කඩුලු රකින්නෙකු ලෙස ක්‍රීඩා කළ පළමු තරගයේ දී ඔහු නාසය කඩා ගනී

ඇඩම් ගිල්ක්‍රිස්ට්ගේ ඔබ නෑසූ ජීවිත කතාව (පළමු කොටස)

3721
Getty Images

“එතකොට මට වයස අටක් හෝ නමයක් විතර ඇති. එදින රාත්‍රියේ රෝහලේ ඇදක් මතට වී වේදනාවෙන් කෑගසමින් සිටි මා වෙත පැමිණි අයෙකු මෙලෙස පැවසුවා.

“ඔබ දන්නව ද රොඩ්නි මාෂ් ඔහු ක්‍රීඩා කළ මුල්ම තරගයේදීත් ඔහු මේ ආකාරයෙන්ම නහය කඩා ගත් බව.”

මා ප්‍රීතියෙන් ඉපිල ගියා. රොඩ්නි මාෂ් කියන්නේ මගේ ලෝකයේ වීරයා. ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ කඩුලු රකින්නා. රොඩ්නි මාෂ්ගේ ආරම්භය එලෙස නම් මටත් කවදා හෝ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු රකින්නා වීමට හැකියි සිතිවිල්ලක් මට ඇතිවුණේ. ඔව් ඇත්තෙන්ම නාසය බිඳ ගැනීම හොඳ පෙර නිමිත්තක්.

True Colours: My Life by Adam Gilchrist

මට පසුකලෙක ක්‍රිකට් ඇකඩමියක දී පළමු වතාවට රොඩ්නි මාෂ් හමුවුණා. මා ඔහුගෙන් ඇසූ මුල්ම ප්‍රශ්නය වුනේ ඔබේ මුල්ම තරගයේ දී නාසය කඩා ගත් කතාව ඇත්තක් ද යන්නයි.

“නෑ. එහෙම දෙයක් වුනේ නෑ. රොඩ් මාෂ් පිළිතුරු දුන්නා.

“ඔබට හොඳටම විශ්වාස ද?” මා නැවත ඇසුවා.

“ඔව්. කවමදාවත් එවැන්නක් සිදු වුනේ නැහැ.” එවර රොඩ් පිළිතුරු දුන්නේ තරමක කේන්තියකින්.

මට තේරුම් ගියා එදා රෝහලේ දී යමෙකු රොඩ්නි මාෂ්ගේ නම කියා මගේ හැඬීම නවත්වා ඇති බව.”

වයස අවුරුදු නමයේ දී කඩුලු රකින්නට ගොස් නාසය කඩා ගත් ඇඩම් ගිල්ක්‍රිස්ට් නම් ඉහත කී තරුණයා පසුකලෙක ක්‍රිකට් ක්‍රීඩාවේ කඩුලු රකින්නාගේ භූමිකාව සහමුලින්ම උඩුයටිකුරු කළේය. 

1971 වසරේ නොවැම්බර් 14 වැනිදා ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දී උපත ලද ගිලික්‍රිස්ට් සෙසු ඕස්ට්‍රේලියානු දරුවන් මෙන්ම ඉතා කුඩා අවධියේ දී ම ක්‍රිකට් ක්‍රීඩාව හා පෙමින් බැඳුනේය.

සෑම ඕස්ට්‍රේලියානු දරුවෙකුට වගේම මටත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන මූලික අත්දැකීම ලැබෙන්නේ ගෙදර පිටුපස (Backyard Cricket) ක්‍රීඩා කිරීමෙන්. මට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් මුලින්ම ගුරුහරුකම් ලැබුණේ මගේ පියාගෙන්.

නවසීලන්තයෙන් පැමිණි බෙන් ස්ටෝක්ස්ට එංගලන්තයෙන් රහසින් ආධාර

මීට වසර තුනකට පෙර ඔහුගේ පන්දුවාරයක් හමුවේ පහසුවෙන් දිනා ගැනීමට තිබූ විස්සයි විස්ස ලෝක කුසලානයක්….

ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික තාක්ෂණය මා ඔහුගෙන් ඉතා හොඳින් උගත්තා. මගේ පියා සමඟ සෑම පුහුණු සැසියකින් අනතුරුවම ඔහු මට උපදෙස් දෙනවා හැකි වෙර යොදා පන්දු කිහිපයකට පහර දෙන්නට. මම වැඩියෙන්ම ආසා කළේ ඒ කොටසට. මම තවමත් විශ්වාස කරන්නේ වැරෙන් පන්දුවට පහරදීම තරම් සුපිරිසිදු හැඟීමක් ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැති බවට”

True Colours: My Life by Adam Gilchrist

1992/93 තරගවාරයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෙනුවෙන් පළමු පෙළ වරම් දිනා ගත් ගිල්ක්‍රිස්ට්ට කිසිමදාක නිව් සවුත් වේල්ස් කණ්ඩායමේ කඩුලු රකින්නා වශයෙන් ස්ථාවර වීමට ලැබුණේ නැත.

අතිප්‍රබල නිව් සවුත් වේල්ස් කණ්ඩායමේ තම ස්ථානය තහවුරු කරගන්නට නොහැකිවූ ගිල්ක්‍රිස්ට් 1994/95 කාලයේ දී වාසනාව සොයා බටහිර ඔස්ට්‍රේලියාව බලා සංක්‍රමණය කළේය. ගිල්ක්‍රිස්ට් තම ක්‍රිකට් දිවිය ගැන ගත්තේ බරපතළ අවදානමකි. ඔහුව බටහිර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එක් කරගනී දැයි කිසිදු විශ්වාසයක් හෝ සහතිකයක් ලැබී තිබුණේ නැත.

එලෙස බටහිර ඕස්ට්‍රේලියාවට ගිය ගිල්ක්‍රිස්ට්ට සිදු වුනේ කලින් ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කළ ටිම් සෝරර් සමග බටහිර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු රකින්නාගේ ස්ථානයට තරග වදින්නටය.

තමන් වීරයෙකු ලෙස සැලකූ ටිම් සෝරර්ට අභියෝගයක් ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පැමිණි පිටගම්කාරයාට බටහිර ඕස්ට්‍රේලියානුවන් කිසිම අනුකම්පාවක් දැක්වූයේ නැත. නමුත් එවර ෂෙෆිල්ඩ් ෂීල්ඩ් තරග මාලාවට පෙර පැවති පුහුණු තරගයක දී ලබාගත් ශතකය හේතුවෙන් සෝරර් වෙනුවට බටහිර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තම ස්ථානය ස්ථාවර කරගන්නට ගිල්ක්‍රිස්ට් සමත් විය.

“නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට බටහිර ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම මට කිසිම ලෙසකින් ලෙහෙසි වූයේ නැහැ. මට මතකයි බටහිර ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් මා ක්‍රීඩා කළ පළමු ෂෙෆිල්ඩ් ෂීල්ඩ් තරගය. ප්‍රේක්ෂකයින් මා පන්දුවට පහර දීමට යද්දීත්, නැවත ක්‍රීඩාගාරයට පැමිණෙත්දීත් නොකඩවා “බූ” හඬ නිකුත් කළා. මම මටම කියාගත්තා මොවුන්ගේ ගෞරවය බලෙන් දිනාගත නොහැකියි. ඒ ගෞරවය දිනා වෙනුවෙන් උපරිමයෙන්ම දස්කම් දැක්වීමට සිදු වන බව.

Getty Images

මට මතකයි එදා ප්‍රේක්ෂකාගරයේ සිටි කුඩා දරුවන් කිහිප දෙනෙකු ගිල්ක්‍රිස්ට්, ගිල්ක්‍රිස්ට් කියා කෑගසනවා. මට මගේ අතීතය මතකයට නැගුණා. මා කුඩා දරුවෙකුව සිටි අවධියේ වරක් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මගේ වීරයා වූ රොඩ්නි මාෂ්ට මේ ආකාරයෙන්ම අත වැනුවා. ඔහුත් පෙරලා මට අත වැනුවා. එදා තමයි මම තීරණය කළේ කවදා හෝ දිනක ඕස්ට්‍රේලියානු කඩුලු රකින්නාගේ අත් ආවරණ පැලඳ ගන්නවා කියා. එනිසා මාද පෙරලා ඉහත කී දරුවන්ට අත ඔසවා ආචාර කළා. එකවරම දරුවන් අතරින් ගිල්ක්‍රිස්ට් ගෙදර පලයන් (Gilchrist, Go Home) කියා හඬක් නැඟුණා. එවෙලේ වැකා ක්‍රීඩාංගණයේ තරගය නරඹමින් සිටි බොහෝ දෙනෙකුට එය ඇසුණා. මට එවෙලේ හැඟී ගියා ඔවුන්ගේ ගෞරවය දිනන්නට නම් තවත් බොහෝ දුරක් යෑමට ගිල්ක්‍රිස්ට්ට සිදු වන බව.

