යොවුන් පිතිකරුවෝ අර්ධ ශතක රැස්කළත් දිනුම ඕස්ට්‍රේලියාවට

1246

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය අද (05) කොළඹ පී සරා ඕවල් පිටියේ දී පැවැත්විය.

එහි දී ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම වෙනුවෙන් විල් සදර්ලන්ඩ් පන්දු 91කින් ලබාගත් ලකුණු 115 නිසා ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පරදවා ලකුණු 7ක තියුණු  ජයක් ලබා ගත්තේ තරගාවලිය ද 2-0ක් ලෙස ජයග්‍රහණය කරමිනි.

මිෂාරගෙන් සුපිරි ශතකයක්; තරගාවලියේ පෙරමුණ ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත …

කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ඔලිවර් ඩේවිස් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළත් එම තීරණය අභියෝගයට ලක්කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ආරම්භක වේගපන්දු යවන්නා වූ චමිඳු විජේසිංහ පළමු තරගයේ දස්කම් දැක්වූ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු යුගලය වූ ෆැනින්ග්ස් සහ හන්ටර්ව ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුවේ ලකුණු 39ක් සටහන් වන විට ක්‍රීඩාගාරය වෙත හරවා යැව්වේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දෙමිනි.

ලකුණු 39කට කඩුලු දෙකක් දැවී තරමක් අසීරු අඩියකට වැටී සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩාය‍ම එම අවදානමෙන් මුදවාගත් නායක ඩේවිස් සහ ඕට්ස් පන්දු 81කින් අගනා ලකුණු 78ක සබඳතාවයක් ගොඩනැගූ අතර එහි දී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් පන්දු 48ක දී ලකුණු 52ක් ලබා සිටි නායක ඩේවිස්, රොහාන් සංජයගේ පන්දුවකට ඔහු අතටම උඩපන්දුවක් ලබා දී දැවී යන විට ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව සටහන් වූයේ 117/3 ලෙසිනි. එම අවස්ථාවේ නායක ඩේවිස්ගේ කඩුල්ල ලබා ගැනීම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අස්වැසිල්ලක් වූ අතර ඔවුන්ට තරගයේ පාලනය ඔවුන්ගේ අතට ගැනීම සඳහා එම අවස්ථාවේ තවත් ඉක්මන් කඩුලු කිහිපයක් අවශ්‍ය විය.

නායක ඩේවිස්ගේ නික්ම යාමෙන් පසුව පිටියේ එක්වූ ඕට්ස් සහ සදර්ලන්ඩ් මැනවින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ව පාලනය කරමින් විශාල සබඳතාවය ගොඩනැගීම ආරම්භ කළේ එම සබඳතාවය ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට විශාල ලකුණු ප්‍රමාණයකට යාමට අත්වැලක් වන බව ඔවුන් දෙදෙනා දැන සිටි නිසාය.

>>මිලින්ද සහ කමිඳු A ඉනිම ගොඩදායි<< 

ඕට්ස් සහ සදර්ලන්ඩ් පන්දු 114කින් ලකුණු 112ක සබඳතාවය ගොඩනැගුව ද හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් පන්දු 100ක් තුල  ලකුණු 95ක් ලබා සිටි ඕට්ස් ශතකය පෙනි පෙනී තිබිය දී  දැවී යාම කණගාටුදායක සිදුවීමක් විය.

ඕට්ස් එලෙස අවාසනාවන්ත අයුරින් දැවී යාමෙන් අනතුරුව අවසන් පන්දුවාර කිහිපයේ දී විල් සදර්ලන්ඩ් ප්‍රචණ්ඩකාරී අයුරින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පහර එල්ල කරන්නට වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් සමඟින් පන්දු 91ක් තුල ලකුණු 115ක් ලබා ගත්තේ නියමිත පන්දුවාර 50 අවසානයේ දී ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම 304/5 වැනි විශාල ලකුණු ප්‍රමාණයක් කරා රැගෙන යමිනි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ලකුණු 305ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලයට මෙවර හොඳ ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූයේ පළමු තරගයේ දී ලකුණු 45ක් ලබා ගත් නවෝද් පරණවිතාන, ඉයන් කාලයිල් එවූ ඉනිමේ පළමු පන්දුවෙන්ම දැවී යාම නිසාවෙනි. එලෙස ඉනිම ආරම්භයේ දී ම නවෝද් දැවී යාමෙන් අනතුරුව කමිල් සහ සමාස් පිටියේ එක්වුවද නැවතත් ක්‍රියාත්මක වූ කාලයිල් පළමු තරගයේ දී ශතකයක් ලබාගත් කමිල්ව ලකුණු 15කට දවා ගත්තේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 35/2ක් බවට පත් කරමිනි.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා එලෙස ඉක්මනින්ම දැවී යාමෙන් අනතුරුව නායක නිපුන් ධනංජයට එක්වූ මොහොමඩ් සමාස් ඉතාමත් වගකීමෙන් පිතිකරණයේ යෙදෙමින් ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට පෙර සිටම අනතුරු ඇඟවීමක් කළේ පන්දු 123කින් අගනා ලකුණු 115ක සබඳතාවය ගොඩනගිමිනි. එම අවස්ථාව වන විට කඩුලු 8ක් අතැතිව සිටි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දු 138කින් ලකුණු 155ක් පමණක්  අවශ්‍ය වුණු නිසා තරගයේ වැඩි වාසිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සතුවිය.

