පලඟ ශූරතාවයට තරග කරන කණ්ඩායම්වල පැටිකිරිය

452

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ හා දෙවන වටයේ තරග මේ වන විට අවසන් වී ඇති අතර මීළඟට සුපිරි වටයේ තරග ආරම්භ වීමට නියමිතයි.

මෙම සුපිරි වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙනු ඇත. එහි දී ලකුණු සටහනේ මුල් ස්ථාන 4 ලබාගත් කණ්ඩායම් 4 කුසලානය (Cup Championship) සඳහා තරග කරන අතර අවසන් ස්ථාන 4 ලබාගත් කණ්ඩායම් 4 පලඟ ශූරතාවය (Plate Championship) සඳහා තරගවදී.

මෙවර තරගාවලියේ පළමු වටය නිමා වන විට මුල් ස්ථාන 4 ලබාගෙන සිටි කණ්ඩායම්වල වෙනසක් දෙවන වටය අවසානයේ දක්නට ලැබෙන අතර පළමු වටයේ යම් පසුබෑමකට ලක්වී සිටි කණ්ඩායම් දෙවන වටයේ දී දක්ෂ ලෙස තරගාවලියට අවතීර්ණ වන ආකාරයක් දක්නට ලැබුණි.

මෙවර ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ පෙරළිකාරයන් වීමට සූදානම් බව අඟවමින් යුද හමුදාව තරගාවලියේ ප්‍රබලයන් කීපදෙනෙකුටම අභියෝග කළ අතර ලකුණු සටහනේ 5 වන ස්ථානය වෙන්කර ගැනීමට ද ඔවුන් සමත් විය.

වීරයන් මුණගැසෙන සුපිරි වටයේ ජය කාටද?

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ හා දෙවන වටයේ තරග මේ වන විට අවසන් වී ඇති අතර මීළඟට සුපිරි වටයේ තරග ආරම්භ වීමට නියමිතයි. මෙම සුපිරි…

තරගාවලියේ මුල් සති කීපය තුල දක්ෂ ලෙස ක්‍රීඩා කළ නාවික හමුදාව ලකුණු සටහනේ 3 වන ස්ථානය වෙන්කර ගැනීමට සමත් වුවත් පසු තරගවල දී ඔවුන්ගේ තරග රටාව එතරම් සාර්ථක නොවීය. මේ නිසා දෙවන වටයේ දැඩි පසුබෑමකට ලක්වූ නාවිකයන් තරගය අවසන් කළේ 7 වැන්නා ලෙසයි.

සුපිරි වටයේ තරග කාලසටහන අනුව පලඟ ශූරතාවය සඳහා යුද හමුදාව ගුවන් හමුදාව සමඟින් තරග බිමට පිවිසෙන අතර පොලිස් කණ්ඩායම නාවිකයන් සමඟින් තරග වැදීමට නියමිතයි.

ThePapare.com ඔබ වෙත ගෙන එන මේ සටහන මෙවර තරගාවලිය දෙස නැවත හැරී බැලීමකි.

ප්‍රබලයන් දණගැස්වූ ‍යුද හමුදාව

තරගාවලියේ ආරම්භක තරගවල දී එතරම් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් නොවූවද ප්‍රබල කණ්ඩායම් හමුවේ නොපසුබට උත්සාහයෙන් තරග වැදුණු යුද හමුදාව පළමු වටයේ දී CH&FC කණ්ඩායම පරාජය කළේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ලෙසිනි.

පළමු වටය නිමා වන විට යුද හමුදාව, හැව්ලොක් (23-12), මහනුවර (10-38), නාවික හමුදා (14-29), පොලිස් (41-19) කණ්ඩායම් හමුවේ පරාජය වුවත් ගුවන් හමුදාව (17-29), CH&FC (24-18) හමුවේ ජයග්‍රහණ වාර්තා කළේය.

යුද හමුදාව සහ CR&FC අතර තරගය ජය පරාජයකින් තොරව නිමා කර ගත් ඔවුන් දෙවන වටයට පිවිසියේය. තරගාවලියේ දෙවන වටයේ තරගයක් සඳහා යුද හමුදාවට ඒ වන විට නොකඩවා තරග 33ක් ජයග්‍රහණය කර අපරාජිතව තරගාවලි 3ක් නිමා කළ මහනුවර කණ්ඩායම නිත්තවෙල දී මුණගැසුණු අතර මෙවර තරගාවලියේ වඩාත්ම කතාබහට ලක්වූ එම තරගය අවසන් මිනිත්තුවේ දී ජයග්‍රහණය කිරීමට යුද හමුදාව සමත් වූයේ ලකුණු 22-23ක් ලෙස එක් ලකුණක පරතරයක් තබා ගනිමිනි.

