Skip to main content
අකිලගේ මැජික් පන්දුව කඩුලු 6කට තට්ටු කරයි

අකිලගේ මැජික් පන්දුව කඩුලු 6කට තට්ටු කරයි

Premachandra
16/11/2018

එංගලන්ත පිතිකරුවන්ට කෙසේ පන්දු යැවිය යුතු දැයි ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ළතැවෙමින් සිටිය දී අකිල දනංජය විසින් එංගලන්ත යටිපෙළ විනාශයට පත් කරමින් පෑ දක්ෂතා පමණක් ශ්‍රී ලංකාවට සැනසීමක් වෙමින් දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය (16) නිමා විය.  

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට අනවසරයෙන් පැමිණි අඳුර හේතුවෙන් තරගය සවස 4.16ට තාවකාලිකව නතර කෙරුණ අතර ඒ වෙද්දී එංගලන්ත ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 324ක් ලබා සිටිය හ. ඒ අනුව එංගලන්තය තවත් කඩුල්ලක් අතැතිව සත්කාරකයන්ට වඩා ලකුණු 278ක් ඉදිරියෙන් සිටියේ ය.

දිමුත්, ධනංජය ගොඩ නැගූ ඉනිම රොෂේන් සතුටින් අවසන් කරයි

එංගලන්ත පන්දු යවන්නන්ගේ තේජස හමුවේ අසරණ වෙමින් සිටි ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ගැලවුම්කරු වූ රොෂේන් සිල්වා පසුපෙළ පිතිකරුවන් ද ඔසවා ගෙන යමින් ශ්‍රී ලංකාව, එංගලන්ත පළමු...
ඉන් අනතුරුව ක්‍රීඩාංගණයට වැටුණු වැස්ස හේතුවෙන් තරගය තෙවැනි දිනයට නතර කරන විට අකිල දනංජය ලකුණු 106කට කඩුලු 6ක් දවාගෙන සිටියේ ය. අකිලගේ ටෙස්ට් තරග දිවියේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් මෙම දක්ෂතාව ඉදිරියට පැමිණි අතර එතෙක් එකී වාර්තාව ලියැවී තිබුණේ බංග්ලාදේශයට එරෙහිව ඩකා හි දී ලකුණු 24කට ලබා ගත් කඩුලු 5යි.

එංගලන්ත ඉනිමේ දිනයේ දෙවැනි පන්දු වාරය නිලකුණු පන්දු වාරයක් වූ අතර ඊට පසුව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නිලකුණු පන්දු වාරයක් යැවීමට හැකි වෙන්නේ පන්දුවාර 68කට පසුවිය. එංගලන්ත ක්‍රීඩකයෝ කෙසේ තරගයට අවතීර්ණ වී ද යත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දිනයේ යැවූණු පන්දුවාර 75න් නිලකුණු පන්දුවාර යවනුයේ දෙකක් පමණි.

දවසේ කැපී පෙනෙන පිතිකරු වූයේ එංගලන්ත නායක ජෝ රූට් ය. ඔහු පන්දු 146කට මුහුණ දෙමින් හතරේ පහර10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 124ක් ලබා ගත්තේ ය. ඔහු අද ලබා ගත්තේ තම ටෙස්ට් තරග දිවියේ 15 වැනි ශතකයයි.

දිනයේ යැවුණ දෙවැනි පන්දු වාරයේ තෙවැනි පන්දුවේ දී එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් විය. ඒ ජැක් ලීච් (01) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනි. එය නොදුන් විනිසුරු තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් කළ ඉල්ලීම මත කෙරුණ සලකා බැලීමේ දී ලද ත්‍යාගයකි. කඩුල්ලේ හිමිකාරිත්වය ඩිල්රුවන් පෙරේරා සතු විය.

බංග්ලාදේශ - සිම්බාබ්වේ සංග්‍රාමයේ ක්‍රීඩකයෝ එකට එක කරති

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඩකාහි ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේ දී අද (15) නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කරමින් ලකුණු...

දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක සබඳතාවක් එක් කිරීමට රෝරි බර්න්ස් සහ කීට්න් ජෙනින්ග්ස් සමත් වූහ. ඔවුන් දෙදෙනා පන්දු 99ක් මේ වෙනුවෙන් වැය කළහ. අකිල දනංජයගේ පන්දුවකට ධනංජය ද සිල්වා විසින් රැක ගත් උඩ පන්දුවක් හේතුවෙන් කීට්න් ජෙනින්ග්ස් ලකුණු 26කට දැවී ගියේ මුහුණ දුන් 53 වැනි පන්දුවේ දී ය.

අනතුරුව රෝරි බර්න්ස් සමග එකතු වූයේ නායක ජෝ රූට් ය. ඔවුන්ගේ එකතු වීමත් සමsන්ම රෝරි බර්න්ස් තම ටෙස්ට් තරග දිවියේ මංගල අර්ධ ශතකය 61 වැනි පන්දුවේ දී වාර්තා කළේය. එතැන් සිට ගෙන ගිය ගමන ලකුණු 59ක් වෙද්දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් අවසන් කිරීමට මාලින්ද පුෂ්පකුමාර සමත් වූයේ නැවත විනිසුරු නොදුන් තීරණය අභියෝගයට ලක් කරමිනි. ඒ වෙද්දී එංගලන්ත ඉනිම ලකුණු 108ක් විය.

