සෙබස්තියන් ක්‍රීඩකයෝ T20 කුසලානයත් උස්සයි

Battle of the Golds

109
Battle of the Golds T20 Match Report

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ වේල්ස් කුමාර විද්‍යාලය අතර පැවැති වාර්ෂික රන් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත සෙබස්තයන් විද්‍යාලය සමත් වූවා.  

ඒ අනුව මෙවර  නිමා වූ මොරටු රන් කුසලාන වාර්ෂික මහා ක්‍රිකට් තරගවල දෙදින, එක්දින සහ විස්සයි විස්ස තරග ත්‍රිත්වය ම ජයග්‍රහණය කිරීමට සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනා.  

T20, මොරටුව, 17, මාර්තු 2024, Battle of the Golds 

  • කාසියේ වාසිය – සාන්ත සෙබස්තියන් විද්‍යාලය 
  • ක්‍රීඩාංගණය – ද සොයිසා ක්‍රීඩාංගණය, මොරටුව 

සාන්ත සෙබස්තියන් විද්‍යලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: මනුජ චන්තුක (නායක), ජානක සිල්වා, රයන් දිසානායක, විමත් දින්සර, අදීශ් අල්මේදා, තරිඳු ඩිලංක (කඩුලු රකින්නා), නවෝද් ප්‍රනාන්දු, මලින්ත සිල්වා, නදීශ් ප්‍රනාන්දු, කොශේන්ද්‍ර ප්‍රනාන්දු, යශින් ප්‍රනාන්දු. 

වේල්ස් කුමාර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: අචල පෙරේරා (නායක), රිවිත් ජයසූරිය, ඔෂාන් ද සිල්වා, සුවස් ප්‍රනාන්දු, රුසඳ සිල්වා, සචිර ඩේමියන්, උනෙත් පීරිස්, නවීන් ප්‍රනාන්දු, පසන් කුරේ, ප්‍රසන්න ලක්මිණ, මතීෂ අපෝන්සු. 

කාසියේ වාසිය දිනා ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වේල්ස් කුමාර විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 161ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සාන්ත සෙබස්තියන් විද්‍යාලය තම ඉනිම අවසන් වීමට තවත් පන්දු 4ක් සහ කඩුලු 3ක් ඉතිරිව තිබිය දී අදාළ ඉලක්කය සපුරා ගත්තා. 

වේල්ස් කුමාර විද්‍යාලය වෙනුවෙන් ආරම්භක පිතිකරු ඔෂාන් ද සිල්වා පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 71ක් ලබා ගත්තා. ඔහු ඉනිමේ 6 වැනි කඩුල්ලට දැවී යන තෙක් ම මෙම ඉනිම ක්‍රියාත්මක කළා.  

ඊට අමතර ව නායක අචල පෙරේරා පන්දු 9කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ද සහ සචිර ඩේමියන් පන්දු 22ක දී ලකුණු 22ක් ද ලබා ගත්තා.  

කඩුලු ලබා ගැනීමේ දී අදීශ් අල්මේදා ලකුණු 21කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යවන්නා බවට පත් වූවා. ඊට අමතර ව මලින්ත සිල්වා සහ මනුජ චතුරංග කඩුලු 2 බැගින් ද සහ රයන් දිසානායක සහ නදීශ් ප්‍රනාන්දු කඩුල්ල බැගින් දවා ගත්තා.  

අනතුරුව ලකුණු 162ක් හඹා යෑමට පිටිය පිවිසි සාන්ත සෙබස්තියන් විද්‍යායීය ක්‍රීඩකයන්ගේ ඉනිමේ ආරම්භය අසාර්ථක කිරීමට වේල්ස් කුමරුවෝ සමත් වූවා. එම ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 16ක් වෙද්දී අහිමි වූව ද දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 52ක සබඳතාවක් එක් කිරීමට රයන් දිසානායක සහ විමත් දින්සර සමත් වුනා.  

ආරම්භක පිතිකරු රයන් දිසානායක පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත් අතර විමත් දින්සර පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා. 

එම කඩුල්ලේ සබඳතාව බිඳී ගිය විගස ම තවත් 3ක් දවා ගැනීමට වේල්ස් කුමාර විද්‍යාලය සමත් වූවා. ඒ අනුව සාන්ත සෙබස්තියන් ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 6ක් දැවී ලකුණු 77ක් ලෙසයි.  

කෙසේ වෙතත් මැද පෙළින් පිටියට පිවිසි මනුජ චන්තුක සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ගැලවුම්කරු බවට පත් වෙමින් තරගය ජයග්‍රහණයෙන් කෙළවර වන විට පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 39ක් ලබා සිටියා.  

ඒ වෙද්දී අනෙක් පසින් පන්දුවට පහර දෙමින් සිටි නදීශ් ප්‍රනාන්දු පන්දු 10කදී හතරේ පහර සමඟින් නොදැවී ලකුණු 17ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් පිට දඟ පන්දු යවන අචල පෙරේරා ලකුණු 16කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව උනෙත් පීරිස් සහ මතීෂ අපෝන්සු කඩුල්ල බැගින් දවා ගත්තා. 

තරගයේ කෙටි ලකුණු පුවරුව 

වේල්ස් කුමාර විද්‍යාලය – කඩුලු 9ක් දැවී 161 (20.0) ඔෂාන් ද සිල්වා 71, සචිර ඩේමින් 20, අචල පෙරො 28, මලින්ත සිල්වා 2/31, අදීශ් අල්මේදා 3/21, මනුජ චන්තුක 2/35 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – කඩුලු 7ක් දැවී 164 (19.2) රයන් දිසානායක 35, විමත් දින්සර 32, මනුජ චන්තුක නොදැවී 39, නදීශ් ප්‍රනාන්දු නොදැවී 17, අචල පෙරේරා 3/16 

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 3ක ජයක්.  

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<