ජයග්‍රහණය සඳහා ලකුණු 301ක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් සටන්කාමී ඉනිමක නිරත වෙමින් තම කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයට ගෙනවිත් තැබූව ද, ප්‍රතිවාදීන්ගේ ග්‍රහණයෙන් බේරීමට නොහැකි වීමෙන් තරගය සිව්වැනි දිනට (17) නතර වූයේ ජයග්‍රහණය දෙපිළට ම විවෘත කරමිනි.
අකිලගේ මැජික් පන්දුව කඩුලු 6කට තට්ටු කරයි
එංගලන්ත පිතිකරුවන්ට කෙසේ පන්දු යැවිය යුතු දැයි ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ළතැවෙමින් සිටිය දී අකිල දනංජය විසින් එංගලන්ත යටිපෙළ විනාශයට පත් කරමින් පෑ දක්ෂතා පමණක් ශ්‍රී ලංකාවට…
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී හතර වැනි දිනටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි ටෙස්ට් තරගයේ ජය – පරාජය පන්දුවක් දෝලනය වනවාටත් වඩා වැඩි ආකාරයෙන් දෝලනය වූ අයුරක් දක්නට ලැබුණි. දිනයේ තේ විවේකය දක්වාම තරගය ශ්‍රී ලංකාව වෙත වාසිදායක ව පැවතිය ද වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට අඩු ප්‍රමාණයක් වූ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ තුළ පැවතියේ අවිනිශ්චිත අවසානයක දසුන් ය.
තරගය ආරම්භයේ සිටම වැඩි උනන්දුවකින් තරගය නැරඹූ සංචාරක විදෙස් ප්‍රේක්ෂකයෝ අවසාන කාර්තුවේ දී මහත් උද්දාමයෙන් පසු වූහ. ඒ තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 226ක් වීම නිසා ය. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයෙන් ජයග්‍රහණය කිරීමට නම් තවත් කඩුලු 3ක් අතැතිව ලකුණු 75ක් අවශ්‍ය ය.
පෙර දිනයේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට බෙන් ෆෝක්ස් ලකුණු 51ක් ලබා සිටි අතර ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 4ක් ලබා පිටියේ නොදැවී රැඳී සිටිය හ. ඒ වෙද්දී එංගලන්ත ඉනිම නැංගුරම් ලා තිබුණේ ලකුණු 324 ය. අද ඔවුන් දෙදෙනා එක්ව එංගලන්ත ලකුණු පුවරුව 346ක් දක්වා රැගෙන ආහ.
ෆෝක්ස් සහ ඇන්ඩර්සන් ගේ සබඳතාව තව තවත් දරුණු වීමට ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙවැනි නව පන්දුව ලබා ගත්හ. ඒ අනුව යැවුණ පළමු පන්දුවේ දී ම ඇන්ඩර්සන්ගේ ඉනිම සේ ම එංගලන්ත ඉනිම නිමා කිරීමට ඩිල්රුවන් පෙරේරා සමත් විය. දැවී යන විට ඇන්ඩර්සන් පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 12ක් ලබා සිටියේ ය. ඔහු සහ ෆෝක්ස් අතර අවසන් කඩුල්ලට සබඳතාව 41කි.
අකිලගේ මැජික් පන්දුව කඩුලු 6කට තට්ටු කරයි
එංගලන්ත පිතිකරුවන්ට කෙසේ පන්දු යැවිය යුතු දැයි ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ළතැවෙමින් සිටිය දී අකිල දනංජය විසින් එංගලන්ත යටිපෙළ විනාශයට පත් කරමින් පෑ දක්ෂතා පමණක් ශ්‍රී ලංකාවට…
ෆෝක්ස් පන්දු119කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 65ක් ලබා සිටියේ ය. පන්දු යැවීමේ දී අකිල දනංජය ලකුණු 115කට කඩුලු 6ක් ලබා ගත්තේ ය. ඩිල්රුවන් පෙරේරාට හිමි වූ කඩුලු සංඛ්‍යාව 3කි.
දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා හඹායන ඉනිම ආරම්භ කළ ද, පළමු කඩුල්ලේ සබඳතාවට වැඩි ආයුෂ තිබුණේ නැත. ඉනිමේ සිව්වැනි පන්දු වාරයේ දී අනවශ්‍ය ලෙසින් කලබල වූ කෞෂාල් දවා ගැනීමට ජැක් ලීච් සමත් විය. සීමා ඉරෙන් ඉදිරියට පැමිණ පහරකට යෑමට කළ උත්සාහයේ දී කඩුලු රකින ක්‍රීඩක බෙන් ෆෝක්ස් කඩුල්ල බිඳ දමමින් කෞෂාල්ගේ ඉරණම විසඳුවේ ය. ඒ වෙද්දී ඔහු ලබා සිටියේ ලකුණු 4ක් පමණි.
එම කඩුල්ල බිඳ දැමීමත් සමඟ ජැක් ලීච් විසින් යැවුණ ඊළඟ පන්දුවාර දෙකේ දී ද කඩුල්ල බැගින් දවා ගැනීමට ඔහු සමත් විය. ඒ අනුව පළමුවෙන්ම ඔහුට ගොදුරු වූයේ ධනංජය ද සිල්වා ය. සිලි පොයින්ට් ස්ථානයේ පන්දු රකිමින් සිටි කීටන් ජෙනින්ග්ස් අසීරු උඩපන්දු රැකගනිමින් ධනංජයගේ ඉනිම නිමා කරද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 16ක් ලෙසිනි.
අනතුරුව තවත් ලකුණු 10ක් ලකුණු පුවරුවට එක් වූ විගස විනිසුරු නොදුන් තීරණයක් අභියෝගයට ලක් කරමින් කුසල් මෙන්ඩිස් (01) දවා ගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.