ඉන් අනතුරුව යැවුණ ඊළඟ පන්දුවාරයේ පළමු පන්දුවේ දී ඩිල්රුවන්ගේ පන්දුවක් ජෝ රූට්ගේ පාදයේ වැදීම ගැන ඉල්ලූ ඉල්ලීම විනිසුරු ප්‍රතික්ෂේප කිරීම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නැවත එය අභියෝගයට ලක් කෙරුණි. එහෙත් එම ඉල්ලීම තෙවැනි විනිසුරුවරයා ද නිශ්ප්‍රභ කළේය. ඒ අනුව ශ්‍රී ලංකාව සතුව තිබූ විනිසුරු තීරණයක් සලකා බැලීම් සියල්ල අවසන් විය.

නමුත් ඊට පසුව යැවුණ තෙවැනි පන්දුවේ දී බෙන් ස්ටොක්ස් කඩුල්ල මුවා කිරීමේ වරදටම හසුකර ගැනීමට ඩිල්රුවන් සමත් විය. විනිසුරු ලබා දුන් එම තීරණය එංගලන්ත ක්‍රීඩකයෝ අභියෝගයට ලක්කළ අතර ඔවුන්ට ද සිදු වූයේ ශ්‍රී ලංකාවට වුන වින්නැහියම ය. එතැන් සිට කණ්ඩායම් දෙකම විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ අවස්ථා නොමැතිව තරගය වැදුණි.

තරගයේ දිවා විවේකය වෙද්දී එංගලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 131ක් ලබා සිටිය හ. එය එංගලන්තයට අනුව තරමක පසුබැසීමක් වුව ද දිනයේ දෙවැනි කාර්තුවේ දී කඩුලු දෙකක් පමණක් අහිමි කර ගනිමින් ලකුණු 128ක් එක් කර ගැනීමට ඔවුන් සමත් විය. එහි දී වැඩි මෙහෙවරක් කළේ ජෝ රූට් ය. සවස තේ පානයට තරගය නතර කරන විට ජෝ රූට් නොදැවී ලකුණු 98ක් ලබා සිටියේ ය.

තේ විවේකයෙන් අනතුරුව ජෝ රූට් ද ඉනිම අතහැර යන්නේ අකිල දනංජයට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමිනි. ඒ වෙද්දී එංගලන්ත ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 301ක් විය. රූට් සහ ෆෝකස් අතර එම කඩුල්ලේ සබඳතාව ලකුණු 82ක් වූයේ එය එංගලන්ත ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ද බවට පත් කරමිනි.

රූට්ගේ දැවී යෑමෙන් අනතුරුව යැවුණ පන්දුවේ දී සැම් කරන් දවා ගැනීමට සමත් වූ අකිල කඩුලු ත්‍රිත්වයකට යෑමේ අවස්ථාව ලබා ගන්නා ලදි. එහෙත් එම අවස්ථාව ඔහුගෙන් ගිලිහුණේ අදීල් රෂිඩ් ලකුණක් ලබා ගැනීමත් සමඟිනි.

අයහපත් ආලෝක තත්ත්වය මත තරගය නතර කරන්නට පෙර යැවුණ පන්දුවට හයේ පහරක් එල්ල කළ බෙන් ෆෝකස් තම අර්ධ ශතකය වාර්තා කළේය. ඒ අනුව ඔහු පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබා සිටියේ ය. අනෙක් අන්තයේ සිටියේ ජේම්ස් ඇන්ඩර්සන් (04*) ය.

කඩුලු ලබා ගැනීමේ දී අකිලට අමතරව ඩිල්රුවන් පෙරේරා ලකුණු 87කට කඩුලු 2ක් දවා ගත්තේ ය. මාලින්ද පුෂ්පකුමාරට අද ලබා ගත හැකි වූයේ කඩුල්ලක් පමණි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න

තරගය හෙට (17) දිනයේත් ක්‍රියාත්මක වීමට නියමිත ය.

එංගලන්තය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 290 (75.4) රෝරි බර්න්ස් 43, ජොස් බට්ලර් 63, සෑම් කුරන් 64, අදීල් රෂීඩ් 31, ඩිල්රුවන් පෙරේරා 4/61, මාලින්ද පුෂ්පකුමාර 3/89, අකිල දනංජය 2/80

ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 336 (103) දිමුත් කරුණාරත්න 63, ධනංජය ද සිල්වා 59, ඇන්ජලෝ මැතිව්ස් 20, රොෂේන් සිල්වා 85, නිරෝෂන් දික්වැල්ල 25, අකිල දනංජය 31, ජැක් ලීච් 3/70, මොයින් අලි 2/85, අදිල් රෂීඩ් 3/75

එංගලන්තය; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 324 (76) රෝරි බර්න්ස් 59, කීටන් ජෙනින්ග්ස් 26, ජෝ රූට් 124, ජොස් බට්ලර් 34, බෙන් ෆෝක්ස් නොදැවී 51,  ඩිල්රුවන් පෙරේරා 2/87, අකිල දනංජය 6/106

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න

 
Sinhala
Layout Content
Single Image Layout

About

We are professional and reliable provider since we offer customers the most powerful and beautiful themes. Besides, we always catch the latest technology and adapt to follow world’s new trends to deliver the best themes to the market.