ශූරයින්ගේ මාරයා නැවතත් A කාණ්ඩයේ පෙරළියකට

1686

පාසල් රග්බි පිටියට වෙනස්ම වර්ණයක් ගෙනා ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය රග්බි කණ්ඩායම මෙවර සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දී ප්‍රබල කණ්ඩායම් රැසකටම ප්‍රබල අභියෝගයක් වනු නොඅනුමානයි. පසුගිය වසරේ B කාණ්ඩයේ තරග කළත් සුපිරි දක්ෂතා සමඟින් නැවතත් A කාණ්ඩයේ සිය අසුන වෙන්කර ගත් ඔවුන්, මෙවර තරගවාරයට සූදානම් ද?

හරිත හමුදාව මෙවර ලීගයත් රත් කරන්නට සූදානමින්

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව මතක් කළ සැණින් මතකයට එන කණ්ඩායම් ද්විත්වයක් ….

අතීතයෙන් බිඳක්

ගල්කිස්ස හොල්ලමින් විද්‍යා විද්‍යාලය A කාණ්ඩයට පා තැබුවේ 2011 වසරේ දීයි. රග්බි පිටියට නව වර්ණයක් ගෙනා ඔවුන්, ඔවුන්ගේ වේගවත් ක්‍රීඩා රටාවෙන් හා අධිෂ්ඨානශීලී ක්‍රීඩා විලාසයෙන් පාසල් රග්බි පිටිය මවිත කිරීමට සමත් විය.

වරින්වර බාධා පැමිණුනත් අධිෂ්ඨානයෙන් සටන් වැදුණු ඔවුන් ක්‍රමක්‍රමයෙන් පාසල් රග්බි පිටියේ නොසැලෙන සලකුණක් බවට පත් වුනේ නොසිතූ නිමේෂයන් හි ප්‍රබල කණ්ඩායම් කිහිපයකටම නොසිතූ පරාජයන් අත්කර දෙමිනි. ගෙවුණු වසර නවය තුළ විද්‍යා විද්‍යාලය පාසල් රග්බි පිටියේ සෑම කණ්ඩායමක්ම පරාජය කරන්නට සමත් වී ඇත.

ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය රග්බි ඉතිහාසයේ ස්වර්ණමය මොහොත.

විද්‍යා විද්‍යාලයේ පහස ලබා ජාතික තලයට සුපිරි ක්‍රීඩකයින් රැසක් එක්වීම මේ කෙටි කාලය තුළ විද්‍යා විද්‍යාලය රග්බි ක්‍රීඩාවේ හිනිපෙත්තටම ගිය බවට අනර්ඝ සාක්ෂියකි. ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජයේ නායක රිචඩ් ධර්මපාල, ඔහුගේ සොයුරු රිචී ධර්මපාල, ලසිඳු ඉශාන් කරුණාතිලක, ප්‍රින්ස් චාමර වැනි ක්‍රීඩකයින් වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා සංචිතයට ද ක්‍රීඩා කළ අතර රිචඩ් ධර්මපාල ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළේ විද්‍යා විද්‍යාලයට ආඩම්බරයක් වෙමිනි.http://stats.thepapare.com/rugby/team/science-college-mt-lavinia/ලසිඳු ඉශාන් කරුණාතිලක නායකත්වය දැරූ 2015 වසර විද්‍යා විද්‍යාලයීය රග්බි ඉතිහාසයේ ස්වර්ණමය කාල පරිච්ඡේදයයි. ඒ එවකට රග්බි දැවැන්තයින් එකා පිට එකා බිම හෙළමින් ගල්කිස්සේ විද්‍යා රග්බි හමුදාව ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය ජය ගැනීමට සමත් වීම නිසාවෙනි. ඔවුන් අතින් අවසාන තරගයේ දී ලකුණු 21-18ක් ලෙස පරාජය වූයේ ජනාධිපති කුසලානයේ සාර්ථකම කණ්ඩායමක් වන කොළඹ ඉසිපතන විද්‍යාලයීය රග්බි කණ්ඩායමයි.

පසුගිය තරග වාරය

2017 තරගවාරයේ විද්‍යා ක්‍රීඩකයින්ගෙන් A කාණ්ඩයේ අසුන ගිලිහුණේ, ඔවුන් සහභාගී වූ තරග 10න් තරග 8ක්ම පරාජය වීම නිසාවෙනි.

හෂාන් මධුමාධව කණ්ඩායම යළි A කාණ්ඩයට ගෙන ඒමට ඉමහත් මෙහෙයක් ඉටු කරන ලදී.

B කාණ්ඩයට වැටුණු ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය රග්බි කණ්ඩායම නැවතත් සුපුරුදු A කාණ්ඩයට ගෙන ඒමේ වගකීම පැවරුණේ හෂාන් මධුමාධවටයි. හෂාන් ප්‍රමුඛ විද්‍යා නඩය B කාණ්ඩයේ කණ්ඩායම් එකා පිට එකා බිම හෙළමින් පලඟ ශූරතාව දක්වා ඉදිරියට ඇදුණු අතර A කාණ්ඩයේ තරග කළ ධර්මරාජ කණ්ඩායමට ද අමතක නොවන පරාජයක් අත්කර දෙන්නට ඔවුන් සමත් විය.

