බරත් නෑ, වැඩත් නෑ

ලෝක කුසලානයේ නෑසූ කතා (24)

778

1992 බෙන්සන් සහ හෙජස් ලෝක කුසලානයේ පාකිස්තානු කණ්ඩායමේ සුවිශේෂී පිතිකරණ සොයා ගැනීම වූයේ ඉන්සමාම් උල්හක්ය. 

තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් බලාපොරොත්තු දල්වාගෙන සිටි නවසීලන්ත කණ්ඩායමේ ලෝක කුසලාන ගමනට තිත වැටුණේත්, එංගලන්ත කණ්ඩායමට ලෝක කුසලානය පෙනෙන නොපෙනෙන මානයට පැමිණ හිස් අතින්ම ගෙදර යෑමට සිදු වූයේත් ඉන්සමාම්ගේ හිතුවක්කාර, වේගවත් ප්‍රහාරය නිසාවෙනි. 

උපන්බිමේ ලෝක කුසලාන සිහින බොඳ කළ ප්‍රහාරකයා

1992 ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සම සත්කාරකත්වයෙන් පැවති බෙන්….

2003 අප්‍රිකානු මහද්වීපයේ පැවති ලෝක කුසලානයටත් ඉන්සමාම් ආවේ ඊට වසර එකොළහකට පෙර කළ වික්‍රමය නැවත වතාවක් කිරීමේ තිර අදිටන ඇතිවය.

නමුත් වසර අනූ ගණන්වල මුල සිටි ඉන්සමාම්ට වඩා සෑහෙන වෙනසක් දකුණු අප්‍රිකාවට ආ ඉන්සමාම්ගේ තිබුණි. ඒ අධික තරබාරු පෙනුමයි. නමුත් ඉන්සමාම් තම පැරණි පෙනුම ලබා ගැනීම වෙනුවෙන් සෑහෙන කැපවීමක් කරමින් සිටියේය.

“1992 සිටි සිහින් සිරුරක් ඇති ඉන්සමාම් වගේ වෙන්නයි මට උවමනා. බර අඩු කරගැනීම වෙනුවෙන් මට සෑහෙන කැප කිරීමක් කරන්න සිදු වුනා. එය අනිවාර්යයෙන්ම කළ යුතු කටයුත්තක් ලෙස මා සලකනවා. ලෝක කුසලානය කියන්නේ මට වගේම පාකිස්තානයේ සිටින මිලියන 140ක ජනතාවකට ඉතාම වැදගත් අවස්ථාවක්. මා දස්කම් දක්වන තෙක් ඔවුන් බලා සිටිනවා.” ලෝක කුසලානය වෙනුවෙන් දකුණු අප්‍රිකාවට පැමිණි වහාම ඉන්සමාම් ජොහැන්ස්බර්ග් හිදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළෞය.

එවර ඉන්සමාම් උල්හක් දකුණු අප්‍රිකාවට පැමිණියේ පාකිස්තානු කණ්ඩායමේ උපනායකයා ලෙසය. මාස හයක් තිස්සේ විශාල කැපවීමක් කරමින් කිලෝග්‍රෑම් දාහතකින් බර අඩු කරගෙන සිටි ඉන්සමාම්ගේ පැතුම වූයේ වැඩි ජවයකින් උසස් දස්කම් දැක්වීමටය.

ඉන්සමාම්ගේ මෙම තරබාරු දේහ ස්වරූපය ප්‍රේක්ෂකයින් පවා විහිළුවකට ගත්තේ වරක් දෙවරක් නොවේ. වරක් ඉන්සමාම්ගේ තරබාරුව විහිළුවකට ගත් ප්‍රේක්ෂකයෙකුට බැට දෙන්නට පිත්තක් උසවා ගෙන ප්‍රේක්ෂකාගරයට පැනීමට තරම් පාකිස්තානුවාගේ සීමාව ඉක්මවා ගොස් තිබුණි.

“කවුරුත් මාව මේ පාර නම් බර අඩු කරගත්තා කියල විවේචනය කරන එකක් නැති වේවි. පාකිස්තානුවන් මා කෙරෙහි විශාල බලාපොරොත්තු තබා සිටින්නේ. මම පාකිස්තානු ජයග්‍රහණයට විශාල දායකත්වයක් දිය යුතුයි. බර අඩු කම නිසා මට වැඩි වෙලාවක් කඩුල්ලේ ඉන්න හැකි වේවි. මගේ අධික බර දණහිස් දෙකටත් හරිම ප්‍රශ්නයක්. මගේ කඩුලු අතර දිවීමත් ඉක්මන් වෙයි කියල හිතනවා.” ඉන්සමාම් ප්‍රකාශ කළේ පුළුල් සිනහවකින් මුව සරසා ගෙනය. 

කඩුලු අතර දිවීමේ දී ඉන්සමාම් තරම්  ක්‍රිකට් පිටියේ විහිළුවකට ලක්වූ ක්‍රීඩකයෙකු තවත් සිටියේ නැත. එයට ප්‍රධාන හේතුවක් වූයේත් ඉන්සමාම්ට සදා හිසරදයක් වූ අධික ස්ථුලතාවයයි.

නමුත් අවාසනාවක මහත, ඉන්සමාම්ගේ ශරීර බරට වඩා වේගයකින් ඔහුගේ ලෝක කුසලාන පිතිකරණ දක්ෂතා පහළ බැස තිබුණි.

