එකම හොඳ දෙය අපි තරගය ජයග්‍රහණය කිරීමයි – වොලිබෝල් පුහුණුකරු

1313

පළමුවැනි වතාවට පවත්වනු ලබන ආසියානු පිරිමි වොලිබෝල් අභියෝගතා කුසලාන තරගාවලියේ දී සත්කාරක ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය ඊයේ (15) හොංකොං දේශයත් සමඟින් පැවැත්විය. එම තරගයෙන් වට 3-0ක ජයක් වාර්තා කිරීමට සත්කාරක ශ්‍රී ලංකාවට හැකි විය.

ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 14 වැනි ස්ථානයේ ද, හොංකොං දේශය 16 වැනි ස්ථානයේ ද පසුවූවත් තරගයේ මුල සිටම දෙපිල අතරෙහි කැපී පෙනෙන පරතරයක් තිබුණි. සමස්ත තරගය පුරාවටම ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

සත්කාරක ශ්‍රී ලංකාවෙන් ආගන්තුක හොංකොංට හොඳ පිළිගැනීමක්

ආසියානු වොලිබෝල් සංගමයේ පූර්ණ අනුදැනුම සහිතව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය..

  • 1 වැනි වටය

තරගයේ පළමුවැනි වටය 25-15ක් ලෙසින් පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. වරෙක පළමු වටයේ ලකුණු තත්වය 14-12ක් ලෙසින් දැක්වුන ද, ශ්‍රී ලංකාව ඉතිරි ලකුණු 11 ලබා ගන්නා විට හොංකොං කණ්ඩායම ලබාගත්තේ ලකුණු 3ක් පමණි.  

පළමු වටයේ දී ශ්‍රී ලංකාව ACE (කණ්ඩායමක් පන්දුව පිරිනැමූ විට, ප්‍රතිවාදී කණ්ඩායමට සාර්ථකව පන්දුව ලබා ගැනීමට නොහැකි වීම) මාර්ගයෙන් ලකුණු 4ක් ලබා ගන්නා විට, හොංකොං කණ්ඩායමට එකදු ACE දිනුමක් හෝ ලබා ගැනීමට නොහැකි විය.

  • 2 වැනි වටය

දෙවැනි වටයේ දී ද සිය ආධිපත්‍ය පැතිර වූ ශ්‍රී ලාංකිකයන් එම වටය ජය ගත්තේ 25-20ක් වශයෙනි. දෙවැනි වටයේ දී ද ශ්‍රී ලංකාව ACE මාර්ගයෙන් ලකුණු 4ක් ලබා ගැනීමට සමත් වන විට හොංකොං දේශය එක් ACE ලකුණක් පමණක් හිමිකර ගන්නා ලදි.

එයට අමතරව තවත් වැදගත් කාරණයක් වන පන්දුව පිරිනමන අවස්ථාවල දී ලබාගත් ලකුණු (Points won on serve) 10ක් ශ්‍රී ලංකාව සතුකර ගන්නා විට හොංකොං දේශය එමගින් ලකුණු 6ක් පමණක් ලබා ගන්නා ලදි.

  • 3 වැනි වටය

තුන්වැනි වටයේ දී හොංකොං කණ්ඩායම වඩාත් හොඳින් ද, ශ්‍රී ලංකාව සුපුරුදු රිද්මයෙන් බැහැරව ද ක්‍රීඩා කරනු දක්නට ලැබීය. තුන්වැනි වටයේ දී 1-4ක්, 13-14ක් ලෙසින් හොංකොං දේශය ඉදිරියෙන් සිටිය ද අවසාන ලකුණු කිහිපයේ දී ශ්‍රී ලංකාවේ අත්දැකීම් සහ දක්ෂතා ඉස්මතු වූයෙන් එම වටය ද 25-22ක් වශයෙන් ජය ගනිමින් 3-0ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා මෙතනින් පිවිසෙන්න

නමුත් තුන්වැනි වටයේ දී බොහෝ අංශවලින් හොංකොං කණ්ඩායම ඉදිරියෙන් සිටින්නට සමත් විය. ඔවුන් විසින් ACE මාර්ගයෙන් ලකුණු 2ක් ලබා ගන්නා විට ශ්‍රී ලංකාව ACE මාර්ගයෙන් ලබා ගත්තේ එක් ලකුණක් පමණි. පන්දුව පිරිනමන අවස්ථාවල දී හොංකොං කණ්ඩායම ලකුණු 6ක් ලබන විට ශ්‍රී ලංකාව ලබා ගත්තේ ලකුණු 5ක් පමණි. ඊට අමතරව වැරදි ආකාරයෙන් පන්දුව පිරිනැමීම් ත්‍රිත්වයක් ශ්‍රී ලංකාව විසින් සිදු කරන විට හොංකොං කණ්ඩායම වැරදි ආකාරයෙන් පන්දුව පිරිනමා තිබුණේ එක් අවස්ථාවක දී පමණි.

>> තරග සියල්ල සජිවීව නරඹන්න මෙතින් පිවිසෙන්න <<

දීප්ති රොමේෂ් සහ ජනිත සුරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්විය.

පුහුණුකරුගේ නොසතුට

“එකම හොඳ දෙය අපි තරගය ජයග්‍රහණය කිරීමයි. අප ක්‍රීඩා කළ ආකාරය ඉතාමත් දුර්වලයි. පළමු වරට සත්කාරකත්වය දරණ නිසා සමහර ක්‍රීඩකයන් බියෙන් සහ ආතතියකින් යුතුව ක්‍රීඩා කරා. නමුත් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේ දී මීට වඩා හොඳින් ක්‍රීඩා කරන්නට හැකි වෙයි කියලා.

තරගාවලියේ සාර්ථක වීමට නම් අපි මීට වඩා හොඳින් ක්‍රීඩා කරන්න ඕන. මෙවැනි ක්‍රීඩා විලාශයක් තුලින් හොඳ කණ්ඩායම් පරාජය කරන්න බෑ. නමුත් දැන් වැරදි නිවැරදි කිරීමට කාලයක් නෑ. පුහුණුවේ දී කළ දේ තරගයේ දී පෙන්විය යුතුයි.”

තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පුහුණුකරු ඩෙයාන් පුලිසෙවිච් විසින් එසේ ප්‍රකාශ කරන ලදි.

මුල්වට දෙකෙහි දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැල ස්පර්ශ කිරීමෙන් ලකුණු කිහිපයක් ප්‍රතිවාදීන්ට ලබා දුන් අතර තෙවැනි වටයේ දී තරගය සැහැල්ලුවට ගෙන යම් දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්වන ලදි. ශ්‍රී ලංකාව සුපුරුදු රිද්මයෙන් ක්‍රීඩා නොකරන බවක් ද පෙනී ගිය කරුණකි.

නිමා වූ ආසියානු ක්‍රීඩා උළෙලේ දී ද අප වොලිබෝල් ක්‍රීඩාවෙන් හිමිකර ගත්තේ 13 වැනි ස්ථානයයි. එබැවින් අප සිටින්නේ එතැනයි. වොලිබෝල් ලෝකයේ දැවැන්තයන් වන බ්‍රසීලය, රුසියාව, ප්‍රංශය වැනි කණ්ඩායම් සමඟින් අප සංසන්දනය කිරීම අනවශ්‍ය අතර වර්තමාන පුහුණුකරු යටතේ ඉතා හොඳ වර්ධනයක් පෙන්නුම් කරන ශ්‍රී ලංකාව, ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට ගෙන යාම මේ මොහොතේ සිදු කළ යුතු දෙයයි.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<