ඔනජිත්, ඉසුරු සහ පුලිඳු කිංස්වුඩ් බල බිඳියි

117th Hill Capitals Battle of the Maroons

169
117th Hill Capitals Battle of the Maroons

මහනුවර කිංස්වුඩ් විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය අතර 117 වැනි වරටත් පැවැත්වෙන කන්ද උඩරට සුලෝහිත සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (22) මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූවා.

මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් ඔනජිත් ද සිල්වා සහ ඉසුරු පන්නල ශතක ඉනිම් වාර්තා කළ අතර ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම නියෝජනය කළ පුලිඳු පෙරේරා ද ශතකයකට ආසන්න අර්ධ ශතකයක් වාර්තා කළා.

Hill Capitals Battle of the Maroons, මහනුවර, 22- 23 මාර්තු 2024

o කාසියේ වාසිය – කිංස්වුඩ් විද්‍යාලය

o ක්‍රීඩාංගණය – පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, මහනුවර

ධර්මරාජ විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දුලාර බන්දුලසේන (නායක), පුලිඳු පෙරේරා, ඔනජිත් ද සිල්වා, ඉසුරු පන්නල (කඩුලු රකින්නා), ලක්විඳු අබේසිංහ, දක්ෂිත මනුකල්ප, ඉරුෂ ජයවර්ධන, නිසල අබේරත්න, චමත් ඒකනායක, ශෙශාන් මාරසිංහ, ඔනිජ සේසත්.

කිංස්වුඩ් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – නෙලුක දිසානායක(නායක), කවිජ ගමගේ, හේෂාන් වීරසිංහ, අමේෂ් රූපසිංහ, ආධීල් ෂෙරීෆ්, නිකේශල නානායක්කාර, අමිරු අමුණුපොළ (කඩුලු රකින්නා), කෙනුල පිහිලංගේ, යොසත් අබේකෝන්, දිනුක සඳරුවන්, චනුල් කොඩිතුවක්කු.

කාසියේ වාසිය දිනා ගත් කිංස්වුඩ් නායකයා ගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ධර්මරාජ විද්‍යාලයීය ක්‍රීඩකයෝ ප්‍රතිවාදීන් ගත් තීරණය, නැවත නැවතත් පසුතැවිලි වෙන තැනට කටයුතු කළා.

ඔවුන් පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 325ක් ලබා ගනිමින් සෑහීමකට පත් වෙමින් තම ඉනිම අත්හිටවූවා. ඒ වෙද්දී එම ඉනිමට ශතක 2ක් සහ ශතක ආසන්නයට ම පැමිණි අර්ධ ශතකයක් ද වූවා.

ධර්මරාජ ඉනිම ආරම්භ කළේ පුලිඳු පෙරේරා සහ ඔනජිත් ද සිල්වා විසින්. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ල සඳහා ලකුණු 152ක සබඳතාවක් ගොඩ නැගුවා. එම කඩුල්ලේ සබඳතාව ගිලිහී යන්නේ පුලිඳු පෙරේරා ගේ දැවී යෑමත් සමඟිනුයි.

පුලිඳු පෙරේරා තම අර්ධ ශතකය පන්දු 37ක දී වාර්තා කරන ලද අතර ඔහු දැවී යන විට පන්දු 85කට මුහුණ දී හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 92ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව තවත් පන්දුවාර 4කට පමණ පසුව දහවල් විවේකය සඳහා තරග නතර කරන ලද අතර ඒ වෙද්දී ධර්මරාජ ඉනිම කඩුල්ලක් දැවී ලකුණු 179ක් බවට පත් ව තිබුණා. පිටියේ නොදැවී රැදී සිටි ඔනජිත් ද සිල්වා නොදැවී ලකුණු 71ක් ද සහ ඉසුරු පන්නල නොදැවී ලකුණු 9ක් ද ලබා සිටියා.

දිවා විවේකයෙන් පසුව යැවුණ 5 වැනි පන්දුවාරයේ දී ධර්මරාජ ඉනිමේ 200 වැනි ලකුණු වාර්තා වූවා. දිගින් දිගට ම ප්‍රහාරයකට ලක් වූ කිංස්වුඩ් පන්දු යවන්නන් තව තවත් අමාරුවේ දැමූ ඔනජිත් ද සිල්වා සහ ඉසුරු පන්නල 2 වැනි කඩුල්ල සඳහා තවත් ලකුණු 152ක සබඳතාවක් එක් කිරීම කැපී පෙණුනා.

එවර කඩුල්ල අහිමි කර ගත්තේ ඉසුරු පන්නල. ඔහු පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 105ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් පසුව යැවුණ සිවු වැනි පන්දුවාරයේ දී තරගය සවස තේ විවේකය සඳහා නතර කෙරුණ අතර ඒ සමඟ ම තම ඉනිම අත්හිටුවීමට ධර්මරාජ විද්‍යාලය තීරණය කළා.

ඒ වෙද්දී ඔනජිත් ද සිල්වා පන්දු 171කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් නොදැවී ලකුණ 105ක් ද සහ ලක්වින් අබේසිංහ පන්දු 13කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 18ක් ද ලබා සිටියා.

ධර්මරාජ ප්‍රහාරයෙන් බේරීම සඳහා කිංස්වුඩ් නායකයා පන්දු යවන්නෝ 8 දෙනෙක් යොදා ගත්ත ද ඒ අතුරින් සාර්ථක ඵල නෙලා ගැනීමට හැකි වූයේ කෙනුල පිහිලංගේ සහ අමේෂ් රූපසිංහට පමණයි. ඔවුන් දෙදෙනා කඩුල්ල බැගින් බෙදා ගත්තා.

තේ විවේකයෙන් අනතුරු ව තරගය නැවත ආරම්භ කිරීමට තරම් අවකාශයක් උදා වූයේ නැහැ. ඒ අඳුරත් සමඟ වැසි වැටෙන්නට වීම හේතුවෙනුයි. දිගින් දිගට ම පැවැති එම තත්ත්වය හමුවේ පිටියේ විනිසුරුවන් වූ සමන් මොහාන් සහ උපුල් වැවගේ යන මහත්වරුන් විසින් තරගය එදිනට නතර කිරීමට තීරණය කළා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ධර්මරාජ විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 325 (60.0) පුලිඳු පෙරේරා 92, ඔනජිත් ද සිල්වා නොදැවී 103, ඉසුරු පන්නල 105, ලක්වින් අබේසිංහ නොදැවී 18

මෙම තරගය හෙට (23) දෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

 තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<