ඕස්ට්‍රේලියානුවන් සමඟ ලෝක කුසලානයේ මුල්ම තරගයට ක්‍රීඩා කළ ඉන්සමාම්ට ලබාගත හැකි වූයේ ලකුණු 06කි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට කෝඩුකාර නැමීබියාව හමුවේ ලකුණු 04කට දැවී ගිය ඉන්සමාම් එංගලන්තය සමඟ පැවති තරගයේ මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේය. 

නෙදර්ලන්ත සමඟ නැවත වතාවක් ලකුණු නොලබා දැවී ගිය පාකිස්තානු උපනායකයා ඉන්දියානුවන් හමුවේ ලකුණු 06කට දුවද්දී දැවී ගියේය. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පන්දු අටකින් ලකුණු 03ක් වාර්තා කළ ඉන්සමාම් 2003 ලෝක කුසලානයට සමුදුන්නේ සෑහෙන සිත් තැවුලකින්ය. ලෝක කුසලානයේ ඉනිම හයක් ක්‍රීඩා කළ ඉන්සමාම් ලබා ගත්තේ ලකුණු 19ක් පමණි.

අත්දැකීම් සපිරි ඉන්සමාම්ගේ අසාර්ථකත්වය පාකිස්තානු කණ්ඩායමේ ලෝක කුසලාන ගමනට එල්ල කළේ විශාල බාධාවකි. ක්‍රීඩා කළ තරග හයකින් ඔවුනට ජය ගත හැකි වූයේ නැමීබියාව සමඟ තරගය සහ නෙදර්ලන්ත තරගය පමණි. මේ නිසාම ලෝක කුසලානයේ මුල් වටයෙන්ම නැවත නිවෙස් බලා එන්නට පාකිස්තානුවන්ට සිදු විය.

2003 ලෝක කුසලානයේ එලෙස අසාර්ථක වූ ඉන්සමාම් වසර කිහිපයකට පසු තමා බර අඩු කරගැනීමෙන් කළ මෝඩකම ගැන සෑහෙන පසුතැවීමකින් කතා කළේය.

“මම ආයේ කවදාවත් එහෙම මෝඩ වැඩක් කරන එකක් නැති වෙයි. මම බර අඩු කරගැනීමට සෑහෙන මහන්සි වුනා. නමුත් බරත් සමගම මගේ දස්කම් පවා අඩු වුනා. කිලෝග්‍රෑම් දාහතකට මම ලබාගත්තේ ලකුණු 19යි. මම මහත් කනගාටුවට පත්වුනා. මේ නිසා ක්‍රිකට් ක්‍රීඩාවට සමුදිය යුතුයි කියල සිතුණ වාර අපමණයි. 

ලෝක කුසලානයේ අසාර්ථකත්වය නිසා මාව ටෙස්ට් කණ්ඩායමෙනුත් ඉවත් කළා. එය සෑහෙන වේදනාකාරී අත්දැකීමක් වුනා.

මගේ බර, ශරීර ස්වරූපය ඒ දවස්වල මට සෑහෙන ප්‍රශ්නයක් වුනා. ප්‍රේක්ෂකයින් මට හිනා වුනා. ඒවා ධනාත්මක ආකාරයෙන් කරන විවේචනයන් නම් කමක් නෑ. නමුත් බොහෝ දෙනා මට පෞද්ගලිකව පහර දුන්නේ. ඒ අවස්ථාවවල මටත් දරුණු ආකාරයෙන් කේන්ති ගියා. නමුත් මම දැන් දන්නවා කේන්ති ගැනීමෙන් ප්‍රතිඵලයක් නැති බව. මම දැන් තරමක් තැන්පත් පුද්ගලයෙක්.”


1996 ලෝක කුසලානයේ කෝලා යුද්ධය 

1996 ඉන්දියානු උපමහද්වීපයේ පැවති ලෝක කුසලානයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා ගැනීමට ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් වන කොකා කෝලා සහ පෙප්සි අතර පැවතියේ විශාල සටනකි. 

එදා පෙප්සි සමාගම පරදවා අනුග්‍රාහක සටන ජය ගන්නට කොකා කෝලා සමාගමට අවස්ථාව ලැබුණි. ලෝක කුසලානයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාගැනීමට කොකා කෝලා සමාගම ගෙවූ මුදල ඩොලර් මිලියන 3.7කි. නමුත් ලෙහෙසියෙන් පරාජය බාර ගැනීමට පෙප්සි සමාගම සූදානම්  වූයේ නැත. 

කොකා කෝලා සමාගමට එකට එක කිරීම පිණිස ‘Nothing Official About It’ යන තේමාව යටතේ වෙළඳ දැන්වීම් කිහිපයක් එළි දක්වන්නට පෙප්සි සමාගම කටයුතු කර තිබුණි. ඒ සඳහා සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් රාශියක් එක්ව සිටි අතර එම දැන්වීම්වල තිබූ නව්‍යතාවය නිසාම කොකා කෝලා පරදවා වැඩි වැඩියෙන් ජනතාව අතරට යන්නට පෙප්සි සමාගමට හැකියාව ලැබුණි.  ප්‍රධාන අනුග්‍රාහක සමාගම අභිබවා වෙනත් සමාගමක් තම වාණිජ අරමුණුවල ඉහළටම ගිය අවස්ථාවක් ලෙස 1996 ලෝක කුසලානයේ කොකා කෝලා – පෙප්සි සටන හැඳින්විය හැකිය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<