පොලිස් ප්‍රහාරයෙන් ගුවන් භටයෝ තවත් අසරණ වෙති

372

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සති අන්තයේ නිමාව සනිටුහන් කරමින් ඊයේ (09) සත්කාරක පොලිස් ක්‍රීඩා සමාජය ප්‍රතිවාදි ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ දී තරග බිමට පිවිසි අතර ලකුණු 28-19ක් ලෙස ඉතා තියුණු තරගයකින් අනතුරුව නාවික හමුදාවට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය.

‘බෝධී’ ප්‍රමුඛ හැව්ලොක් ඉදිරිපෙළ හමුවේ CR දණ ගසයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ….

මෙවර තරග වාරයේ දී කණ්ඩායම් දෙකම සැලකිය යුතු දක්ෂතා දැක්වීමට අපොහොසත් වූ හෙයින් ප්‍රසාද ලකුණු සටහනේ සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කර ගැනීමේ දැඩි අදිටනින් යුතුව තරගයට අවතීර්ණ විය.

ප.ව.4.00ට පොලිස් පා පහරින් තරගය ආරම්භ වූ අතර සිය කණ්ඩායම් දිරිමත් කිරීම සඳහා දෙපිලම නියෝජනය කරමින් විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් පැමිණ සිටීම කැපී පෙනුණි.

තරගය ආරම්භ වී විනාඩි දෙකක් ගත වූ අවසරයෙන් නාවික හමුදාව සිදු කළ අතපසු වීමකින් උපරිම ඵල නෙලා ගත් පොලිස් ක්‍රීඩක සචිත් සිල්වා ඔහුට ලබා දුන් දඩුවම් පහර සාර්ථක කර ගනිමින් තරගයේ ලකුණු පුවරුව සක්‍රිය කිරීමට සමත් විය. (පොලිස් 03-00 ගුවන්)

ඉන්පසුව පොලිස් ක්‍රීඩක රොමේෂ් ආචාරිගේ නාවික හමුදා ආරක්ෂක පෙළේ සියුම් හිඩැසකින් රිංගා යමින් තරගයේ ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කරමින් පොලිස් කණ්ඩායමට ප්‍රබල ආරම්භයක් ලබා දීමට සමත් විය. සචිත් සිල්වා ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අපොහොසත් විය. (පොලිස් 08-00 ගුවන්)

නාවික හමුදා කණ්ඩායම තරගයට අවතීර්ණ වීමට කිහිප අවස්ථාවක දී ම ප්‍රබල උත්සාහයන් රැසක් දැරූ අතර 14 වැනි සහ 22 වැනි මිනිත්තුවල දී ගුවන් හමුදා කණ්ඩායමට ලැබුණු දඩුවම් පහර දෙකක් සාර්ථක කර ගත් චරිත් සෙනෙවිරත්න සිය කණ්ඩායම ලකුණු 6කින් ඉහළ දැමීමට සමත් විය. (පොලිස් 08-06 ගුවන්)

ලකුණු පරතරය අඩු වීමත් සමඟ එල්ල වූ පීඩනය මැඩපවත්වමින් 30 වැනි විනාඩියේ දී ඉතා සිත්ගන්නා සුළු උත්සාහක දිනුමක් වාර්තා කිරීමට පොලිස් කණ්ඩායමේ වගීෂ වීරසිංහගේ සහ සුජාන් කොඩිතුවක්කුගේ සුසංයෝගයට හැකි විය. මීටර් 22 රේඛාවට ආසන්න පැති රේඛාවෙන් ඔබ්බට ගුවනේ ඇදෙමින් තිබූ පන්දුව උඩ පැන නැවතත් පිටිය දෙසට යොමු කළ වගීෂ පන්දුව සුජාන්ට භාර කළ අතර ක්ෂණයෙන් ක්‍රියාත්මක වූ සුජාන් අලංකාර පාද චලන කිහිපයක් යොදා ගනිමින් ගෝල සීමාව අභිබවා ගමන් කළේ පොලිස් කණ්ඩායමට තරගයේ දෙවන උත්සාහක දිනුම දිනා දෙමිනි. ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට සචිත්ට නොහැකි විය. (පොලිස් 13-06 ගුවන්)

රිචී හා රදීශ නාවිකයින්ට ජය ගෙන එයි

සිය ග්‍රහණයෙන් ගිලිහෙමින් තිබූ තරගයේ පාලනය නැවත ලබා ගැනීමට දැඩි සටනක් ලබා දුන් ගුවන් භටයන් ප්‍රථම අර්ධය නිමා වීමට විනාඩියක් ඉතුරුව තිබිය දී තරගයේ තෙවැනි වරටත් තමන් හට ලැබුණු දඩුවම් පහර චරිත් විසින් සාර්ථක කරගත්තේ ගුවන් හමුදා ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු ඉහළ නංවමිනි. (පොලිස් 13- 9 ගුවන්)

පළමු අර්ධය – පොලිස් ක්‍රීඩා සමාජය 13 – 09 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය වී මිනිත්තු දෙකක් ගතවීමටත් පෙර ක්‍රියාත්මක වූ ගුවන් හමුදා කණ්ඩායම මැදි රේඛාව ආසන්නයේ තිබූ පන්දුව ගෝල සීමාවට මීටර් 5ක් පමණ ආසන්නයට රැගෙන ගියේ කෞෂාල් සහ මුදිතගේ වේගවත් ධාවනයන්ගේ ප්‍රතිඵලයක් වශයෙනි. ඉන්පසු rolling maul අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබාගත් තිලිණ බණ්ඩාර සිය කණ්ඩායමට දිනයේ ප්‍රථම උත්සාහක දිනුම අත්කර දීමට සමත් විය. චරිත් සෙනෙවිරත්න පන්දුව ගෝල කණු අතරින් පා කරහරිමින් ප්‍රවර්තනයේ ලකුණු ද්විත්වය කණ්ඩායමට හිමිකර දුන්නේය. (පොලිස් 13-ගුවන් 16)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ඉන්පසු ගතවූ කාල සීමාව තුල දී කණ්ඩායම් දෙකම කරට කර සටනක නියැලුණු අතර දෙපිලේම ආරක්ෂක පෙළ ක්‍රීඩකයන් සිය කාර්යභාරය මැනවින් ඉටු කිරීම නිසාවෙන් උත්සාහක දිනුම් වාර්තා කිරීම පහසු නොවීය.

