පාසල් රග්බි පිටියේ පෙරළිකාර රග්බි කණ්ඩායමක් වන කටුගස්තොට සාන්ත අන්තෝනි රග්බි කණ්ඩායම මෙවර තරග වාරයට නවමු මුහුණුවරකින් සුදානම් වෙනවා. 2020 දශකය සාන්ත අන්තෝනි ඉතිහාසයේ ස්වර්ණමය අකුරින් ලියන්නට ඔවුන්ට හැකි වෙයි ද?

අතීතයෙන් බිඳක්

සුපිරි රග්බි ක්‍රීඩකයින්ගේ පාරාදීසයක් වුනු මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය රග්බි ක්‍රීඩාවට පිවිසෙන්නේ 1950 දශකයේ දීයි. 1961 වසරේ සිට ප්‍රබල ලෙස පාසල් රග්බි ලීග් තරගාවලියට අවතීර්ණ වුණු ඔවුන් 2001 වසර සිය පාසල් ඉතිහාසයේ ස්වර්ණමය අකුරින් ලියන්නට සමත් වුනා.

නැවුම් අත්දැකීම් සමඟින් ශූරතාවයට විද්‍යාර්ථය සූදානම්

තියුණු සටහනකින් පසුව A කාණ්ඩයේ දොරගුළු විවෘත කර ගත් මහනුවර විද්‍යාර්ථ කණ්ඩායම නව දශකයේ සිය පළමු ලීග්….

පෙරළිකාරයින් ලෙස නමක් දිනා ගත් ඔවුන් අගනුවර පාසල් මෙන්ම මහනුවර පාසල් ද සුනුවිසුනු කරමින් 2001 වසරේ අන්තර් පාසල් ලීග් රග්බි ශූරතාව තමන් සතු කර ගන්නට ඔවුන් සමත් වුනා. විජයග්‍රාහී සාන්ත අන්තෝනි කණ්ඩායමේ නායකත්වය දැරුවේ ටිකිරි දිසානායකයි.

ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ද සාන්ත අන්තෝනි විද්‍යාලයෙන්  බිහි වුනා. ශ්‍රී ලංකා රග්බි පිටියේ නොමැකෙන නාමයක් වන ප්‍රියන්ත ඒකනායක සාන්ත අන්තෝනි විද්‍යාලයෙන් බිහි වූ සුපිරි තරුවක්. 

සාන්ත අන්තෝනි විද්‍යාලයෙන් බිහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ද දරන්නට තරම් ඔහු වාසනාවන්ත වුනා. වත්මනේ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමට තේරී එහි සුපිරි දස්කම් දක්වමින් ජාත්‍යන්තර පැසසුම් දිනා ගත් CR කණ්ඩායමේ දිනුක් අමරසිංහ ද සාන්ත අන්තෝනි නිෂ්පාදනයක්.  

පසුගිය තරග වාරය

පසුගිය තරග වාරය සාන්ත අන්තෝනි කණ්ඩායමට එතරම් සුභදායී නම් වුනේ නැහැ. මොහොමඩ් මකාරීම්ෙගේ නායකත්වයෙන් තරග වැදුණු සාන්ත අන්තෝනි කණ්ඩායම පලඟ ශුරතාවයේ ඔවුන් ක්‍රීඩා කළ තරග පහෙන් ජය ගත්තේ තරග තුනක් පමණයි. ඔවුන් පලඟ ශුරතාවයේ තුන්වැනි ස්ථානය දිනා ගනිමින් කෙසේ හෝ A කාණ්ඩයේ රැඳී සිටින්නට සමත් වුනා.

තිරුෂ ඒකනායක මෙන්ම ශෂික විජේවර්ධන සාන්ත අන්තෝනි කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දක්වන්නට සමත් වුණු අතර ඔවුන් දෙදෙනා වැඩිම උත්සාහක දිනුම් ලාභීන්ගේ ලැයිස්තුවට ද ඇතුල් වෙන්නට සමත් වුනා. ඒ උත්සාහක දිනුම් හතර බැගින් වාර්තා කරමින්. 

තිරුෂ ඒකනායක පලඟ ශුරතාවයේ වැඩිම ලකුණු ලැයිස්තුවේ පළමු ස්ථානයේ දිනා ගත්තේ ලකුණු 53ක් තමන්ගේ නමට සටහන් කර ගනිමින්. ඔහු තරගාවලිය පුරා ලකුණු 69ක් සටහන් කරගෙන තිබුණේ පන්දුවට පා පහර දීමේ දී ද සුපිරි දස්කම් දක්වමින්. 

මෙවර තරග වාරය

සිය පස්වන වසර ක්‍රීඩා කරන අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන මතිෂ් අමරසිංහ මෙවර කණ්ඩායමේ භාරගෙන කටයුතු කරනවා. වසර පහක අත්දැකීම් සමඟින් කණ්ඩායමේ ඉදිරිපෙළ සවිමත් කරන ඔහු Line out අවස්ථාවල දී ගුවන්ගත වී පන්දුව ලබා ගැනීමට උපන් හපන්කම් ඇති ක්‍රීඩකයෙක්. 

ප්‍රතිවාදීන්ගේ Lineout අවස්ථා උදුරා ගැනීමට මෙන්ම ප්‍රතිවාදීන් මර්දනය කරමින් ධාවනයේ යෙදීමටත් අතිදක්ෂ ඔහු මෙවර කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක් වනු ඇත. මතිෂ්ගේ සොයුරන් වන දිනුක් අමරසිංහ හා රුවන් අමරසිංහ ද සාන්ත අන්තෝනි කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කර තිබීම විශේෂත්වයක්. 