එතැන් සිට දිවා විවේකය තෙක් කඩුලු ආරක්ෂා කර ගනිමින් පිතිහරඹයේ යෙදෙන්නට දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් සමත් වූහ. දිමුත් තමන් මුහුණ දුන් 81 වැනි පන්දුවේ දී තම ටෙස්ට් තරග දිවියේ 19 වැනි අර්ධ ශතකය ලබා ගැනීමට සමත් විය. දිවා විවේකය වෙන විට දිමුත් නොදැවී ලකුණු 54ක් ද මැතිව්ස් නොදැවී ලකුණු 28ක් ද ලබා සිටිය අතර ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 93ක් ලබා සිටියේ ය. දවාගත් කඩුලු 3 ම ජැක් ලීච් නමින් ලියැවී තිබුණි.
දිවා විවේකයෙන් පසුව යැවුණ දෙවැනි පන්දු වාරයේ දී එතෙක් එංගලන්තයට හිසරදයක් වෙමින් සිටි දිමුත් පිටියෙන් ඉවත් කිරීමට අදිල් රෂීඩ් සමත් විය. ස්ලිප් ස්ථානයේ පන්දු රැකි කීටන් ජෙනින්ග්ස්ගේ අතේ වැදී ගිලිහෙන්නට ගිය උඩ පන්දුව කඩුලු රැකි බෙන් ෆෝක්ස් විසින් රැක ගනිමින් දිමුත්ගේ ඉනිම අවසන් කරන විට ඔහු පන්දු 96කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 57ක් ලබා සිටියේ ය.
>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<
දිමුත් සහ ඇන්ජලෝ සිව්වැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 77කි. දිමුත් ගේ දැවී යෑමෙන් අනතුරු ව මැතිව්ස් හා එක් වූයේ රොෂේන් සිල්වා ය. ඔහු හා යන ගමනේ දී ඇන්ජලෝ තමන් මුහුණ දුන් 75 වැනි පන්දුවේ දී අර්ධ ශතකය ලබා ගත්තේ ය.
මැතිව්ස් වරෙක ඉනිවැටක් වන් එකේ ලකුණු 22ක් එක දිගට ලබා ගත්තේ ය. මැතිව්ස් සහ රොෂේන් අතර 5 වැනි කඩුල්ලට පන්දු 159ක දී ලකුණු 73ක් එක් වෙද්දී රොෂේන් දැවී ගියේ නැවත වරක් නොදුන් විනිසුරු තීරණයක් අභියෝගයට ලක් වීමෙනි. ඒ වෙද්දී රොෂේන් පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 37ක් ලබා සිටියේ ය.
අනතුරුව මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල හා එක් වෙමින් ඉනිම තේ විවේකය දක්වා රැගෙන ගියේ කඩුලු 5ක් දැවී ලකුණු 219ක් වෙද්දී ය. තේ විවේකයෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිම ද නිමා විය. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් මැතිව්ස් දැවී යන විට පන්දු 137කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 88ක් ලබා සිටියේ ය. මැතිව්ස් සහ දික්වැල්ල අතර 6 වැනි කඩුල්ලට සබඳතාව ලකුණු 45කි.
මැතිව්ස්ගේ දැවී යෑමෙන් අනතුරු ව ඩිල්රුවන් පෙරේරා තරගය නතර කිරීමට පෙර පන්දුවේ දී දැවී ගියේ ලකුණු දෙකකට ය. මේ වන විට පිටියේ නොදැවී රැඳී සිටින නිරෝෂන් දික්වැල්ල පන්දු 30කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ලබා සිටී. අනෙක් අන්තයට පිවිසීමට නියමිතව ඇත්තේ අකිල දනංජය ය.
කඩුලු ලබා ගැනීමේ දී ජැක් ලීච් ලකුණු 73කට කඩුලු 4ක් ද, මොයින් අලී ලකුණු 65කට කඩුලු දෙකක් ද දවාගෙන සිටිය හ.
වර්ෂාව දිගින් දිගට ම සක්‍රීය වීම හේතුවෙන් පස්වරු 4.00ට පමණ තරගය සිව්වැනි දිනට නතර කිරීමට විනිසුරුවෝ තීරණය කළහ. හෙට (18) තරගයේ අවසන් දිනයයි.
එංගලන්තය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 290 (75.4) රෝරි බර්න්ස් 43, ජොස් බට්ලර් 63, සෑම් කුරන් 64, අදීල් රෂීඩ් 31, ඩිල්රුවන් පෙරේරා 4/61, මාලින්ද පුෂ්පකුමාර 3/89, අකිල දනංජය 2/80
ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 336 (103) දිමුත් කරුණාරත්න 63, ධනංජය ද සිල්වා 59, ඇන්ජලෝ මැතිව්ස් 20, රොෂේන් සිල්වා 85, නිරෝෂන් දික්වැල්ල 25, අකිල දනංජය 31, ජැක් ලීච් 3/70, මොයින් අලි 2/85, අදිල් රෂීඩ් 3/75
එංගලන්තය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 346 (80.4) රෝරි බර්න්ස් 59, කීටන් ජෙනින්ග්ස් 26, ජෝ රූට් 124, ජොස් බට්ලර් 34, බෙන් ෆෝක්ස් නොදැවී 65, ඩිල්රුවන් පෙරේරා 3/96, අකිල දනංජය 6/115
ශ්‍රී ලංකාව; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 226 (65.2) දිමුත් කරුණාරත්න 57, ඇන්ජලෝ මැතිව්ස් 88, රොෂේන් සිල්වා 37, නිරෝෂන් දික්වැල්ල නොදැවී 27, ජැක් ලීච් 4/73, මොයින් අලි 2/65
ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<