නමුත් 54 වැනි විනාඩියේ දී ජීවය ලැබූ පොලිස් ක්‍රීඩකයින් දර්ශනීය උත්සාහක දිනුමක් වාර්තා කළේ තමන් තවමත් තරගය අතහැර නොමැති බව සිය ප්‍රතිවාදීන් පෙන්වමිනි. සිය දෙවන පෞද්ගලික උත්සාහක දිනුම වාර්තා කර සුජාන් පොලිස් ගිණුමට ලකුණු 5ක් එකතු කළේය. ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට පොලිස් කණ්ඩායම අපොහොසත් වූ අතර එය ඔවුන් අතින් තරගය තුල දී ගිලිහී ගිය තුන්වැනි ප්‍රවර්තනය වීම කැපී පෙනේ. (පොලිස්  18-16 ගුවන්)

58 වැනි මිනිත්තුවේ දී ලැබුණු දඩුවම් පහර සාර්ථක කර ගත් චරිත් සෙනෙවිරත්න තමා හට ලැබුණු ප්‍රවර්තන සහ දඩුවම් පහර සියල්ල සාර්ථක කර ගනිමින් සිය කණ්ඩායමේ ලකුණු තත්ත්වය වර්ධනය කිරීමට සිය උපරිම දායකත්වය ලබා දුන්නේය. (පොලිස් 18-19 ගුවන්)

කාලගණන යන්ත්‍රයේ 65 වැනි මිනිත්තුව සටහන් වීමත් සමඟ සුජාන් විසින් යොමු කළ කෙටි පන්දුව මැනවින් ග්‍රහණය කර ගත් රසිත් සිල්වා පියවර කිහිපයක් ඉදිරියට ඇදෙමින් ධවල රේඛාව පසූකළේ ගුවන් හමුදා ආරක්ෂක වැට බිඳ හෙළමිනි. ජනිත් චන්දිමාල්ගේ පා පහරින් ගුවන් ගත වූ පන්දුව ගෝල කණු අතරින් රිංගා ගියේ ප්‍රවර්තනය සාර්ථක කර දෙමිනි. (පොලිස් 25 – 19 ගුවන්)

තමන් ක්‍රියාත්මක නොවුනොත් තරගයේ දිශානතිය තමන් දෙසට යොමු කර ගත නොහැකි බව අවබෝධ කර ගත් ගුවන් හමුදාව අවස්ථා කිහිපයක දී ම ගෝල සීමාව අභියසටම පැමිණිය ද, පොලිස් භටයන් එම පීඩනය සාර්ථකව හසුරවා ගැනීමට සමත් විය. ගෙවුණු විනාඩි කිහිපය තුල දී කණ්ඩායම් දෙකටම ලකුණු රැස් කිරීමට නොහැකි වූවත් පන්දුව තමා සතුකර ගැනීමට උණුසුම් සටනක් ලබා දුන්නේ පැමිණ සිටි පිරිසගේ උද්යෝගය ඉහළ දමමිනි.

74 වැනි මිනිත්තුවේ දී හිමි වූ දඩුවම් පහර සාර්ථක කර ගත් පොලිස් ක්‍රීඩක යොහාන් පීරිස් තරගයේ වාසිය සිය කණ්ඩායමට ළඟා කර දුන්නේ ගුවන් හමුදා ක්‍රීඩකයන් ඉච්ඡාභංගත්වයට පත්කරමිනි. (පොලිස් 28-ගුවන් 19)

එතැන් පටන් පොලිස් ක්‍රීඩකයෝ සිය ගෝල පෙදෙස මැනවින් රැකගත්තේ එල්ල වූ සියලුම ගුවන් හමුදා ආක්‍රමණ සුනුවිසුනු කර දමමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගත්හ. ඒ අනුව සිය ජයග්‍රහණය ඉඩෝරයට තිත තැබූ පොලිස් කණ්ඩායම තරගාවලියේ ප්‍රථම ජය වාර්තා කළේ ගුවන් හමුදාව තරගාවලියේ පස්වැනි අඛණ්ඩ පරාජය හිමිකර දෙමිනි.

අවසන් ලකුණු තත්ත්වය: පොලිස් ක්‍රීඩා සමාජය 28 – 19 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරග‍යේ වීරයා: සුජාන් කොඩිතුවක්කු

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

පොලිස් ක්‍රීඩා සමාජය:

  • උත්සාහක දිනුම් – රුමේශ් ආචාරිගේ (1T) සුජාන් කොඩිතුවක්කු (2T) රසිත් සිල්වා (1T)
  • ප්‍රවර්තන – ජනිත් චන්දිමාල් (1C)
  • දඩුවම් පහර – සචිත් සිල්වා (1P) යොහාන් පීරිස් (1P)

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

  • උත්සාහක දිනුම් – තිලිණ බණ්ඩාර (1T)
  • ප්‍රවර්තන – චරිත් සෙනෙවිරත්න (1C)
  • දඩුවම් පහර – චරිත් සෙනෙවිරත්න (4P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<