2017 වසරේ සාන්ත අන්තෝනි කණ්ඩායම මෙහෙය වූ දිනුක් ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වන අතර ඔහු CR&FC කණ්ඩායම නියෝජනය කරන්නේ සෙන්ටර් ස්ථානයේ වගකීම භාර ගනිමින්. 

මතිෂ් සාන්ත අන්තෝනි විද්‍යාලයේ වයස අවුරුදු 12 හා 14න් පහළ කණ්ඩායම් ද මෙහෙයවූ අතර 2015 වසරේ දී ඔහුගේ නායකත්වයෙන් සාන්ත අන්තෝනි වයස අවුරුදු 14න් පහළ රග්බි කණ්ඩායම සමස්ත ලංකා ශුරතාවය ද දින ගත්තා.සිය සොයුරන්ගේ අඩිපාරේ යමින්, අතීත මතකයන් අලුත් කරමින් නායකත්වයේ අත්දැකීම් ද උපයෝගී කර ගනිමින් නව දශකයේ සුපිරි දස්කම් පෙන්වන්නට ඔහුට හැකි වෙයි ද?
නවක කණ්ඩායමක් වුනත් අත්දැකීම් බහුල ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම කණ්ඩායමේ වගකීම් භාරගෙන කටයුතු කරන්නේ මෙවර තරගාවලියේ සාන්ත අන්තෝනි ජයග්‍රහණය අපේක්ශාවෙනුයි. 

හැරී එම්මානුවෙල් ස්ක්‍රම් හාෆ් ස්ථානයේ කණ්ඩායම සවිමත් කරන අතර කණ්ඩායමේ ඉදිරිපෙළ හා පසුපෙළ මනා ලෙස පාලනය කිරීම ඔහුගේ ප්‍රධානතම වගකීමයි. යොවුන් ඉදිරිපෙළ පාලනය කිරීමේ වගකීම ද දරන ඔහු ස්ක්‍රම් හාෆ් ක්‍රීඩකයෙකුටම උචිත කුඩා ක්‍රීඩකයෙකු වන අතර ක්ෂණිකව ප්‍රතිවාදී ආරක්ෂක වළලු වලින් රිංගා යන්නටත්, ක්ෂණික තීරණවලින් පන්දුව යන දිශාව තීරණය කිරීමටත් ඔහු උපන් හපන්කම් ඇති ක්‍රීඩකයෙක්.

කිරුළ හිමි කුමාරවරු 100 වැනි වසර කුසලානයකින් සමරයි?

2017, 2018, 2019 වසරේ තුනේ දීම අඛණ්ඩව තෙවරක් පාසල් ලීග් කිරුළට හිමිකම් කියූ කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි……

පසුගිය තරග වාරයේ ක්‍රීඩකයින් 19 පමණ දෙනෙකු කණ්ඩායමෙන් නික්ම යාම නිසා මෙවර සාන්ත අන්තෝනි කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ යොවුන් ක්‍රීඩකයින් ගොන්නක්. ඔවුන් සියලු දෙනාගේ සහය ලබා ගනිමින් කණ්ඩායමේ පසුපෙළ කොඳු නාරටිය ලෙස ක්‍රීඩා කරන්නේ සෙන්ටර් ක්‍රීඩකයෙකු වන මාධව ප්‍රනාන්දු. වේගවත් ධාවකයෙකු වන ඔහු ප්‍රතිවාදීන් මර්දනය කරන්නට උපන් හපන්කම් ඇති ක්‍රීඩකයෙක් ද වෙනවා. ඔහුගේ වේගවත් ක්‍රීඩා විලාසය මෙවර කණ්ඩායමේ ජයග්‍රහණයේ ලා ඉතා වැදගත් වනු ඇත. 

Schools Rugby Schools Rugby මෙවර කණ්ඩායමට නව පුහුණුකරුවෙකු එක්ව තිබෙනවා. වසර අටකට පසුව මහනුවර විද්‍යාර්ථ කණ්ඩායම A කාණ්ඩය දක්වා රැගෙන ඒමට සමත් වුණු සුමේධ මාලේවන මහතා මෙවර මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා. අතිශය අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන ඔහු හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ද වන අතර ඔහුගේ සේවය මෙවර කණ්ඩායමට ඉතා වැදගත් වනු නොඅනුමානයි.

සාන්ත අන්තෝනි කණ්ඩායමේ මෙවර තරග සැලැස්ම දිස්වන්නේ මෙලෙසින්,

  • මාර්තු 7, 2020 – සාන්ත අන්තෝනි විද්‍යාලය හා රාජකීය විද්‍යාලය – නිත්තවෙල
  • මාර්තු 13, 2020 – සාන්ත අන්තෝනි විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය – නිත්තවෙල
  • මාර්තු 20, 2020 – සාන්ත ජෝසප් විද්‍යාලය හා සාන්ත අන්තෝනි විද්‍යාලය – නිත්තවෙල
  • මාර්තු 27, 2020 – කිංග්ස්වුඩ් විද්‍යාලය හා සාන්ත අන්තෝනි විද්‍යාලය – නිත්තවෙල
  • අප්‍රේල් 4, 2020 – සාන්ත තෝමස් විද්‍යාලය හා සාන්ත අන්තෝනි විද්‍යාලය – තෝමස් විද්‍යාල ක්‍රීඩාංගණය

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<