අයි.ඕ.සී.ට අනුව රෙගුලාසි වෙනස් කරන තෙක් අපි සටන අත්හරින්නේ නැහැ – ඔලිම්පික් කමිටු සභාපති

105

ක්‍රීඩා පනත සංශෝධනය කිරීමේදී ඊට ඇතුළත් කර තිබූ රෙගුලාසි මෙරට ක්‍රීඩාවට ඉතාමත්ම හානිකර බව තේරුම්ගත් බැවින් ඒ බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවද (අයි.ඕ.සී.) දැනුවත් කරමින් ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ සෘජුවම ගැටුමකට ගිය බවත් ජාතික සංගම්වල ස්වාධීනත්වයට ඉතාමත් අහිතකර ලෙස බලපාන හඳුනාගත් රෙගුලාසි 10ක් ඉවත් කර ගන්නා තුරු කෙරෙන එම සටන තවමත් අත්හැර නොමැති බවත්, ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පැවැසීය.

පවතින සංශෝධිත ක්‍රීඩා පනතේ අඩංගු කාරණා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය හා ජාතික ඔලිම්පික් කමිටුව අතර පවතින අර්බුදයේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමේ අරමුණින් ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔලිම්පික් කමිටු සභාපතිවරයා එසේ ප්‍රකාශ කළේය.

එකී අහිතකර රෙගුලාසි හඳුනාගත් දවසේ සිට ක්‍රීඩා අමාත්‍යාංශයත් සමඟ සාකච්ඡා කොට ඒවා නිවැරදි ලෙස සකස් කිරීමට උත්සාහ කළද ජාතික ඔලිම්පික් කමිටුවට අනුබද්ධව සිටින ජාතික සංගම්වලින් බහුතරයක් ඒ මොහොතේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන ලද ක්‍රියාමාර්ගයට අනුබල දීමද මෙම ප්‍රශ්නය දුරදිග යෑමට ප්‍රධානම හේතුව වූ බවද ප්‍රනාන්දු මහතා කීය.

“දේශපාලනයේදී වගේ දෑත් ශක්තිමත් කරන්න ගිහිල්ලයි එහෙම වුණේ. හිටපු ඇමැතිතුමා ගැන කතා කරනකොට අපට ගොඩාක් විවේචන තිබුණා. ඒත් වැඩක් කරන්න පුළුවන් පුද්ගලයෙක්. නමුත් සමහර ජාතික සංගම්වල නිලධාරීන් ඒ මනුස්සයාව විනාශ කළා. නමුත් අපි මේ දේවල් කරන්න එපා කියලා හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාට කියන්න උත්සාහ කළා. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් ප්‍රශ්න එනව කීවම ඇහැව්වෙත් නැහැ. මොකද එතුමා වටකරගෙන හිටපු පිරිස් විසින් නොමඟ යැව්වා. නමුත් හිටපු ඇමැතිවරයා සද්භාවයෙන් කමිටුවක් පත්කර සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් දකින තැනට ආවාම රජය වෙනස් වුණ නිසා ඒක ඇනහිටියා. පසුව නව ක්‍රීඩා ඇමැතිවරයා පත්වීමෙන් පසුව එතුමාටත් නොයෙක් පිරිස් ගිහිල්ලා මේ ප්‍රශ්නය විකෘති කරලා පෙන්නුවා. ඒ නිසා තමයි එතුමා වැඩ භාරගන්නා විට මට අන්තර්ජාතික නීතිරීතිවලින් වැඩක් නැහැ කීවේ. නමුත් අපේ ඔලිම්පික් කමිටුව මේ ගැන අමාත්‍යාංශය සමඟ දීර්ඝව සාකච්ඡා කිරීමෙන් පසුව නව අමාත්‍යවරයා යථාර්ථය තේරුම් ගෙන තිබෙන නිසා තව සති දෙක තුනකින් මේ ප්‍රශ්නය විසඳේවි. ඒ නිසා නිල කාලය වසර 4ක සීමා කරපු රෙගුලාසිය ඇතුළු ප්‍රධාන කාරණා 10ක් විස¼දාගන්නා තුරු අපි අඩියක්වත් පස්සට ගන්නේ නැහැ. අයි.ඕ.සී. කියපු විදියට ජාතික සංගම්වල ව්‍යවස්ථා වෙනස් කරලා නොවෙයි නව නිලවරණ පවත්වන්නේ. ඒ නිසා නව රෙගුලාසිවලට එකඟ වුණොත් නැවත නිලවරණ පවත්වනවාද කියන ප්‍රශ්නයට විසඳුම ලබා දිය යුත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයයි” යනුවෙන් ඔලිම්පික් කමිටු සභාපතිවරයා පැවැසීය.