ක්‍රිකට් විස්තර විචාරයේ අසමසම හඬ පෞරුෂය හර්ෂ බෝග්ලේ

විස්තර විචාරක කුටියේ අති මනෝරම සුගම විචිත්‍ර බසක් ඔහුට හිමිය. ඔහු උපතින් ඉන්දියානු ජාතිකයෙකි. නමුත් ඔහුගේ වාග් මාලාවෙන්…

තවත් වතාවක මාත් මගේ තවත් මිත්‍රයෙකුත් රාත්‍රි සංචාරයකට කැබ් රථයකට නැගුණා. මගේ මිත්‍රයා ඉදිරි අසුනේ වාඩිවෙද්දී මා පසුපස අසුන තෝරාගත්තා. ටික දුරක් ගමන් කරද්දී මගේ මිත්‍රයා කැබ් රථයේ රියදුරාගෙන් ප්‍රශ්නයක් ඇසුවා.

“ඔබ මොකද හිතන්නේ අර අලුත් කොල්ලා ගිල්ක්‍රිස්ට් ගැන” 

ඔබ විශ්වාස නොකරන දරුණු අන්දමකින් ඔහු සෝරර්ගේ තැන ගන්නට ආ ගිල්ක්‍රිස්ට්ට බැන වැදුණා. රියදුරා දැන සිටියේ නැහැ ඔහු දරුණු ආකාරයෙන් වාග් ප්‍රහාරයක් එල්ල කරන ගිල්ක්‍රිස්ට් එවෙලේ ඔහුගේ රථයේ පිටිපස අසුනේ ගමන් කරමින් සිටින බව.

එවන් අසීරු පරිසරයක් ඉයන් හීලීගෙන් පසුව ඕස්ට්‍රේලියානු කඩුලු රකින්නා ලෙස ස්ථාවර වීමට මට ලබා දුන්නේ ඉමහත් රුකුලක්.”

1996 ඉන්දියාවේ පැවති ටයිටන් කුසලාන එක්දින තරගාවලියට මුල්ම වතාවට ගිල්ක්‍රිස්ට්ට ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම වෙනුවෙන් කැඳවීමක් ලැබෙන්නේය. ඒ ආබාධයකට ලක් වූ ඉයන් හීලි වෙනුවෙනි. හදිස්සියේ කැඳවීමක් ලත් ගිල්ක්‍රිස්ට් තරඟය පැවති දිල්ලි නගරයට පැමිණෙන්නේ තරගයට පෙරදා රාත්‍රියේ දී ය.

හදිස්සියේ සිදු වූ මේ ආදේශකය නිසා ක්‍රීඩාංගණයේ සේවකයන්ට සිදු වූයේ ගිල්ක්‍රිස්ට්ගේ නාමය වෙනුවට මනෝජ් ප්‍රභාකර්ගේ නාමය ප්‍රධාන ලකුණු පුවරුවේ සඳහන් කරන්නටය.

තමාගේ පළමු එක්දින තරගයේ දී පිත්තෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට අපොහොසත් වූ ගිල්ක්‍රිස්ට්ට ඉයන් හීලි සුව වූ වහාම කඩුලු රකින්නාගේ අත් ආවරණ අහිමි විය. නමුත් වෙනත් ක්‍රීඩකයින් ආබාධයන්ට ලක්වීම නිසා පිතිකරුවෙකු ලෙස කණ්ඩායමේ ස්ථානයක් රැකගැනීමට ගිල්ක්‍රිස්ට් සමත් විය.

දෙවැනි කොටසින් හමුවෙමු!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<