ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දක්ෂතම ක්‍රීඩකයා සුමේධ; ක්‍රීඩිකාව නිලානි

100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය

410
100th National Athletics Championship 2022

වර්ෂාව නිසාවෙන් පසුගිය 10 වැනිදා පැවැත්වීමට නොහැකි වූ ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් දිනයේ ඉතිරි ඉසව් අද (23) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී සාර්ථකව පැවැත්වුණා.

මෙවර ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සුමේධ රණසිංහ විසින් දිනා ගනිද්දී, දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමි වුනේ නිලානි රත්නායක හටයි.

අද (23) දිනය ආරම්භ කරමින් පැවති පිරිමි මීටර් 1500 ඉසව්ව ජයග්‍රහණය කරමින් (මිනිත්තු 3:48.34) ජාතික කිරුළ දිනා ගැනීමට ඩී. එච්. කුමාර සමත් වෙද්දී, එල්. ප්‍රතාප (මිනිත්තු 3:48.78) සහ සී. විජේසිංහ (මිනිත්තු 3:51.04) පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගත්තා.

පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ සිය ආධිපත්‍ය යලිත් රඳවා ගත් සුමේධ රණසිංහ එම ඉසව්ව ජය ගත්තේ මීටර් 82.18ක දස්කමක් දක්වමිනුයි. එහි කාන්තා ඉසව්වේ ජයග්‍රහණය මීටර් 55.03ක දස්කමක් පෙන්නුම් කළ නදීෂා ලේකම්ගේ සතු වුනා.

දිනයේ වැඩි අවධානය දිනා ගත් ඉසව් අතරින් කැපී පෙනෙන ඉසව්වක් වූ කාන්තා මීටර් 400 ඉසව්වේ කිරුළ තමන් සතු කර ගැනීමට යොවුන් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්නට හැකි වුනේ තත්පර 53.85ක කාලයකින් ඉසව්ව අවසන් කරමිනුයි.

තත්පර 51.14ක කාලයකින් ඉසව්ව අවසන් කළ යොවුන් ක්‍රීඩිකා ජයේෂි උත්තරා එහි දෙවැනි තැන දිනා ගනිද්දී, එම ඉසව්වේ හිටපු ජාතික ශූරියක් වන නදීෂා රාමනායක (තත්පර 54.29) තෙවැනි ස්ථානයට හිමිකම් කීවා.

පිරිමි මීටර් 400 ඉසව්වේ ජයග්‍රහණය දිනා ගත්තේ අරුණ දර්ශන (තත්පර 45.90) පැරදවූ කාලිංග කුමාරගේ (තත්පර 45.80) විසිනුයි. එහි තෙවැනි ස්ථානය ආර්. ලක්ෂාන්ට හිමි වුනා.

තරගාවලියේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වීමට තත්පර 10.50ක කාලයකින් මීටර් 100 ඉසව්ව අවසන් කළ චමෝද් යෝධසිංහ සමත් වෙද්දී, තත්පර 11.69ක කාලයකින් එහි කාන්තා ඉසව්ව නිමා කළ අමාෂා ද සිල්වා වේගවත්ම ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලැබුවා.

පිරිමි ඉසව්වේ දෙවැනි ස්ථානය කවිඳු චතුරංග විසිනුත් සහ තෙවැනි ස්ථානය චලිත පියුමාල් විසිනුත් දිනා ගත් අතර කාන්තා ඉසව්වේ දෙවැනි සහ තෙවැනි ස්ථාන රුමේෂිකා රත්නායක සහ ශෙලින්ඩා ජැන්සන් සතු වුනා.

>> අවසන් දිනයේ තරග ප්‍රතිඵල<<

තරගාවලියේ එක් එක් අංශයන්ට අදාළ කුසලාන පිරිනැමීමෙන් අනතුරුව 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය සාර්ථකත්ව අවසන් කිරීමට මලල ක්‍රීඩා සංගමයට හැකි වුනා.

>> විශේෂ කුසලාන දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්<<

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<