තීරණාත්මක තරගයක් වූ විද්‍යාර්ථ විද්‍යාලයට එරෙහි තරගය ද ජය ගත් ඔවුන් මලියදේවය හමුවේ පරාජය වුනත් පලඟ ශූරතාවයේ සිව්වැනි ස්ථානය දිනා ගනිමින් නැවතත් A කාණ්ඩයට පිවිසීමට සමත් විය. තරගාවලිය පුරා ඔවුන් සහභාගී වූ තරග 10න් තරග අටක් ජය ගැනීම විශේෂත්වයකි.

මෙවර තරග වාරය

දිනා ගත් A කාණ්ඩයේ අසුන මේ වසරේදීත් රැක ගැනීමේ වගකීම ගල්කිස්ස විද්‍යා විද්‍යාලය විසින් අත්දැකීම් බහුල සිව්වැනි වසරේ ක්‍රීඩකයෙකු වන සශින් මුණසිංහ වෙත භාර දී ඇත.

සශින් මෙවර කණ්ඩායමේ ප්‍රධානතම බලාපොරොත්තුවක් වනු ඇත.

ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වුනත්, වේගවත් සශින් පසුගිය වසරේ දී නායක හෂාන් මධුමාධව හා එක්ව සිය වේගයෙන් ප්‍රතිවාදීන් අන්දමන්ද කළ අතර මේ වසරේදීත් සාර්ථක වීමට නම් විද්‍යා කණ්ඩායමට ඔහුගේ සේවය අත්‍යවශ්‍ය වනු ඇත.

හෂාන් මධුමාධව, ධනංජය ෆොන්සේකා වැනි ප්‍රබල ක්‍රීඩකයින්ගේ අඩුව පිරවීම පළමු පෙළ කණ්ඩායමේ වසර පහක අත්දැකීම් ඇති සංජුල රොහාන්ගේ ප්‍රධානතම වගකීම වනු ඇත. විද්‍යා විද්‍යාලයේ ප්‍රධානතම තරග දිනවන්නෙක් වන ඔහු 2015 මයිලෝ ජනාධිපති කුසලාන අවසන් මහා තරගයේදීත් ඉහළ දස්කම් දක්වන්නට සමත් විය.

මෙවර ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය කණ්ඩයමේ ප්‍රධානතම අවිය වනුයේ ඔවුන්ගේ දැවැන්ත හා අත්දැකීම් බහුල ඉදිරිපෙළයි. දෙනුවන් ලකරඳ හා දිනෙත් අසිඳු සිය නායකයාට අනගි සහයක් ලබා දෙමින් කණ්ඩායමේ ඉදිරිපෙළ සවිමත් කරනු ඇත.

සෙන්ටර් ස්ථානයේ ද ඔවුන්ට අත්දැකීම් බහුල ක්‍රීඩකයින් දෙදෙනෙක් සිටියි. සසිඳු ඉමාෂ් හා නවිඳු මදුශාන් සෙන්ටර් ස්ථානවල ක්‍රීඩා කරමින් කණ්ඩායමේ  පසුපෙළ මෙහෙයවනු ඇත.

දිශාන්ත ප්‍රියදර්ශන මහතා හට මෙවරත් කණ්ඩායමේ වගකීම හිමිව තිබේ.

B කාණ්ඩයට වැටුණු කණ්ඩායම A කාණ්ඩයට ගෙන ඒමට ඉමහත් වෙහෙසක් දැරූ ප්‍රධාන පුහුණුකරු දිශාන්ත ප්‍රියදර්ශන මෙවරත් කණ්ඩායමේ ප්‍රධානතම සවිය වනු ඇත. ඔහුගේ ගුරුහරුකම් වලින් දිරිය ලැබූ ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය රග්බි කණ්ඩායමට මෙවරත් පෙරළියක් කිරීමට හැකි වෙයි ද?

විද්‍යා විද්‍යාලයේ පළමු වටයේ කාල සටහන

  • සාන්ත ජෝසප් විද්‍යාලය හා විද්‍යා විද්‍යාලය – පෙබරවාරි 28, ලොන්ඩන් පෙදෙස
  • සහිරා විද්‍යාලය හා විද්‍යා විද්‍යාලය – මාර්තු 9, විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩාංගණය
  • ඉසිපතන විද්‍යාලය හා විද්‍යා විද්‍යාලය – මාර්තු 16, විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩාංගණය
  • සාන්ත අන්තොනි විද්‍යාලය හා විද්‍යා විද්‍යාලය – මාර්තු 23, නිත්තවෙල
  • ත්‍රිත්ව විද්‍යාලය හා විද්‍යා විද්‍යාලය – මාර්තු 30 – පල්ලෙකැලේ

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<