ආදරවන්තයන්ගේ සටනට ශතක 3ක පරිත්‍යාගයක්

119th Battle of the Lovers

140

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර 119 වැනි වරටත් පැවැති “ආදරවන්තයන්ගේ සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (16) විසඳුමකින් තොරව අවසන් වූවා.  

තරගය එසේ අවසන් වූවත් කැපී පෙණෙන ලක්ෂණය වූයේ දෙපිලේ ම ක්‍රීඩකයෝ එක් ව ශතක 3ක් වාර්තා කිරීමයි. චෙහාන් සුබසිංහ, මල්ෂ තරුපති සහ දිනුර කළුපහන විසින් රැස් කරන ලද මෙම ශතක ත්‍රිත්වය ම තරගයේ දෙවැනි දිනය වූ අද දවසේ දී වාර්තා වීම කැපූ පෙණුන අතර එය ආදරවන්තයන්ගේ තරග සටන් ඉතිහාසයේ තරගයක දී ශතක 3ක් වාර්තා වූ පළමු අවස්ථාව ද වූවා.  

මේ අතර මල්ෂ ගේ ශතක ඉනිම ආදරවන්තයන්ගේ තරග ඉතිහාසයේ ක්‍රීඩකයෙක් ලබා ගත් වේගමත් ම ශතකය වූ අතර ඔහු ඒ සඳහා වැය කළේ පන්දු 70ක් පමණයි.  

Battle of the Lovers, ගාල්ල, 15-16 මාර්තු 2024 

  • ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගාල්ල 
  • කාසියේ වාසිය – රිච්මන්ඩ් විද්‍යාලය 

තරගයේ කාසියේ වාසිය දිනා ගත් රිච්මන්ඩ් විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහින්ද විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 169ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 66ක් ලබා සිටියා.  

අද එතැන් සිට තරගය ආරම්භ වූ අතර එහි දී වඩාත් කැපී පෙණෙන සිදුවීම වූයේ රිච්මන්ඩ් විද්‍යාලයීය ආරම්භක පිතිකරු චෙහාන් සුබසිංහ සහ නායක මල්ෂ තරුපති ශතක ලබා ගැනීමයි.  

පෙර දිනයේ දී නොදැවී ලකුණු 30ක් ලබා සිටි චෙහාන් සුබසිංහ අද දවසේ දී දැවී යන විට පන්දු 206කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 100ක් ලබා සිටියා 

ඔහු ඉනිමේ 4 වැනි කඩුල්ල වෙනුවෙන් සිහත් රාමනායක (21) සමඟ එක් ව ලකුණු 50ක සබඳතාවක් ද සහ නායක මල්ෂ තරුපති එක් ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 149ක සබඳතාවක් ද එක් කළා.  

චෙහාන් සුබසිංහ දැවී යන විට රිච්මන්ඩ් විද්‍යාලයීය ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 258ක් වූ අතර ඉන් පසුව නායකත්වයේ ඉනිමක් දියත් කළ මල්ෂ තරුපති පන්දු 74කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් ප්‍රදර්ශනාත්මක ඉනිමක නිරත වෙමින් ලකුණු 111ක් ලබා ගත්තා.  

කඩුලු ලබා ගැනීමේ දී තරුෂ ඩිල්ශාන් ලකුණු 68කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර නායක දිනුර කළුපහන කඩුලු 2ක් ද සහ සෙනුක දංගල්ල කඩුල්ල බැගින් බෙදා ගත්තා.  

ලකුණු 101ක් පිටුපස සිටිමින් තම දෙවැනි ආරම්භ කළ මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 206ක් ලබා ගත්තා.  

එම ඉනිමේ දී නායක දිනුර කළුපහන පන්දු 145කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් ලකුණු 124ක් ලබා ගනිමින් කැපී පෙණෙන ඉනිමක නිරත වූවා. ඔහු සමඟ එක් ව සිටි ආරම්භක පිතිකරු තරූෂ ඩිල්ශාන් පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 63ක් ලබා සිටියා.  

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 172ක් වූවා. ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව ප්‍රමේෂ් මධුභාෂණ ලකුණු 07කට දැවී ගිය අතර තරගය නිමා වන විට හරීන් අචින්ත නොදැවී ලකුණු 4ක් ලබා ගනිමින් පිටියේ නොදැවී රැදී සිටියා.  

කඩුලු ලබා ගැනීමේ ද ෂැරෝන් අභිෂේක කඩුලු 2ක් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

මහින්ද විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 169 (75.0) දිනුර කළුපහන 38,  චන්දූප ද සිල්වා 41, කවීෂ ඉඳුවර 3/37, සිහත් රාමනායක 2/19, ෂැරෝන් අභිශේක් 2/45, මල්ෂ තරුපති 2/38 

රිච්මන්ඩ් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 270 (65.5) චෙහාන් සුබසිංහ 100, සිහත් රාමනායක 21, මල්ෂ තරුපති 111, දිනුර කළුපහන 2/53, තරුෂ ඩිල්ශාන් 3/68 

මහින්ද විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 206 (48.4) තරුෂ ඩිල්ශාන් 63, දිනුර කළුපහන 124, ෂැරෝන් අභිෂේක් 2/65 

තරගය විසඳුමකින් තොරයි. 

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – හරීන් අචින්ත (මහින්ද විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – කවීෂ ඉඳුවර (රිච්මන්ඩ් විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – චෙහාන් සුබසිංහ (රිච්මන්ඩ් විද්‍යාලය )
  • තරගයේ වීරයා – මල්ෂ තරුපති (රිච්මන්ඩ් විද්‍යාලය) 

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<