ඒ සමඟම මහනුවර අපරාජිත ගමනට තිත තැබුණු අතර එය වසර 3කට පසු මහනුවර ලැබූ එකම පරාජය විය. එම ජයග්‍රහණයෙන් ලැබූ පන්නරයත් සමඟම යුද හමුදාව නාවිකයන්ට ද අමතක නොවන පාඩමක් ඉගැන්වූයේ ලකුණු 27-25ක් ලෙස පරාජය කරමිනි.

දෙවන වටයේ දී CH කණ්ඩායම සමඟ පැවති තරගය දක්ෂ ලෙස ක්‍රීඩා කළ යුද හමුදාවට එහි ජයග්‍රහණය අවාසනාවන්ත ලෙස මගහැරී ගිය ද ලකුණු සටහනේ 5 වැන්නා ලෙස තරගාවලිය නිමා කළහ.

කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තම උපරිමයෙන් ඉටු කරන චන්දිම අබේරත්නට මනා සහයක් ඉදිරිපෙළ ක්‍රීඩකයන් වන අශෝක ජයලාල්, දිලීප නිරෝශන්ගෙන් හිමි වේ. අශාන් බණ්ඩාර ‍යුද හමුදාව වෙනුවෙන් තම උපරිම දායකත්වය දක්වන අතර කණ්ඩායම ලබා ගත් ජයග්‍රහණවල වැඩි කර්තව්‍යයක් ඉටු කරන ලද්දේ ඔහු විසිනි. ගයාන් සාලින්ද කණ්ඩායමට ශක්තියක් වෙමින් මැදපෙළ මෙහෙයවන අතර සමස්තයක් ලෙස කණ්ඩායම තුල ඇති සහයෝගය සහ නොපසුබට උත්සාහය කණ්ඩායමේ සාර්ථකත්වයට මග පෙන්වයි.

සුපිරි වටයේ පලඟ ශූරතාවය සඳහා යුද හමුදාව ගුවන් හමුදාව සමඟින් එළඹෙන 23 වැනිදා වැලිසර දී තරග වැදීමට නියමිතයි.

සුපිරි සති අන්තයකට ඔබ සූදානම් ද?

මෙවර ඩයලොග් රග්බි ලීගයේ සුපිරි වටයේ තරග මෙම සති අන්තයේදී (23,24) ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව මෙවර ලීගයේ සාර්ථක 15 වැනි සතිය මෙසේ…

අනපේක්ෂිත ජයග්‍රහණ ලැබූ පොලීසිය

පොලිස් කණ්ඩායම මෙවර තරගාවලිය අනෙක් වසරවලට සාපේක්ෂව සාර්ථකව අවසන් කළ අතර ලකුණු සටහනේ ඔවුන්ට 6 වන ස්ථානය හිමිවී ඇත. ඔවුන් මුහුණ දුන් තරග 14න් 4ක ජය වාර්තා කළ පොලිස් කණ්ඩායම තරග 9ක් පරාජය වී එක් තරගයක් ජය පරාජයකින් තොරව අවසන් කිරීමට සමත් විය.

පළමු වටයේ දී මුල් තරග 5න් ගුවන් හමුදාව සමඟ තරගය ජයග්‍රහණය කළේ ලකුණු 19-28ක් ලෙසිනි. යුද හමුදාවට එරෙහිව ලකුණු 41-19ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළ පොලිස් කණ්ඩායම සෙසු කණ්ඩායම් වන නාවික හමුදාව (23-24), CR&FC (17-38), හැව්ලොක් (26-31), මහනුවර (23-32), CH&FC (24-29) හමුවේ පරාජය විය.

දෙවන වටයට හොඳ ආරම්භයක් ලබාගත් පොලිස් කණ්ඩායම CR&FC කණ්ඩායම පරාජය කළේ ලකුණු 18-21ක් ලෙසිනි. දෙවන වටයේ දී නාවික හමුදාව ද ලකුණු 17-26ක් ලෙස පරාජය කරන පොලීසිය සෙසු තරග පරාජය වීම නිසා 6වන ස්ථානය ලබාගෙන දෙවන වටය අවසන් කළහ.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම මෙහෙයවීම චානක උදාර විසින් සිදු කරන අතර සචිත් සිල්වා, වගීශ වීරසිංහ, උදය සංජුල, ලහිරු පවිත්‍ර වැනි දක්ෂ ක්‍රීඩකයන් රැසක් කණ්ඩායම වෙනුවෙන් දායකත්වය දක්වයි.

කණ්ඩායමේ ප්‍රධානම තුරුම්පුව වන සචිත් සිල්වා තම අත්දැකීම් උපයෝගී කරගනිමින් ජයග්‍රහණ හඹා යන අතර සෙසු ක්‍රීඩකයන් ද තම උපරිම දායකත්වය දක්වයි.

සුපිරි වටයේ පලඟ ශූරතාවය සඳහා පොලිස් කණ්ඩායම නාවික හමුදාව සමඟින් පෙබරවාරි 24 පොලිස් පාක් ක්‍රීඩාංගණයේ දී තරග වදිනු ඇත.

