඩුල්ලක් බැගින් ද දවා ගත්තා.

ලකුණු 47ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි සිද්ධාර්ථ විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට අවසන් වෙන විට කඩුලු 2ක් දැවී ලකුණු 28ක් ලබා සිටියා.

එම ඉනිම වෙනුවෙන් මේ වන විට පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ලබා සිටින විසල් ගිම්හාන් නොදැවී පිටියේ රැදී සිටිනවා.

සිද්ධාර්ථ ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වය කවීෂ සම්පත් හිමිකර ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

සිද්ධාර්ථ විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 91 (26.3) ජයත් මෙන්ඩිස් 45, කවීෂ සම්පත් 2/20, දිනුර නෙත්මිණ 5/16

රේවත විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 138 (35.3) අමීෂ ඉහළගේ 30, ගිම්හාන් දිම්සර 41, කවීෂ් චමල්ක 3/53, ජැක් ශාක්‍ය 2/14, ගයාන් ද සොයිසා 3/23

සිද්ධාර්ථ විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 28 (12.0) විසල් ගිම්හාන් නොදැවී 22, කවිෂ සම්පත් 2/12

තරගය හෙට (6) දෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි.

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<