Photos: Australia U19 Team Tour to Sri Lanka 2019 – 2nd ODI

එලෙස ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම 150/2 ලෙස ස්ථාවර තත්වයකට පත්කිරීමට විශාල මෙහෙවරක් කළ සමාස් හතරේ පහර 11ක් සමඟින් පන්දු 66කින් ලකුණු 69ක් ලබාගෙන සිටිය දී ආබාධයක් නිසා පිටියෙන් ඉවත්වීම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට බලවත් පාඩුවක් විය. නොසිතූ මොහොතක ලැබුණු එම අගනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ ලියාම් මාෂල් පිට පිටම පන්දු දෙකක දී තරිඳුව ලකුණු 0කට සහ නායක නිපුන්ව ලකුණු 54කට දවා ගත්තේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ලකුණු පුවරුව 151/4 බවට පත් කරමිනි.

නොසිතූ අවස්ථාවක එලෙස ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටුනත් ඉන් නොසැලුණු චමිඳු සහ දිනූෂ පන්දු 88කින් වේගවත් ලකුණු 98ක වේගවත් සබඳතාවයක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරගයට අවතීර්ණ කරමිනි. එහි දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ චමිඳු හතරේ පහර 9ක් සමඟින් පන්දු 53ක දී ලබා ගත් ලකුණු 63 ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍යම වූ ඉනිමක් වුවත් ෆ්රීමන්ගේ පන්දුවක් හමුවේ චමිඳු දැවී යාමත් සමඟම නැවතත් තරගයේ පීඩනය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම දෙසට එල්ල වන්නට විය.

තිසරගෙන් කිවියන් සසල කළ ඉනිමක්

නවසීලන්ත ක්‍රිකට් රණබිමේ හුදකලා සටනක නිරත වූ තිසර පෙරේරා අද (05) තම එක්දින ජාත්‍යන්තර …

එලෙස විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ චමිඳුගේ දැවී යාමෙන් පසුව ආබාධයකට ලක්වුණු සමාස් යලි පිටියට පිවිසියත්, ඔහු ලකුණු 79කට දැවී යාමත් සමඟම සොනාල් දිනූෂ පිටියේ එක් අන්තයක තනිවන ආකාරය දක්නට ලැබුණි.

එම අවස්ථාවේ සොනාල්ගේ සහයට යම් පිතිකරුවෙකු අනිත් අන්තයේ සිටියා නම් මෙම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හිමිවීමට ඉඩ තිබුනත්, අවසානයේ දී නියමිත පන්දුවාර 50 තුල ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 297ක් ලබා ගත්තේ පන්දු 56කින් නොදැවී ලකුණු 59ක් සොනාල් දිනූෂගේ හුදකලා ඉනිම නිසාය.

ඕස්ට්‍රේලියා යොවුන් කණ්ඩායම; කඩුලු 5ක් දැවී 304 (50): විල් සදර්ලන්ඩ් 115, කීගන් ඕට්ස්  95, ඔලිවර් ඩේවිස් 52, චමිඳු විජේසිංහ  2/60, රොහාන් සංජය 1/51

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම; කඩුලු 9ක්  දැවී 297 (50): මොහොමඩ් සමාස්  79, චමිඳු විජේසිංහ 63,සොනාල් දිනූෂ (නොදැවී)  59, නිපුන් ධනංජය 54, ඉයන් කාලයිල් 4/60, ලියාම් මාෂල්  2/37, ජැරොඩ් ෆ්රීමන් 2/53

මව්බිමේ දී ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමක් හමුවේ මුල්මවරට එක්දින තරගාවලියක් පරාජය වීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමසිදු වුනත් ලෝක අනුශූර ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම සමඟ ජනවාරි 7 වැනි සඳුදා පී සරා ඕවල් පිටියේ දී ම පැවැත්වෙන තෙවන  එක්දින තරගය පිළිබඳව තොරතුරු දැන ගැනීමට දිගටම රැඳී සිටින්න ThePapare.cpm සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<