ශූරයින්ගේ මාරයා නැවතත් A කාණ්ඩයේ පෙරළියකට

පාසල් රග්බි පිටියට වෙනස්ම වර්ණයක් ගෙනා ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය රග්බි කණ්ඩායම මෙවර සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දී ප්‍රබල කණ්ඩායම් රැසකටම ප්‍රබල…

දෙවන වටයේ අසාර්ථක වූ නාවිකයන්

තිළිණ වීරසිංහගේ මෙහෙය වීමෙන් සාලිය හඳපාන්ගොඩ, බුද්ධිම පියරත්න, සුපුන් පීරිස්, කසුන් ද සිල්වා, අබ්සාල් මොහොමඩ්, තනුජ මාලිම්බොඩ වැනි ප්‍රබල නම් කිහිපයක් ද සමඟින් තරගාවලියට අවතීර්ණ වූ නාවිකයන් මුල් තරග කීපයේ දී සුපුරුදු රිද්මය ළගාකර ගන්නා ආකාරයක් දක්නට ලැබුණේ පොලිස් (23-24), ගුවන් හමුදා (43-25), යුද හමුදා (14-24) කණ්ඩායම් පරාජය කිරීම නිසාවෙනි.

නාවිකයන් CR&FC (22-28), හැව්ලොක් (22-18), CH&FC (26-34), මහනුවර (20-22) හමුවේ පරාජය වුවත් ලකුණු සටහනේ මුල් ස්ථාන 4 තුල තම කණ්ඩායම රඳවා ගැනීමට සමත් විය. දෙවන වටය නාවික හමුදාවට එතරම් සාර්ථක නොවූ අතර දිගින් දිගටම අසාර්ථක වීම නිසා යම් පසුබෑමකට ලක්වීමට සිදු විය.

එම වටයේ දී ගුවන් හමුදාව සමඟ පැවති තරගය පමණක් ලකුණු 18-17ක් ලෙස තියුණු ජයක් ලබාගත් නාවිකයන් අනික් සියලු තරග පරාජය වූයේ අවාසනාවන්ත ආකාරයෙනි. මහනුවර කණ්ඩායම නාවික හමුදාවට එරෙහිව ලකුණු 63ක් වාර්තා කළ අතර එය මෙතෙක් කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වී ඇත. මෙම පරාජයන් නාවික හමුදාව ලකුණු සටහනේ 7 වන ස්ථානය දක්වා ඇද දැමීමට හේතු විය.

නාවික හමුදාව වෙනුවෙන් බුද්ධිම පියරත්න උත්සාහක දිනුම් 7ක් වාර්තා කර ඇති අතර තිළිණ වීරසිංහ වැඩිම ලකුණුලාභි ක්‍රීඩකයන් අතර 5 වන ස්ථානය ලබාගැනීමට සමත්ව සිටී.

බලාපොරොත්තු සහිතව ගුවන් හමුදාව

තරගාවලියේ තමන් මුහුණ දුන් තරග 14කින් එක් තරගයක් පමණක් ජයග්‍රහණය කර ඇති ගුවන් හමුදාව ලකුණු සටහනේ අවසන් ස්ථානය ලබාගෙන ඇත.

ගයන්ත ඉද්දමල්ගොඩ, ලහිරු උදයංග වැනි ක්‍රීඩකයන්ගෙන් සමන්විත ගුවන් හමුදාවට මෙම තරග වාරය එතරම් සුබදායක නොවීය. කණ්ඩායමේ ඉදිරිපෙළ දුර්වලතා සහ පසුපෙළ ක්‍රීඩකයන් තම උපරිමය කණ්ඩායමට ලබා නොදීම මෙම පසුබෑමට හේතු වන්නට ඇත.

පරාක්‍රම රත්නායක කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් 7ක් වාර්තා කර ඇති අතර ගයන්ත ඉද්දමල්ගොඩ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 51ක් එක් කර ඇත. මෙවර තරගාවලියේ ඔවුන් ලද එකම ජයග්‍රහණය පොලිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 16-7ක් ලෙස වාර්තා විය.

සිදු වූ අත්වැරදීම් ආශීර්වාදයක් කරගෙන ඉදිරි වටයේ දී යුද හමුදාව සමඟ සටන් වැදීමට ගුවන් හමුදාව උත්සාහ කරනු ඇත.

සුපිරි වටයේ පලඟ ශූරතාවය තමන් සතුකර ගැනීමට යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර තරගයේ ජයග්‍රාහකයින් සමඟින් නාවික සහ පොලිස් කණ්ඩායම අතර තරගයේ ජයග්‍රාහකයින් අවසානයේ තරග වදිනු ඇත.

සුපිරි වටයේ පලඟ ශූරතාවයට අදාළ සියලු තරග සජීවීව ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<